Main Logo

Saturday 28 April 2018

සම්බන්ධන් හා පුහු පොරවල්


සම්බන්ධන් හා පුහු පොරවල්



සම්බන්ධන් පසුගිය දවසක හොඳ ප්‍රකාශයක් කරලා තිබුණා. ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නැත්නම් උතුරු නැගෙනහිරට වෙන ම පාලනයක් ගේනව කියලා ඔහු කියා තිබුණා. දැන් මේ ප්‍රශ්නය මොකක් ද කියලා දැන ගන්න අප අවුරුදු තිහකට ආසන්න කාලයක් උත්සාහ දරලා තියෙනවා. ඒත් සම්බන්ධන්වත් සුමන්තිරන්වත් විග්න්ස්වරන්වත් ඊට කලින් හිටපු කිසිවකුවත් එයට පිළිතුරක් දීලා නැහැ. දෙමළ ජාතිවාදීන් විතරක් නො වෙයි ඊනියා ස්මාට් ජාතිකවාදීන්වත්, අනෙක් ජාතිකවාදීන්ට එරෙහිව තර්ක සපයන්න හදන පඬියන්වත් ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීලා නැහැ. මේක තමයි මූලික ප්‍රශ්නය. අර පඬියන් වගේ නොවෙයි සම්බන්ධන් අවුරුදු අසූවක පමණ කාලයක් දෙමළ ජාතිවාදීන් කියන කතාව දිගට ම කියනවා. ඒ තමයි ඔවුන්ගේ මොකක් ද ප්‍රශ්නයකට පිළිතුරක් නැත්නම් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම රාජ්‍යයක් ඇති කරනවා කියන එක. මෙයින් කියැවෙන්නේ නැහැ දෙමළ ජාතිවාදය අවුරුදු අසුවකට වඩා පැරණි නැහැ කියලා. දෙමළ ජාතිවාදය දේශපාලන වශයෙන් බෞතීස්ම කෙරුණේ 1833 දී. එය ක්‍රමයෙන් විකාශය වෙලා දෙමළ බෙදුම්වාදය ඇති වෙලා අවුරුදු අසූවක් පමණ වෙනවා. සුන්දරලිංගම් තමයි බෙදුම්වාදය ආරම්භ කෙළේ. නාගනාදන්ලා චෙල්වනායගම්ලා එය වර්ධනය කළා. ප්‍රභාකරන් දෙමළ ත්‍රස්තවාදයක් කරා එය ගෙනිච්චා.




අර පඬියන්  සම්බන්ධන් වගේ නො වෙයි. මේ දෙමළ මිනිසුන්ට දෙමළ වීම නිසා පමණක් ඇතැයි කියන ප්‍රශ්නය මොකක් ද කියලා කියන්න උත්සාහ දැරුවා. එය ඉතාමත් අසාර්ථක ව්‍යාපෘතියක් වුණා. දැන් පඬියන් ඒ ප්‍රශ්නය පැත්තක තියලා ඊනියා රාජ්‍යය කියන්නෙ මොකක් ද කියලා දැන ගන්න උත්සාහ කරනවා. අවාසනාවකට මේ පඬියන් බුද්ධිමතුන් නො වෙයි. ඔවුන් බටහිරයන්ගෙ අදහස් කිහිපයක් කට ගාගත් තම ස්වාමියාගේ කටහඬ පමණයි. ඔවුන්ට කිසිම අදහසක් අලුතෙන් ගේන්න බැහැ. සම්බන්ධන් නම් ප්‍රශ්නය මොකක් ද කියන්නෙ නැතිව ප්‍රශ්නයට විසඳුම් ඉල්ලනවා. පඬියන් ප්‍රශ්නය මොකක් ද කියන එකට උත්තරයක් නැතිව අනන් මනන් කියවනවා.



