Main Logo

Wednesday 25 April 2018

ස්මාට් ජාතිකවාදීන්ගේ ව්‍යාජ තර්ක


ස්මාට් ජාතිකවාදීන්ගේ ව්‍යාජ තර්ක



ජාතිකවාදීන් හා ඊනියා ස්මාට් ජාතිකවාදීන් හඳුනාගැනීමට උපකාර වන නිර්ණායකයක් තියෙනවා. එය සියයට සියයක් ම හරියන බවක් මා කියන්නේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්‍ෂ ද නැත් ද පක්‍ෂ නම් ඒ කිනම් අවශ්‍යතා යටතේ ද යන්න ඒ නිර්ණායකයි. අවශ්‍ය නම් එයට පරීක්‍ෂණයක් කියාත් කියන්න පුළුවන්.




විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදුන්නේ 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන්. එය මූලික ව ම ජේ ආර් ගේ වැඩක්. සමානුපාතික ඡන්ද ක්‍රමයත් ඔහුගේ වැඩක්. විවෘත ආර්ථිකය නමින් ක්‍රියාත්මක කෙරුණු විවෘත සංස්කෘතියත් ඔහු ඇති කළ දෙයක්. පළාත් සභා ඇතිවුණෙ 1987 දි. දහතුන් වැනි ව්‍යවස්ථාවත් ඇති කෙළේ 1987 දී. ජේ ආර් ඒවා ඇති කෙළේ ඉන්දියාවෙ වුවමනාවට. ඉන්දියාව මහින්ද (බැසිල්) ලවා 13+ කුත් ක්‍රියාත්මක කරන්න බැළුවා. එහෙත් හරි ගියේ නැහැ. සිදු වුණේ දහතුනත් හරියට ක්‍රියාත්මක නො වීම. ඉඩම් බලතල හා පොලිස් බලතල පළාත් සභාවලට දිය යුතු නමුත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ විධායක ජනාධිපති ක්‍රමයක් තියෙන නිසා. විධායක ජනාධිපති ක්‍රමයක් නැති වන්නට ඉඩම් බලතල හා පොලිස් බලතල පළාත් සභා මෙළහකටත් අත් කර ගෙන ක්‍රියාත්මක කරනවා.



පළාත් සභා තියාගෙන විධායක බලතල ඉවත් කරන එක භයානක වැඩක්. මෙය ජනාධිපති මහින්දද මෛත්‍රිපාල ද යන්න මත තීරණය වන්නක් නො වෙයි. විධායක බලතල ඉවත් කරනවා කියන්නෙ 1978 ට ආපසු යෑමක් නො වෙයි. එසේ කරන්න පුළුවන් ද එයට දෙමළ ජාතික සංධානය කැමති වේ ද ආදී තර්ක වැදගත් නැහැ. දෙමළ ජාතික සංධානය එයට අකමැති වේවි ඒ නිසා විධායක බලතල ඉවත් කරන්න බැහැ කියන එක අපට පක්‍ෂපාති බවක් පෙනෙන ලෙස ගෙනෙන එහෙත් පුහු තරකයක් පමණයි.



විධායක බලතල ඉවත් කරනවා කියන්නෙ 1978 ට ආපසු යෑමක් නොවන බව කාහටත් වඩා දෙමළ ජාතික සංධානය දන්නවා. ඔවුන් විධායක බලතල ඉවත් කිරීමට පක්‍ෂයි. දැනටමත් ඔවුන්ට ඒ අවශ්‍ය බව ප්‍රකාශ කරලා තියෙනවා. අප වැරදි තැන්වලින් තර්ක කිරීම ආරම්භ කරන්න හොඳ නැහැ. විධායක බලතල ඉවත් කිරීම යනු 1978 ට ආපසු යැමක් නො වෙයි. ඒ 1978 ව්‍යවස්ථාවේ ඡෙද කිහිපයක් පමණක් සංශෝධනය කිරීමක්. එහෙත් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් සංශොධනය කරන්න බැරි බවට ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක් තියෙනවා. අප දහතුන අහෝසි නොකරන්නේ නම් විධායකය ආරක්‍ෂා කිරීමට ජනමත විචාරණයකට සූදානම් විය යුතුයි.



