Main Logo

Sunday 8 April 2018

විශ්වාසභංගයෙන් පසු




විශ්වාසභංගයෙන් පසු



විශ්වාසභංගයෙන් පසු රනිල් ජයගෙන ඇති බව පේන්න තියෙනවා. ඔහු තවදුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා. එහෙත් එහි ජයග්‍රාහකයා ඔහු පමණක් නො වෙයි. සිංහල විරෝධීන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධීන් ජයගෙන තිබෙනවා. බටහිර බලවේග හා ඉන්දියාව සිංහල බෞද්ධ විරෝධියි. අවසාන මොහොත වන තුරුම ඔවුන් තම සටන අත්හැරියේ නැහැ. එහෙත් රනිල් බටහිරයන්ට වඩා බටහිරයකු බවත් එ ජා ප විරෝධීනට නැති විනයක් එ ජා ප සාමාජිකත්වයට ඇති බවත් අප අමතක කළ යුතු නැහැ.




විශ්වාසභංගයේ අනතුරක් තිබුණා. එහෙත් ඒ නිසා එය නොගෙනීමට තිබූ බවක් මා කියන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුනටත් මෛත්‍රිපාලත් ඇතුළත් ව මෛත්‍රිපාල කණ්ඩායමේ ඇතැමුනටත් විශ්වාසභංගය ජයගත හැකි ය යන විශ්වාසය තිබූ බව පැහැදිලියි. මුල දී මෛත්‍රිපාල විශ්වාසභංගය වෙනුවෙන් වැඩ කළා. බය හා දුර්වලකම අතින් අරන් ඉපදී ඇති මෛත්‍රිපාල කුමක් හෝ අතින් ගෙන ඉපදීමෙන් නම් මහෞෂධ පඬිතුමාට සමාන කරන්න පුළුවන්. එහෙත් සමානකම එතැනින් අවසන් වෙනවා.



ඒකාබද්ධ විපක්‍ෂයේ බහුතරයකුත් මෛත්‍රිපාල කණ්ඩායමේ බහුතරයකුත් එකතු කළ විට අනූවකට ආසන්න මන්ත්‍රීන් සංඛ්‍යාවක් තමන්ට ඇතැයි විශ්වාසභංග කණ්ඩායම සිතුවා. ඔවුන් සිතා ගෙන සිටියේ එ ජා පක්‍ෂයෙන් විස්සක් පමණ විශ්වාසභංගයට ඡන්දය දේවි කියා. ඒ අතර දෙමළ මුස්ලිම් පක්‍ෂවලින් ද කිහිප දෙනකු විශ්වාසභංගයට ඡන්දය දේවි කියා ඔවුන් හිතුවා. එය සම්පූර්ණයෙන් ම වැරදි සිතුවිල්ලක්. ජනවාර්ගික පදනමකින් යුත් පක්‍ෂ ඡන්දය දෙන්නේ පවත්නා ආණ්ඩුවට හෝ ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් ඇති අයට හෝ බව අප තවමත් දන්නේ නැත්නම් එය අපේ කරුමයක්.



විශ්වාසභංගයේ අවසන් දින දෙකේ බටහිරයන් ජනවාර්ගික පක්‍ෂවලට පොරොන්දු දී ඔවුන් විශ්වාසභංගයට විරුද්ධ අය බවට පත්කරගෙන. ඒ පක්‍ෂ කොහොමටත් මහින්දට වඩා රනිල්ට කැමතියි. ඒ ඡන්ද අඩු වන විට විශ්වාසභංගය පරදීය යන හැඟීමෙන් විශ්වාසභංගය ගෙනා අයගෙන් මෛත්‍රිපාල කණ්ඩායමේ ඇතැමුනුත් එ ජා පක්‍ෂයේ පිරිසකුත් එක්කෝ රනිල්ට පක්‍ෂව ඡන්දය දීමට නැත්නම් ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවක් පේනවා. ඒ අතර විශ්වාසභංගය පරදීය යන අදහසින්, එය පරදින බව දැන,  එයට පක්‍ෂව ඡන්දය දුන් අය ද ඉන්නවා. ජ වි පෙ වැටෙන්නේ මේ ගණයටයි. විශ්වාසභංගය දිනන බවක් පෙනෙන්නට තිබුණි නම් ඔවුන් රාජපක්‍ෂලාට චෝදනා කරමින් ව්‍යාජ සංශෝධනයක් ගෙනැවිත් විශ්වාසභංගයට විරුද්ධ වීමට තිබුණා. ඔවුන් විවාදයේ දී කළ කතාවල ගැබ් වී තිබුණේ මහින්ද විරෝධයයි.