සම්බන්ධන් ප්‍රශ්නය කියන්නෙ නැතිව ප්‍රශ්නයට විසඳුමක් නැත්නම් වෙන ම රාජ්‍යයක් පිහිටුවන බව කියනවා. මේ රාජ්‍යය ඉංගිරිසින් පිහිටුවපු උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටුවන්නයි සම්බන්ධන්ලාගෙ අදහස. මේ උතුරු පළාත දැන් තියෙන විධියට ලකුණු කෙරුණෙ  1889 දී. ඉංගිරීිසින් මුලින් ලංකාව බෙදුවෙ පළාත් පහකට. (මේ කතා අලුත් කතා නො වෙයි. ඒත් මුහුණු පොතේ පඬියන් මේවා දන්නෙ නැහැ. ඔවුන් මහන්සි වෙලා දැන ගන්නෙත් නැහැ. සකර්බර්ගෙ කොල්ලො කුසීත ව්‍යාජ පඬියන් පමණයි. ප්‍රභාකරන් ඔහුගෙ සීයලා බාප්පලා හා මස්සිනාලා පොතවත් කියෙව්වොත් මේ බොහොමයක් කරුණු දැන ගන්න පුළුවන්. ඒත් සකර්බර්ග් පොත් කියවන්න පුරුදු කරලා නැහැ. පොත් නොවෙයි ඡෙද දෙකකට වඩා කියවන්න පුරුදු කරලා නැහැ) මුල දී අනුරාධපුරයත් අයිති වෙලා තිබුණෙ උතුරු පළාතට. බැරි වෙලාවත් ඒ පළාත් බෙදීම එහෙම ම තිබුණ නම් සම්බන්ධන්ලා අනුරාධපුරයත් ඊළමට ඉල්ලන්න තිබුණා.



මූලික ප්‍රශ්නය දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නය නොවිසඳීම. එයට විසඳුම වෙන ම රාජ්‍යය. දැන් ද්විතීයික ප්‍රශ්නයක්. වෙන ම රාජ්‍යයක් ඉල්ලීම යුක්ති යුක්ත කරන්නෙ කොහොම ද? දෙමළ ජාතිවාදීන් එයට කියන්නෙ අනාදිමත් කාලෙක ඉඳලා මේ පළාත් ඊනියා දෙමළ නිජභූමි කියලා. දැන් ඒක එහෙම නම් ඒ බව පෙන්වන්න ඕන කවු ද? වෙන කවුරුන්වත් නොවෙයි ඒ නිජභූමි කතාව කියන අය. ඒ අයට ඒ බව තමන්ටවත් ඒත්තු යන ආකාරයකින් පෙන්නන්න බැහැ. මෙහි දී කිවයුතු කාරණයක් තියෙනවා. අප මේ පළාත් ඊනියා දෙමළ නිජභූමි නොවන බව පෙන්වන්න අවශ්‍ය නැහැ. නිජභූමි බව පෙන්විම දෙමළ බෙදුම්වාදී ජාතිවාදීන්ගේ කාර්යයක්. මේ පළාත් දෙමළ නිජභූමි නොවන බව අප පෙන්වා දී තියෙනවා. එහෙත් අප එසේ කිරීම අවශ්‍ය නැහැ. දෙමළ බෙදුම්වාදීන් තමයි ඒ පළාත් තම ඊනියා නිජභූමි බව සාධක සහිත ව පෙන්වන්න ඕන. තාමත් ඒක කරලා නැහැ.



අර පඬියන් කියන්නෙත් අවසාන වශයෙන් ගත්තම ඔය නිජභූමි කතාව ම තමයි. මොන පඬි වදන් යොදා ගත්තත් ඔවුන් වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවීම යුක්ති යුක්ත කරන්නෙ ඒ පදනමෙන්. ඔවුන් මොන තරම් කෑ ගැහුවත් රාජ්‍යය ජාතිය යන වචන (සංකල්ප) ගැන බටහිරයන් අතර එකඟත්වයක් නැහැ. ඊනියා සාමූහික විඥානය නිර්ණායකයක් ලෙස ගත්තත් දෙමළ ජනයාට සාමුහික විඥානයකුත් නැහැ. උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ කියන ජනයාට සාමූහික රාජ්‍ය විඥානයක් ඇතැයි කියා පෙන්වීම පඬියන්ගේ කාර්යයක්. එය නැතැයි කියා අප පෙන්වා දී ඇතත් එසේ කිරීම අවශ්‍ය නැහැ. උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත්වන්නේ දෙමළ කතාකරන පිරිස් තුනක්. ඔවුන්ගේ සම්භව වෙනස්. ඒ බව මා ලිපිවල පෙන්වා දී තිබෙනවා. එහෙත් එසේ කිරීම අවශ්‍ය නැහැ. ඒ කොටස් තුන අතර සාමූහික විඥානයක් ඇති වී නැහැ. තමන් පාරම්පරික ව උතුරු හා නැගෙනහිර පළාත්වල සාමුහික ව ජීවත් වු වට විඥානයක් ඔවුන් සතුව නැහැ. මා තේසවලාමේ නීතිය ගැන කියා ඇති. එය පැනවීමට හේතුවත් කියා ඇති. අදවත් නැගෙනහිර පළාතෙ ජීවත්වන දෙමළ කතාකරන අයට යාපන අර්ධද්වීපයට ගිහිල්ලා මේ අපේ පාරම්පරික නිජභූමි කියලා කියන්න පුළුවන් ද? 1976 වඩුකොඩෙයි සම්මේලනයෙන් චෙල්වනායගම් සාමූහික විඥානයක් උඩින් ඇති කරන්න උත්සාහ ගත්තත් එය සාර්ථක වුණේ නැහැ.