විධායක බලතල ඉවත් කිරීමට දෙමළ ජාතික සංධානය එකඟ නො වේවි යන ව්‍යාජ තර්කය ගෙනැවිත් අප මෝහනයකට පත් කිරීම සහ ඒ නිසා අප එය ඉවත් නොකිරීමට එතරම් දෙයක් කළ යුතු නැති බව පැවසීමත් ඒ තර්කය ගෙන එන්නන්ගේ අභිප්‍රායක් වන්න පුළුවන්. අප අකර්මණ්‍ය කර පළාත් සභා සහ දහතුන ඉවත් කිරීමට සිංහල දේශපාලනඥයන් ද අකමැති විය හැකි බව පැවසීමෙන් සිදු වන්නේ කුමක් ද? දහතුන තබා ගන්නා අතර විධායක බලතල අහෝසි නොකරනු ඇත යන මෝහනයට අප පත් කිරීමෙන් විධායක බලතල අහෝසි කිරීමට විරුද්ධව කටයුතු නොකිරීම මගින් විධායක බලතල ඉවත් කිරීමට අවස්ථාව සලසා දීමයි.



එවිට දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාව පහසුවෙන් ම ඉටුවේවි. ඉන්දියාවට ද 13+ දැනට නැතත් ඉඩම් බලතල හා පොලිස් බලතල පළාත්  සභාවලට දීමෙන් සන්ධීය තත්වය තවත් තහවුරු කර ගැනීමට හැකි වේවි.



පළාත් සභා ඉවත් කිරීමට සිංහල දේශපාලනඥයන් අකමැති විය හැකියි. ඒ ඔවුන් රට ගැන නොව තමන් ගැන හිතන නිසා. අපට එක රැයකින් දේශප්‍රේමී දේශපාලනඥයන් බිහි කරන්න බැහැ. අප කළ යුත්තේ පළාත් සභා අහෝසි කර දිස්ත්‍රික් සභා පිහිටුවීමයි. මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වන එක වළක්වන්න බැහැ. එහෙත් පළාත් සභාවලට වඩා දිස්ත්‍රික සභා යම් ආකාරයක සංවර්ධනයකට උචිතයි.



මන්ත්‍රී සංඛ්‍යාව වැඩිවන නිසා දේශපාලනඥයන් පෞද්ගලික ව දිස්ත්‍රික් සභාවලට අකමැති වෙන එකක් නැහැ. විධායක බලතල ඉවත් කිරීමට පළමු පළාත් සභා අහෝසි කර දහතුන ඉවත් කර දිස්ත්‍රීික් සභා  පිහිටුවීම දෙමළ ජාතිවාදය පරාජය කිරීම සඳහා හේතු වනු ඇති.



ජනතාවට ද තම වැඩක් කර ගැනීමට පළාත් සභාවකට  වඩා දිස්ත්‍රික්ක සභාවක් පහසු වෙනවා. කෑගල්ල - නුවර දිස්ත්‍රික් මායිමේ සිටින අයකුට වැඩක් කර ගැනීමට රත්නපුරයට යෑමට වඩා කෑගල්ලට යෑම පහසුවක් වෙන්න පුළුවන්.



අප ව්‍යාජ තර්කවලින් මුළා නොවිය යුතුයි. ජාතිකවාදීන්ට අද ප්‍රශ්නය වන්නේ දෙමළ ජාතිවාදීන්ට රාජ්‍ය නොවන පඬියන්ට වඩා ඊනියා ස්මාට් ජාතිකවාදීන්. ඔවුන් මුට්ටිවලටත් වඩා භයානකයි.