Main Logo

Monday 2 April 2018

වකුගඩු සටන 2


වකුගඩු සටන 2



වකුගඩු සටන ගැන තවදුරටත් කීමට පෙර කිවයුතු කරුණු දෙකක් තියෙනවා. මුහුණු පොතේ දර්ශන කස්තුරිරත්න හා තවත් අය  විසින් පවත්වගෙන යනු ලබන ජාතික චින්තනය නම් පිටුවක්, බිත්තියක්, කණ්ඩායමක් වෙනත් යමක් (මේවාට කියන නම් ගැන මට අවබෝධයක් නැහැ. ඒ අය කියන ආකාරයට දේශපාලනය ගැන අවබෝධයක් නැති මට මේ නම් ගැන අවබෝධයක් නැත්නම් එය පුදුමයට කරුණක් විය නොහැකියි) පවත්වා ගෙන යනවා. මා එය කියවන්නේ නැහැ. කෙසේ වෙතත් මා ජාතික චින්තකයකු නො වෙයි. ඔවුන් සමහර විට අමරසේකරගේ ජාතික චින්තනයට අනුග්‍රහ දක්වනවා විය හැකියි. ඔවුන්  ඉතාම ඉහළ ගණයේ බුද්ධිමතුන් බව මට වැටහෙනවා. ඒ ඔවුන් ඉඳහිට ශිරන්ත චාමරට හා තමළු පියදිගමට දක්වන ප්‍රතිචාර මගින්. මා ඔවුන්ගේ ජාතික චින්තනය සමග කිසිම සම්බන්ධකමක් නැති බවත් ඔවුන්ගේ ඥානවිභාගය හා මගේ ඥානවිභාගය අතර ගණු දෙනුවක් නැති බවත් ප්‍රකාශ කරන්න ඕන. ඔවුන් මගේ ඥානවිභාගයක් වෙනුවෙන් පෙනී හිටින බවක් කියනවා නම් මා එය විශ්වාස කරන්නේ නැහැ.




දෙවැන්න වෙනත් අයගේ අදහස් ගැන මගේ ආකල්පය. වෙනත් අයගේ අදහස් මගේ අදහස් වෙන්න බැහැ. මා මගේ නොවන අදහස්වලට පහර දෙනවා. එය අනෙක් අයගේ අදහස්වලට පහර දීමට හැකි පෘථග්ජන අයකු කරන දෙයක්. අනෙක් අදහස්වලට මා සවන් නොදෙනවා නො වෙයි. එසේ සවන් දී වැරදි තැන පහර දෙනවා. බුදුන් වහන්සේ අනෙක් අදහස්වලට පහර නොදෙන්න ඇති. එහෙත් උන්වහන්සේත් අනෙක් අදහස්වල වැරදි පෙන්වා දුන්නා. මේ අතර  ඉන්නවා තම අදහස්වලට තමන් ම පහර දෙන අය. ඔවුන්ගේ අදහස්වලට පහර දීමක් අවශ්‍ය වන්නේ නැහැ. කලින් කී ජාතික චින්තකයනුත් තම බුද්ධි මහිමය නිසා ම ඒ ගණයට වැටෙනවා ද කියා මට ඇතැම් විට හිතෙනවා. අපි තව කලක් ඉවසමු.



අප ඊයේ නැවැත්තුවේ මගේ සේවය දීර්ඝ කිරීමට ප්‍රියන්තා සේනානායකට අවශ්‍ය වූ තැනින්. මා කිසි විටෙකත් මහින්දගෙන් ඉල්ලා නැහැ මගේ සේවය දීර්ඝ කරන ලෙස. 2010 අග හැටපහ පිරී මා විශ්‍රාම ගැනීමට සූදානමින් සිටියා. එහෙත් එසේ විශ්‍රාම ගත්තා නම් කැලණියේ ආසනික් පර්යේෂණ එතැනින් ම කෙළවර වන බව ප්‍රියන්තා දැන සිටියා. එබැවින් ඇය මගේ සේවය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට විවිධ අයගේ, විශේෂයෙන් ම විමල්ගේ සහාය පැතුවා. ඒ පිළිබඳ සාක්‍ෂි තියෙනවා. විමල් ඒ සහාය නොපැකිළි ව ලබා දුන්නා.



