Main Logo

Saturday 14 April 2018

චන්ද්‍ර මාසයේ සූර්ය සංක්‍රාන්තිය


චන්ද්‍ර මාසයේ සූර්ය සංක්‍රාන්තිය





සිංහල අවුරුද්ද ගැන කොතරම් ලිව්වත් වැඩක් නැහැ. තවමත් සිංහලයන් නොනගතේ දි කිරිබත් උයලා කනවා. කවුරු හරි කියන්න පුළුවන් නැහැ එහෙම නො වෙයි කියලා. ඒත් නොනගතය පැය දොළහයි විනාඩි හතළිස් අටක් පවතිනවා. එහි පූර්ව අර්ධයෙහි දී අප පන්සල් යනවා. අපර අර්ධයෙහි දී නැකැත් ගන්නවා. බොහෝ දෙනා තවමත් හිතන්නෙ නොනගතය කියන්නෙ නැකැත් නැති කාලය කියලයි. නැකැත් නැත්නම් නොනගතයෙ අපරාර්ධයෙහි ගණුදෙනු කිරීම අපරාධයක් නොවන්නේ ද?
 

නැහැ සිංහල මිනිසුන් එහෙම හිතන්නේ නැහැ. සංගත වීම කියන එක සිංහලයන්ට අඩුවෙන් තියෙන්නෙ. සිංහල විරෝධී පඬියන්ට ද සංගත වීම අඩුයි. ඔවුන් බටහිර කතන්දර කියෙව්වට සංගත වීම පිළිබඳ කතන්දරේ කියවලා නැහැ. සාමාන්‍ය සිංහලයන් සංගත නැති වීම තේරුම් ගන්න පුළුවන්. එහෙත් සිංහල විරෝධී පඬියන් සංගත නොවන්නේ ඇයි? ඔවුන්ට තමන් කෙතරම් සිංහල විරෝධී වුණත් සිංහල සංස්කෘතියෙන් සම්පූර්ණයෙන් ම මිදෙන්න බැහැ. 


සිංහල අවුරුද්දෙත් තියෙනවා පොඩි ප්‍රශ්නයක් වගේ පේන තැනක්. සිංහල අවුරුද්ද කියන්න චන්ද්‍ර මාසයක පටන් ගන්න සූර්ය වර්ෂයක්. අප කියනවා සූර්යයා මීන රාශියෙන් මේෂයට සංක්‍රමණය වන දිනය අවුරුද්දේ ආරම්භය කියා. දැන් පඬියන් අහවි සූර්යයා යන්නෙ කොහොම ද? ගමන් කරන්නෙ පෘථිවිය නේ ද කියා. ඒකෙත් ඇත්තක් තියෙනවා. සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය යනවා. එහෙත් පොළොවට සාපේක්‍ෂව සූර්යයා යනවා. එහෙම යන හින්ද තමයි අපට අවුරුද්ද තියෙන්නෙ. අප ඉන්නෙ පොළොවෙ මිස ඉරෙ නෙවෙයිනෙ. මා මේවා කොළඹ විශ්වවිද්‍යාලයෙ තාරකා විද්‍යාව උගන්වන කාලෙත් කිව්වා. එක් බටහිර වෛද්‍ය පීඨයක පීඨාධිපතිවරයා කියා තිබුණා මට පීඨාධිපතිකමක් දීමෙන් ම විශ්වවිද්‍යාලවල පරිහානිය පේන බවත් මා සිටිය යුත්තේ මුල්ලේරියාවෙත් කියල. ඔහු බටහිර වෛද්‍ය විද්‍යාවට විශාල සේවයක් කොළඹ පෞද්ගලික රෝහල්වල කරනවා. ඔහුගෙ විශ්වවිද්‍යාලය තියෙන්නෙ කොළඹින් තරමක් ඈත. ඔහු ප්‍රසිද්ධ දේශපාලනඥයකුගෙ පෞද්ගලික දොස්තර හැටියටත් කටයුතු කරනවා.