විශ්වාසභංගයට පක්‍ෂ වීමට සිටි එ ජා පක්‍ෂයේ අය අවසානයේ දී රනිල්ට ඡන්දය දුන්නා. ඔවුන් රනිල් සමග එකට හිට ගත්තේ වැඩකට නැති දෙයකට අත නොගසා නායකත්වය සමග එකට සිටිය යුතු ය යන තේරුමෙන්. ශ්‍රී ල නි ප මෛත්‍රිපාල කණ්ඩායමට එසේ එකට සිටීමට තරම් විනයක්වත් නායකත්වයක් තිබුණේ නැහැ. මෛත්‍රිපාල නායකයකු නො වෙයි. රනිල් ශිෂ්‍ය අවධියේ සිට ම නායකයෙක්. මහින්දත් නායකයකු බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.



මෛත්‍රිපාල නායකයකු නොවීමත් ශ්‍රී ල නි පක්‍ෂයේ තිරසාර විනයක් නැති කමත් හේතුවෙන් මෛත්‍රිපාල කණ්ඩායම කොටස් දෙකකට බෙදුණා. අවසානයේ දී ඒ කණ්ඩායමෙන් දහසය දෙනකු පමණක් විශ්වාසභංගයට ඡන්දය දුන්නා. ඉතිරි කොටස ඡන්දය දීමෙන් වැළකුණා. ඒ අය අතරින් හත් අට දෙනකු උග්‍ර මහින්ද විරෝධීන්. ඔවුන්ට එ ජා පක්‍ෂයට එකතු වීම හැර වෙනත් විකල්පයක් ඇත්නම් ඒ දේශපාලනයෙන් ඉවත්වීමයි.



විශ්වාසභංගයට පක්‍ෂව දුන් ඡන්ද හැත්තෑහයෙන් ජ වි පෙ හය ව්‍යාජයක් පමණයි. ඒ හය ඇත්තේ ආණ්ඩුව සමගයි. ආණ්ඩුවට තවමත් තුනෙන් දෙකේ බලයක් තියෙනවා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුව බැඳී ඉන්නවා. විශ්වාසභංගයේදී ආණ්ඩුව නැවතත් එ බැඳීම පොරොන්දුවක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. ඒ අතර ආණ්ඩුව රණවිරුවන් අත්අඩංගුවට ගැනීම දිගින් දිගට ම ගෙන යනවා. මැයි දිනය ලංකාවේ නැති කම්කරු පංති දිනයක් තබා කම්කරු දිනයක්වත් වී නැහැ. මෙවර මැයි හත්වැනි දා පැවැත්වෙන මැයි දිනය රණවිරුවන් වෙනුවෙන් පවත්වන්න පුළුවන්. රණවිරුවන් නිිදහස් කර ගැනීම මැයි දිනයේ තේමාව විය හැකියි. ලක්‍ෂ සංඛ්‍යාත ජනගහණයක් කොළඹට ගෙන්විය යුත්තේ රණවිරුවන් නිදහස් කරගැනීමක් වෙනුවෙන්.



ආණ්ඩුවට විරුද්ධ ව තුනෙන් දෙක ලබා ගැනීමට කටයුතු කරන අතර ම ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය විසුරුවා හැරීමට ද කටයුතු කළ යුතුයි. මේ මණ්ඩලය ඉතා භායානකයි. රනිල් ට අවශ්‍ය වුණොත් පාර්ලිමේන්තුවට නෑවිත් ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරීමට ව්‍යවස්ථා මණ්ඩලය යොදා ගන්න පුළුවන්. ඒකාබද්ධ විපක්‍ෂය අඩුම තරමෙන් මේ මණ්ඩලයේ කටයුතුවලින් ඉවත්විය යුතුයි. අද ඔවුන් එහි අනුකාරක කමිටුවලින් ඉවත් වෙලා. ඔවුන් මෙහෙයුම් කමිටුවෙන් ද ඉවත්විය යුතුයි. ඉවත් වී එයට ඇති පිළිගැනීම නැති කළ යුතුයි. එසේ නොකළහොත් විශ්වාසභංගයටත් වඩා එය සිංහලයාගේ පරාජයට හේතුවන්න පූළුවන්. එහෙත්  මගේ ඒ කතාවත් ගඟට ඉණි කැපීමක් වෙන්න පුළුවන්.