Main Logo

Monday 30 April 2018

සම්බන්ධන් පවත්වා ගෙන යෑම






සම්බන්ධන් පවත්වා ගෙන යෑම

                                                                                        

සම්බන්ධන් උතුරට හා නැගෙනහිරට වෙන ම පාලනයක් ගේනවා කියන කොට ඒකෙන් කියැවෙන්නෙ මොකක් ද? දෙමළ ජනයාගේ අර නැති ප්‍රශ්නයට විසඳුම් දුන්නෙ නැත්නම් වෙන ම පාලනයක් ගේනවා කියලා තමයි ප්‍රවෘත්තිය වාර්තා වෙලා තිබුණෙ. මෙතැන ඉතා පැහැදිලියි ගේනවා කියන කොට ඔහුගේ හිතේ තියෙන්නෙ මොකක් ද කියලා. ඒක කට මැති දෙඩවිල්ලක් වුණත් නැතත් මේක තමයි දෙමළ ජාතිවාදයෙ බෙදුම්වාදයෙ ත්‍රස්තවාදය. අපට කියන්න තියෙන්නෙ කරුණු දෙකයි. එකක් ප්‍රශ්නයක්. ප්‍රභාකරන්ට බැරි වෙච්ච එකේ සම්බන්ධන්ට පුළුවන් ද?




අනෙක ප්‍රභාකරන්ගෙ නන්දිකඩාල් පරාජයෙන් පස්සෙ බෙදුම්වාදයට දේශපාලන විසඳුමක් දීලා තියෙන්නෙ. ඒ දේශපාලන විසඳුම තමයි එහෙම පාලනයක් ගේන්න බැරි බව ලංකා රාජ්‍යය තීරණාත්මක ව කියලා ඉවරයි. ආයි ඒක ගැන කතා අවශ්‍ය නැහැ. මේ කාරණය සිංහල මිිනිසුන්ට තේරෙන්නෙ නැති නිසා අනවශ්‍ය කතා කිය කිය ඉන්නවා. සිංහල මිනිසුන්ට ඒක තේරුම් කරලා දෙන්න ජාතිකවාදීන් කියන බොහෝ දෙනාත් ඉදිරිපත් වන්නේ නැහැ. ඒ අය දැන් දේශපාලනඥයන්ට යට වෙලා. සිංහල දේශපාලනඥයන්ට නන්දිකඩාල් ජයග්‍රහණයේ වපසරිය තේරෙන්නෙ නැහැ. කණාගාටුයි කියන්න මහින්දට තේරෙන්නෙත් නැහැ. නැත්නම් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙත් 13+ ගැන කතා කරයි ද? අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කතා කරයි ද? ඒ සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැනි සිල්ලර දෙයක් හිලවු කරාවි ද?   



පාලනය කියන එක ඒ ඒ අය තම තමන්ට අවශ්‍ය අන්දමට විග්‍රහ කරනවා. සම්බන්ධන් සුමන්දිරන් වැනි දෙමළ ජාතිවාදීන් ඊනියා මධ්‍යස්ථ මතධාරීන් ලෙස හඳුන්වන්න කැමති ඔවුන්ගෙ මිත්‍රයන් හා වෙනත් අය පාලනය කියන එක වැඩිම වුණොත් සන්ධීය රාජ්‍යයක් කියන තැනට ලඝු කරන්න උත්සාහ දරනවා. එහෙත් සම්බන්ධන්ලා ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයේ දේශපාලන පිළිගත්ත පිළිගන්න අය. මේ පක්‍ෂයේ දෙමළ නම ඉලංකෙයි තමිල් අරසු කච්චි. මේ පක්‍ෂය පිහිටුවා ගත්තෙ 1949 දි රජයේ ලිපිකරු සේවා සංගම් කාර්යාල ශාලාවෙ. ඒ 1956ට කලින් බව කොච්චර කිව්වත් සිංහල පඬියන්ට තේරෙන්නෙත් නැහැ.