ප්‍රභාකරන් යටතේවත් එවැනි සාමූහික රාජ්‍ය විඥානයක් තිබූ බව කිසිවකුටවත් පෙන්වා දෙන්න පුළුවන් ද? එසේ නොතිබීම ඔහුගේ පරාජයට එක් හේතුවක් වුණා. කරුණා අයින් වූ පසු ප්‍රභාකරන්ගේ වැටීම ආරම්භ වුණා. ප්‍රභාකරන් සටන් කෙළෙ නැගෙනහිර පළාත ද තමන් යටතට ගැනීමටයි.  පඬියන් සුරංගනා ලෝකවල ඔවුන් භාවිතා කරන වචනවලින් ම ෆැන්ටසි ගොඩ නගා ගෙන පොරවල් වෙන්න තැත් කරත් පුහු පොරවල් වීමට වඩා දෙයක් කරන්න බැහැ. පුහු පොල් සමග තමයි පුුහු පොරවල් සංසන්දනය කරන්න තියෙන්නෙ.



තර්කය සඳහා අපි උපකල්පනය කරමු සාමූහික දෙමළ රාජ්‍ය විඥානයක් තිබුණාය කියා. ඒ විඥානය මත ලංකා රාජ්‍යයට  අභියෝග කළා කියා. දැන් ඒ අභියෝගයට මොකක් ද වුණේ. නන්දිකඩාල්හි දී අභියෝගය පරාජය වුණා. අද ඉංගිරිසින්ගේ සහාය ලබන දෙමළ ජාතිවාදී බෙදම්වාදයක් උතුරේ කිහිප දෙනකු අතර තියෙනවා. එහෙත් දැන් අභියෝගය පරාජය වෙලා. අනභිබවනීය යැයි කියූ ප්‍රභාකරන් ඝාතනය කෙරිලා. කරුණාලා වෙන් වෙලා. ඒ උපකල්පනය කෙරුණු  විඥානයත් දැන් නැති වෙලා. විග්නේසවරන් ශිවාජිලිංගම් වගේ පිරිසක් එංගලන්තයේ වෙසෙන එංගලන්තයෙන් මෙහෙය වෙන විසුරුණු දෙමළ ජනයාගේ බෙර පදයට නටනවා. දෙමළ ජාතික සංධානය එක්සත් ජාතික පක්‍ෂයටත් වඩා බෙදිලා. (මැරුණු ශ්‍රී ල නි ප ගැන මා කිසිවක් කියන්නෙ නැහැ. මැරිච්ච පක්‍ෂයකට බෙදෙන්න බැහැ. අප දකින්නෙ අවතාර කිහිපයක් පමණයි). එංගලන්තය කොතෙක් උත්සාහ කළත් 1833 දී ඔවුන් බෞතීස්ම කළ දෙමළ ජාතිවාදය අභාවයට යමින් පවතිනවා. රනිල්ගෙ ආණ්ඩුවේ නිවටකම නිසා ශිවාජිලිංගම්ලා ඉන්නවා. ඔහු නියෝජනය කරන්නෙ සාමූහික දෙමළ රාජ්‍ය විඥානයක් ද? පඬියන්ගෙ පුහු මනස්වල ඕන එකක් තියා ගන්න පුළුවන්. ඒත් දෙමළ ජනයාගෙ මනස්වල ඔය කියන විඥානය නැහැ. තියෙනවා නම් පෙන්නන්න.