පහුගිය අවුරුද්දෙ මා අවුරුද්ද ගැන ලිපි දෙකක් ම ලිව්වා. ඒ එක් ලිපියක මෙසේ සඳහන් වුණා. “1685 දි පමණ රිබෙයිරො නම් පෘතුගීසි කපිතාන්වරයකු ඔහුගේ දෙවැනි පේදුරු රජුට පොතක් පිළිගන්නලා තිබෙනවා. එය කැලිස්ටස් නානායක්කාර මහතා විසින් සිංහල ද්වීපයේ ඓතිහාසික ඛෙදාන්තය ලෙස සිංහලට පරිවර්තනය කෙරී තිබෙනවා. එහි මෙසේ සඳහන් වෙනවා. “ එහෙත් මේ සියලු දෙවියන්ට වඩා ඔවුන් ගරු කරන දෙවියෙක් වෙයි. ඔවුහු ඔහු බුධ නමින් හඳුන්වති. …….. .. ඔහු මෙම දිවයිනේ යහපත් ජීවිතයක් ගත කළ මහා දෙවියෙකැයි ඔවුහු කියති. ඔවුන් විසින් අවුරුදු නමින් හැඳින්වෙන ඔවුන්ගේ වර්ෂ (මාර්තුවේ අලුත් දවාලෙන් ඇරඹෙන) ඔහු නැවතී දින සිටි දිනයේ සිට ගණන් ගනිති. ” මෙය ඉතා වැදගත්. මේ බුදුන් වහන්සේ ලංකාවට වැඩම කිරීම ගැන සඳහනක්. බුදුන් වහන්සේ මෙරට නැවතී සිටි දිනයක් ගැන මෙහි දී කතා කෙරෙනවා. මේ වැඩම කිරීම මාර්තුවේ අමාවකින් පසු දිනය ලෙස සලකන්න පුළුවන්. අප මාසය පටන් ගන්නේ අමාවකින් පසුව. අලුත් .දවාල කියන්නෙ අමාවකින් පස්සෙ දවස. අපේ දවස පටන් ගන්නෙ රෑ දොළහට නොව ඉර උදාවත් සමග.  රිබෙයිරො මේ සඳහන් කරන්නේ බුදුන් වහන්සේ බක් මහ ලංකාවට වැඩම කළ දවස ගැන. එය අමාවක වූ බවයි මෙහි කියන්නේ. සමහරවිට ආදි සිංහලයන් යම් ආකාරයක වර්ෂයක් එදින පටන් ගන්න ඇති. ඒ කෙසේ වෙතත් බක් මහ උළෙලත් බුදුන් වහන්සේ මෙරටට වැඩම කළ දිනයක් සමග සම්බන්ධ කියලා හිතන්න පුළුවන්.”



මා හිතන්න පුළුවන් කිව්වෙ සිංහල අවුරුද්දෙ ආරම්භය ගැන. එය හිතළුවක් තමයි. ඒත් ඒකෙ තවමත් කිසිවකු පරස්පරයක පෙන්නලා නැහැ. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරලා තියෙනවා පසළොස්වක පොහෝ දෙකක හා අමාවක පොහොයක. ඒක මහාවංසෙත් තියෙනවා බුදුන් වහන්සේ බක් අමාවක දවසෙ ලංකාවට වැඩම කළසේක කියා. එහෙත් අප මහාවංසයට පිටින් ගිහින් බුදුන් වහන්සෙ බක් පුර පසළොස්වක ලංකාවට වැඩි බවක් කියනවා. අපට මේ වගේ තැන්වත් නිවැරදි කරගන්න බැහැ.



අපට බක් මාසය පටන් ගන්නෙ බක් අමාවකින්. ඉන්දියාවෙ එක එක ප්‍රාන්තවල චෛත්‍ර මාසය පටන් ගන්නෙ එකම දිනයක නොවෙයි. ඒ මාසය අමාවක දිනයක පටන් ගන්නවා ද පසළොස්වක පොහෝ දිනක පටන් ගන්නවා ද වැනි කරුණු පදනම් කරගෙන (මේ පිලිබඳ විස්තර පහුගිය අවුරුද්දෙ ලියූ ලිපිවල ඇති). ලංකාවෙ සමහරු අපේ අවුරුද්ද චෛත්‍ර මාසයට ගැට ගහන්න හදනවා! ඒ කොහොම වුණත් සිංහල අවුරුද්ද ලබන්නෙ බක් මාසයෙ (චන්ද්‍ර මාසයක්) සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන දින බව පෙනෙනවා. මේ දිනය එකල තිබුණෙ අස්විද නැකතින් රේවත නැකතට සූර්යයා සංක්‍රමණය වන දිනයෙ වෙන්න ඕන. ඒක සුළු ගණනයකින් පෙන්නන්න පුළුවන්. අප සූර්ය මාස ක්‍රමය අනුකරණය කරන්න පටන් ගත්තට පස්සෙ තමයි මේ චන්ද්‍ර මාසයක සූර්ය සංක්‍රාන්තිය ගැන කතා කරන්න වෙලා තියෙන්නෙ



සූර්ය සංක්‍රාන්ති දිනය අවුරුදු හැත්තෑනවයකට එක දවසක් ඉදිරියට යනවා. මේ ගැනත් මා ලියලා තියෙනවා. එය පැත්තකින් තබමු. මෙවර අප සූර්ය සංක්‍රාන්තිය පවත්වන්නෙ බක් මාසෙ ද කියලා හරියට ම දන්නවා ද? මා නිකමට ඒ ගැන හොයලා බැලුව. බක් මාසය මෙවර අවසන් වන්නේ අප්‍රේල් 15 වැනි දා. එදාට වෙසක් මාසය ලබනවා. ඒ නිසා කලබල වෙන්න දෙයක් නැහැ. සූර්ය සංක්‍රාන්තිය වෙන්නෙ වෙසක් මාසෙ නොවෙයි, බක් මාසෙ. දැන් කවුරු හරි කියයි ඒ අය ඕවට කලබල වෙන්නෙ නැහැ කියලා. ඕව ගැන හිතෙන්නෙවත් නැහැ කියලා. මුල්ලේරියාවෙ සිටිය යුතු මා තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇදගෙන කලබල වෙන්නෙ කියලා. කමක් නැහැ. සියළු දෙනාට ම සුබ අලුත් අවුරුද්දක් වේවා!