මේ පක්‍ෂය පිහිටුවා ගත්තෙ දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගැනීමේ අභිලාෂයෙන් බව පැහැදිලියි. දෙමළ පක්‍ෂ හා මුස්ලිම් පක්‍ෂ තම පක්‍ෂ නම් කරන්නෙ දෙමළ හරි මුස්ලිම් හරි කියලා. එයින් සිංහලයන්ට පහරක් වදින්නෙ නැත් ද? එය ඊනියා සංහිඳියාවට පහරක් ද? ජාතික හෙළ උරුමය කියන අවස්ථාවාදී බලකාමී පක්‍ෂය පිහිටුවා ගැනීමටත් මුල් වුණෙ මේ දෙමළ හා මුස්ලිම් පක්‍ෂ. චම්පක හා රතන හිමි බැලුවෙ සිංහලයන්ගෙ කර පිටින් ගිහිල්ල බලයට එන්න. දැන් ජාතික හෙළ උරුමයක් නැහැ. ඒක අද සිරිකොතේ කාමරයක එක්සත් ජාතික පක්‍ෂයෙ කොටසක් හැටියට තියෙන්නෙ.



ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය ඉංගිරිසියෙන් හැඳින්වූයේ ෆෙඩරල් නමින්. ඒ මොක ද? කොළේ වහලා ගැහැල්ලක්. ඒ ජේ විල්සන් බෑණන්ඩිය කියා ඇති විධියට චෙල්වනායගම් මාමණ්ඩිය  දැන් ටිකක් පසුව හුඟක් ප්‍රතිපත්තය අනුගමනය කරපු අයෙක්. ඔහු ෆෙඩරල් කියලා ඉංගිරිසියෙන් නම් කළෙ තමන් ඉල්ලන්නෙ සන්ධීය රාජ්‍යයක් පමණයි කියලා සිංහලයන්ට කියන්න. ෆෙඩරල් හරහා වෙනම රාජ්‍යය පිහිටුවා ගැනීමේ අභිලාෂය දෙමළ ජාතිවාදීන්ට තිබුණා. ස්වයං පාලනය කියන වචනය ඔවුන් යොදා ගත්ත. ස්වයං නීර්ණ අයිතියක් ගැන කතා කළා. දෙමළ ජාතිවාදයෙ තෝල්කයන් කියපු කාරණයක් තමයි අයිතිය තිබුණට අයිතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය නො වේ ය කියලා. වාසනාවකට සිංහල මිනිසුන් මේ උප්පරවැට්ටිවලට අහු වුණෙ නැහැ. තිම්පු සාකච්ඡාවලදි ජේ ආර් ගෙ නියෝජිතයන් දෙමළ ජාතිවාදීන්ගෙ යෝජනා පිළිගත්තෙ නැහැ. ඒ නියෝජිතයන් අතර එස් එල් ගුණසේකර වැනි ජාතිකවාදියකුත් හිටිය බව අමතක කරන්න එපා.



සම්බන්ධන්ගෙ හා සුමන්තිරන්ගෙ මිතුරන්ට සිංහලයන් රවටන්න බැහැ සම්බන්ධන් වෙන ම රාජ්‍යයක් ඉල්ලන්නෙ නැහැ කියලා. ඔහු එය කෙළින් කියන්නෙ නැති එක වෙන ම කාරණයක්. එහෙත් අඩුම තරමෙන්1949 ඉ’ඳලා දෙමළ ජාතිවාදීන් දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. නාගනාදන් පළමු පාර්ලිමේන්තුවෙ රාජාසන කතා විවාදයේ දි තමයි කිව්වෙ සිංහලයන් දැන් නිදහස දිනාගෙන ඇති බවත් දෙමළ ජනයා සිංහලයන්ගෙන් තම නිදහස දිනාගත යුතු බවත්. සුන්දරලිංගම් ඊළොම් ගැන කතා කෙළෙ ඊටත් කලින්.



