Main Logo

Wednesday 28 June 2017

මෛත්‍රිපාල දොස්තර මාෆියාවට බය ද?


මෛත්‍රිපාල දොස්තර මාෆියාවට බය ද?



සයිටම් පටන් ගත්තේ මහින්ද රාජපක්‍ෂ. එයට අනෙක් රාජපක්‍ෂලා විරුද්ධ වුණේ නැහැ. එදා සිට අද දක්වා වී ඇත්තේ කුමක් ද? අද රාජපක්‍ෂලා සයිටම් අහෝසි කළ යුතු බව කියනවා ද? සිසුන්ගේ ඔළු පැලීම් ගැන පමණක් කියා ප්‍රශ්නයෙන් පිට පැනීමට රාජපක්‍ෂලාට නො හැකියි. සයිටම් ගැන තම ප්‍රතිපත්තිය වෙනස් වී ඇත් දැයි රාජපක්‍ෂලා වහා ම කිව යුතුයි. ඔවුන් පැහැදිලි ප්‍රකාශයක් නොකර සිටීම දේශපාලන වාසියක් ගැනීමට කරන උප්පරවැට්ටියක් පමණකි. මා එදා මෙන් ම අදත් සයිටම් ආයතනයටත් එහි වෛද්‍ය විද්‍යාලයටත් පක්‍ෂයි.




මා දැක්කා කවුදෝ පඬි පෝතකයකු අසා තිබුණා අසුගණන්වල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වූ නලින් ද සිල්වා ම ද සයිටම් ආයතනයට විරුද්ධ නොවන්නේ කියා. පඬි පෝතකයා නොදන්නවාට එදා ප්‍රශ්නය වූයේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් බඳවා ගැනීමේ නිර්ණායක බැහැර ලා සිසුන් ඇතුළත් කර ගෙන එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන සායනික පුහුණුව තම සිසුන්ට ලබා දී කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය ම සිසුන්ට ලබා දීමට කටයුතු කිරීම. එදා අප එයට විරුද්ධ වුණා. එහෙත් මේ ප්‍රශ්නය කොළඹ වෛද්‍ය පීඨයේ සාකච්ඡාවට භාජනය වූ අවස්ථාවේ දී පඬි පෝතකයාට අනුව තම ස්ථාවරය වෙනස් නොකරණ කාලෝ ෆොන්සේකා මෙහි ප්‍රශ්නයක් නැහැ යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා. එහි දී කාලෝට මහාචාර්ය කොල්වින් ගුණරත්න ප්‍රශ්නය කුමක් දැයි ලුණු ඇඹුල් සහිත ව කියා දී තිබෙනවා. රැල්ලත් සමග පසුව ස්ථිර ප්‍රතිපත්ති සහිත කාලෝ තම ප්‍රතිපත්තිය වෙනස් කර එකී වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වුණා.



සයිටම් ඇති කිරීමේ දීත් කාලෝ සයිටම් වෛද්‍ය විද්‍යාලයට පක්‍ෂ වී තිබෙනවා. ඔහු වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කර ගෙන ඇත්තේත් ඒ පක්‍ෂපාතීත්වය නිසා බවයි ආරංචිය. මෛත්‍රිපාලත් එස් බීත් එයට සාක්‍ෂි දරාවි. පසුව රැල්ලත් සමග වෛද්‍ය මාෆියාවට යටත් ව ඔහු සයිටම් විරෝධියකු වෙලා තියෙනවා. කාලෝ වෛද්‍ය විද්‍යාවට එකතු කළ සංකල්පයක් ප්‍රවාදයක් නැහැ. ඔහු සිංහල බෞද්ධයන්ට විරුද්ධව නම් පොත් පිංචක් ලියා පින්ලන්තයේ ආයතනයකින් ලක්‍ෂ ගණනක් පිනට ලබා ගෙන තිබෙන බව කියනවා. ඒ ආයතනයේ ප්‍රධානියා ව සිට ඇත්තේ සිංහල බෞද්ධ විරෝධී කුමාරි ජයවර්ධනගේ සැමියා වූ ලාල් ජයවර්ධන. මා මේ ටික සඳහන් කෙළේ පඬි පෝතකයාට තම ප්‍රතිපත්ති ගරුක වීරයා ගැන යමක් දැන ගැනීමට. මෙරට මිනිසුන් කොහොමටත් සලකන්නේ රැල්ල සමග යන්නවුනට.