ආසනික් පර්යේෂණ නිසා ඊනියා විද්‍යාඥයන් මට විරුද්ධ වුණා. ඔවුන් සමහරකු මා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙන් ඉවත් කිරීමට තැත් කළා. එපමණක් නොව මා සමග කටයුතු කළ ප්‍රියානි පරණගම හා මාලා අමරසිංහ යන මහාචාර්යවරියන් විද්‍යාඥයන් ලෙස නොසලකන බවටත් ඔවුන් තර්ජනය කළා. මෙහි දී මට විරුද්ධ ව වැඩ කළ ප්‍රධාන දෙදෙනා අඹු සැමි යුවළක්. ඔවුන් විද්‍යාභිවර්ධන සංගමයේ තනතුරු ද දරා තිබෙනවා. මා ඔවුන්ට අභියෝග කළා පුළුවන් නම් මා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න කියා. ඔවුන් සංගමයේ ව්‍යවස්ථාව දැන සිටියේ නැහැ.



මා ආසනික් පර්යේෂණ කර නැති එක ඇත්ත. එහෙත් මා නැතිව ඒ පරයේෂණ කෙරෙන්නේ නැහැ. මතුගම සෙනෙවිරුවන් වුවත් ඒ ගැන නොදන්නවා කියා හිතන්නත් බැහැ. එහෙත් චන්න ජයසුමන නම් ඒ ගැන හොඳින් ම දන්නවා. චන්න ඒ කිසිවක් කියන්නේ නැහැ. ඔහුට දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා. මගේ සේවය දීර්ඝ කළ පමණින් මගේ පීඨාධිපතිකම දික් වූයේ නැහැ කියා විද්‍යා පීඨයේ බහුතරයත් උපකුලපතිත් තර්ක කළා. ඊනියා විද්‍යාඥයන්ට අවශ්‍ය වූයේ මා පීඨාධිපතිකමින් ඉවත් කර ආසනික් පර්යේෂණ නැවැත්වීමට. මා පෙන්වා දුන්නා විශ්වවිද්‍යාල පනත අනුව මා පීඨාධිපති ලෙස පත් කෙරී ඇත්තේ අවුරුදු තුනකට බවත් මා කථිකාචාර්යවරයකු ලෙස සේවයෙහි යෙදී සිටිනතාක් ඒ අවුරුදු තුන මට පීඨාධිපති ලෙස සේවය කළ හැකි බවත්. පීඨාධිපතිකම අහිමි වීමට ඇති එක් නිර්ණායකයක් නම් විශ්වවිද්‍යාල සේවයෙන් සමු ගැනීමයි. එහෙත් මා එසේ කර තිබුණේ නැහැ. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් බහුතරය විශ්වවිද්‍යාල පනත කළු ද සුදු ද කියාවත් දන්නේ නැහැ.



2011 අවසාන වන විට ආසනික් පර්යේෂණ සාර්ථක ව නිම කර තිබුණා. තවදුරටත් පීඨාධිපති ලෙස මගේ සේවය අවශ්‍ය වුණේ නැහැ. කොහොමටත් මගේ පීඨාධිපති කාලයත් අවසන් වීමට තිබුණා.  මට තවත් අවුරුදු දෙකක සේවා දිගුවක් තිබුණත් මා ඒ වසර අවසන සේවයෙන් ඉවත් වුණා. මා සේවයෙන් විශ්‍රාම ගියේවත් ඉල්ලා අස්වූයේවත් නැහැ. බොහෝ දෙනකුට ඒ වෙනස තේරුණෙත් නැහැ. කෙසේ වෙතත් මගේ ඉවත් වීමෙන් පසු විද්‍යා පීඨය කල් යල් බලා චන්නගේ ආචාර්ය උපාධි අපේක්‍ෂකත්වය අවලංගු කළා. ඔහුට පසුව ආචාර්ය උපාධිය ලැබුණේ රජරට විශ්වවිද්‍යාලයෙන්.



විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අතිමහත් බහුතරය මට සේවා දිගුවක් ලබා දීමට විරුද්ධ වුණා. අදත් ඔවුන් ඒ සම්බන්ධයෙන් විරුද්ධයි. ඒත් 6% කණ්ඩායමට කළ හැකි ඉටී ගෙඩියක් නැහැ. ඔවුන්ට අද නම් සකර්බර්ග් පිහිටයි. අද විශ්වවිද්‍යාල වහලා. ප්‍රශ්නයක් තියෙනවා. එය අනධ්‍යයනික ප්‍රශ්නයක්. එහෙත් එය සියල්ලන්ට බලපානවා. 6% කණ්ඩායමට විසඳුම් නැතුවා වගෙයි. එකල නම් අප අනධ්‍යයන ප්‍රශ්නවල දී ද මැදිහත් වූවා.



මෙහි දී කිව යුතු තවත් වැදගත් කරුණක් තියෙනවා. ඊනියා විද්‍යාඥයන් නොදැන සිටියත් අප ආසනික් පර්යේෂණ කෙළේ බටහිර විද්‍යා ක්‍රමයට. මෙහි දී ඊනියා උපන්‍යාසය වූයේ නාථ දෙවියන් (ඒ දේව මඬුල්ලේ අයකු) කී දෙය. අපට අදහස ලැබුණේ නාථ දෙවියන්ගෙන්. අදහස කාගෙන් ලැබුණා ද කෙසේ ලැබුණා ද යන්න බටහිර විද්‍යාව තරමක්වත් දත් අයට ප්‍රශ්නයක් නො වෙයි. අවශ්‍ය වනුයේ බටහිර රසායන විද්‍යාවේ පරීක්‍ෂා යොදා ගනිමින් ඒ අදහස වැඩ කරන්නේ ද නැද්ද සොයා බැලීමයි. කෙක්‍යුලේට බෙන්සීන් ව්‍යුහය පිළිබඳ අදහස ලැබී ඇත්තේ හීනෙන්. කිසිවකු ඒ ගැන විමසුවේ නැහැ. දවල් හීනයක් ද කියලා ඇහුවෙත් නැහැ. නිව්ටන්ට ගුරුත්වාකර්ෂණ අදහස ලැබී ඇත්තේ පෙරදිගින්. නිව්ටන් එය තම බුත්තියට සවි කර ගත්තා. කොපර්නිකස්ට පොළොව ඉර වටේ යන අදහස ලැබුණෙත් පෙරදිගින්. බටහිර විද්‍යාවේ ඉතිහාසඥයන් ඒ අදහස කොපර්නිකස්ට ලියා දුන්නා. බටහිර විද්‍යාවේ අදහස් ලැබෙන්නේ කොහෙන් ද කාගෙන් ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. කාලෝ ෆොන්සේකාට නම් ඒ බව වැටහුණා. එහෙත් අනෙක් බොහෝ අය තාමත් නාථ දෙවියන් ඉන්නේ කොහේ ද කියා දැන ගන්න වෙහෙසෙනවා. ඔවුන් මට ගුරුත්වාකර්ෂණය පෙන්නුවොත් මා ඔවුන්ට නාථ දෙවියන් ඉන්න තැන කියනවා.



මෙයින් කියන්නේ බටහිර විද්‍යාව හරි කියන එක නොවෙයි. එහි ප්‍රවාද ගොඩ නගන ආකාරයයි. හැම ප්‍රවාදයක් ම කාගේ හරි හිතළුවක් පමණයි. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ හිතළු හරියනවා ද වැඩ කරනවා ද කියා සොයා බැලීමයි. මේ තමයි අනපෝහනය. ඒත් ඒක හිතන තරම් සරල නැහැ. එය අතාර්කිකයි. පුවාන්කරේට නොහිතුණු දෙයක් අයින්ස්ටයින්ට හිතුණා. අයින්ස්ටයින් විශේෂ සාපේක්‍ෂතාවාදය ගොඩ නැගුවා. ඔහොම තමයි බටහිර ස්වාභාවික විද්‍යාවන්හි ප්‍රවාද ගොඩ නැගෙන්නේ. නැත්නම් කතන්දර ගොතන්නෙ. අයින්ස්ටයින් හොඳ කතන්දරකාරයෙක්. කතන්දරවලට මුලාශ්‍ර නැහැ. බටහිර සමාජයීය විද්‍යාවන්ට කතන්දර නැහැ. ඔවුන් මූලාශ්‍ර ගැන වෙහෙසෙනවා. (මතු  සම්බන්ධයි)