දෙමළ ජාතිවාදීන් හා අර පුහු පොරවල් ඊනියා පාරම්පරික නිජ භූමි ගැන කතා කරන්නෙ සමස්ත දෙමළ රාජ්‍ය විඥානයක් ගන කතා කරන්නෙ අහම්බයක් ලෙස වෙන්න බැහැ. ඒ එකකටවත් කිසිම පදනමක් නැති වුණත් ඔවුන්ට එහෙම විඥානයක් තියෙන බව පෙන්නන්න බැරි වුණත් ඔවුන් එසේ විඥානයක් ගැන කතා කරන්නෙ පාරම්පරික නිජභූමි ගැන කියන්නෙ මොන වගේ පාලනයක් ගන්න බලාපොරොත්තුවෙන් ද කියන එකට අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැහැ. ඔවුන් සිංහල බෞද්ධ රාජ්‍යයක් තිබුණු බව පිළිගන්න කැමති නැත්තෙ එමගින් ඔවුන්ගෙ දෙමළ රාජ්‍ය ව්‍යාපෘතියට පහර වදින නිසයි. මේ දෙමළ ජාතිවාදයෙ වන්දිභට්ට පුහු පොරවල්වලට අඩුම තරමෙ රාජ්‍යය කියන්නෙ මොකක් ද කියලා නිර්වචන කරගන්න බැහැ. ඒ බටහිර දේශපාලන විද්‍යාඥයන් රාජ්‍යය කියන්නෙ මොකක් ද කියන එක සැම පිළිගන්න ආකාරයකට නිර්චන කරලා නැති නිසා.



දෙමළ ජාතිවාදීන් විසඳන්න කියන ප්‍රශ්නය තියෙන්න උතුරු හා නැගෙනහිර පළාත්වල ඉන්න දෙමළ කතාකරන ජනයාට පමණ ද? කොළඹ, නුවරඑළිය ආදී දිස්තිකක්වල වෙසෙන දෙමළ කතාකරන ජනයාට ප්‍රශ්නයක් නැද්ද? උතුරු හා නැගෙනහිර පළාත්වලට වෙන ම පාලනයක් ගත්ත ම ඒ දිස්ත්‍රික්වල ඉන්න දෙමළ කතාකරන ජනයාට තියෙන ප්‍රශ්න විසඳෙනවා ද? එහෙම නැත්නම් ඒ පළාත්වලටත් වෙන ම පාලනයක් ගන්න චෙල්වනායගම්ගෙ දැන් ටිකක් පසුව හුඟක් ප්‍රතිපත්තිය යටතෙ බලාපොරොත්තු වෙනවා ද?



ඒ මොන කතාවලිනුත් දැන් වැඩක් නැහැ. අවුරුදු එකසිය අසූපහකටත් වඩා පැරණි දෙමළ ජාතිවාදය අවුරුදු අසූවකට පමණ ඉහත දෙමළ බෙදුම්වාදය බවටත් හැටේ දශකයේ අග භාගයෙ දෙමළ ත්‍රස්තවාදය බවටත් විකාශය වුණා. එය එක ම ක්‍රියා දාමයක්. ඒ සමස්ත ක්‍රියා දාමය ම නන්දිකඩාල් කලපුවේ පරාජය වුණා. දැන් ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. 2009 මැයි මාසයෙන් පසු මහින්ද ඒ ස්ථාවරය ගත්ත නම් ඔය එක ප්‍රශ්නයක්වත් නැහැ. සරත් වීරසේකරට විතරක් නොවෙයි වෙල්ගමටත් මා කියන දෙය තේරෙනවා. ඒ බව ඔවුන් මා සමග පවසාත් තියෙනවා. එහෙත් ලංකාවෙ දේශපාලනය තවමත් මෙහෙය වෙන්නෙ පිටරටින්. සිංහල මිනිසුන්ට සංකල්පීය ව හිතන්න බැරි එකත් ප්‍රශ්නයක් වෙලා.