සයිටම් ගැන දොස්තර මාෆියාව මුලින් කී දේ නොවෙයි අද කියන්නේ. රාජපක්‍ෂ සමයේ දී ඔවුන් සයිටම් උපාධියට විරුද්ධ වුණා ද? එදා ප්‍රමිතිය ගැන කීවේ කුමක් ද? සයිටම් විරෝධී පෞද්ගලික විද්‍යුත් නාළිකා එදා සයිටම් ගැන කීවේ කුමක් ද? නිදහස් අධ්‍යාපනයට එය විනයක් බව ඔවුන් එදා දුටුවේ නැද් ද? සයිටම් ආයතනයට නෙවිල් ප්‍රනාන්දු රෝහල එදත් යෝජනා වී තිබුණා. එහි වැඩ ආරම්භ වූයේ මහින්දගේ කාලයේ. ඒ රෝහල පසුගිය අවුරුදු දෙකේ හදපු එකක් හැටියටයි ඇතැම් මාධ්‍ය පෙන්නුම් කරන්න උත්සාහ කරන්නෙ. රෝහලේ බලාපොරාත්තු වූ ඇඳන් ප්‍රමාණය  නැහැ. එහෙත් ඇඳන් හයසීයයක් පමණ තිබෙන බව දැන ගැනීමට තිබෙනවා. වෛද්‍ය සභාවේ නිරීක්‍ෂණ කණ්ඩායමක් සයිටම් නිරීක්‍ෂණය කිරීමට යන විටත් ඒ රෝහල තිබුණා. වෛද්‍ය සභාවේ නිරීක්‍ෂණ කණ්ඩායමක් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ රෝහලක් නැතිව ම එය නිර්දේශ කර තිබෙනවා. මේ දෙබිඩි පිළිවෙත ගැන අධිකරණ තීන්දුවේත් තිබෙනවා. අර විද්‍යුත් නාළිකා ඒ ගැන කියන්නේ කුමක් ද? 



අද දොස්තර මාෆියාවට අවශ්‍ය සයිටම් අහොසි කරවීමයි. ඔවුන් ඒ සඳහා දිනපතා ඉල්ලීම් අලුත් කරනවා. ඔවුන් සයිටම් ආරම්භ නොකරන ලෙස මහින්දගෙන් ඉල්ලා නොසිටියේ ඇයි? උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය මුළුමනින් ම විසඳුවේ මා ජනාධිපති ප්‍රේමදාසට කළ යෝජනා අනුවයි. සයිටම් සම්බන්ධයෙනුත් මා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් ජනාධිපති මෛත්‍රිපාලට ජනාධිපති ප්‍රේමදාසට තිබූ ශක්තිය නැහැ. මෛත්‍රිපාල දොස්තර මාෆියාවට බය ද? ඇතැම් ජනමාධ්‍ය නොදැන සිටියාට, එසේත් නැත්නම් තමන්ට අවශ්‍ය පරිදි කරුණු විකෘති කළාට නෙවිල් ප්‍රනාන්දු රෝහල හැදුවේ අවිස්සාවේල්ල හෝමාගම රෝහල්වල සායනික පුහුණුවට දොස්තර මාෆියාව විරුද්ධ වුණ නිසා නො වෙයි. මේ ජනමාධ්‍ය පඬියන්ට විරුද්ධව වෙනත් ජනමාධ්‍යයකින් නමුත් යමක් කළ යුතුයි.



මා යෝජනා කෙළේ සායනික පුහුණුව පිළිබඳ ප්‍රශ්නයක් තිබේ නම් සයිටම් උපාධිධාරීන්ට අවුරුදු එකහමාරක සීමාවාසික පුහුණුවක් ලබා දීමයි. එහෙත් ආණ්ඩුව එකී පුහුණුව කලින් ම ලබා දීමට කටයුතු කර තිබෙනවා. ආණ්ඩුව එවැනි කොන්දේසි දිගින් දිගට ම ඉදිරිපත් කර තිබෙනවා. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ හා පෞද්ගලික ව්‍යවසායක් ලෙස පවත්වා ගෙන යා යුතු යැයි මා යෝජනා කළා. ආණ්ඩුව අද එය රජයට පවරා ගැනීමට කටයුතු කර තිබෙනවා. එමෙන් ම සයිටම් ආයතනය භාරයක් ලෙස පවත්වාගෙන යා යුතු ය යන්නත් අලුත් අදහසක් නො වෙයි. එස් බීගේ කාලයේත් ඒ එසේ වූවා. අවශ්‍ය නම් කළ යුත්තේ භාරයට රජයේ කිහිප දෙනකු (නිලධාරීන් - නිල බලයෙන්) ද පත්කිරීමයි.



දොස්තර මාෆියාවේ එක් අයකු ඊයේ පෙරේදා ඇහුවා මේ කොන්දේසි කොහේද තිබුණෙ කියා. දොස්තර මාෆියාවේ ඊනියා නෙදැනුවත්කම ගැන මා පුදුම වන්නේ නැහැ. ඔවුන් දේශපාලන අරමුණක් වෙනුවෙන්  ජනතාව නොමග යවනවා. මේ දොස්තර මාෆියාවට බිය විය යුතු නැහැ. වෛද්‍ය නිලධාරී සංගමයේ නිලවරණවල දී කිනම් ප්‍රතිශතයක් ඡන්දය දෙනවා ද? 



පඬි පෝතකයන්ට හා ජනමාධ්‍යවල ගිරා පෝතකයන්ට අනුව මා මගේ සයිටම් ප්‍රතිපත්තිය වෙනස් කර නැහැ. රාජපක්‍ෂ යුගයේත් මෛත්‍රිපාල යුගයේත් මා සයිටම් වෙනුවෙන් පෙනී සිටිනවා. වැඩිම වුවොත් මගේ මළගමට පඬියන් හා විවිධ පඬි පෝතකයන් නො පැමිණේවි. මළවුනට ඒවා ප්‍රශ්න වන්නේ නැහැ.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 28