Main Logo

Tuesday 10 April 2018

මේ කොයි යන්නේ

මේ කොයි යන්නේ

විශ්වාසභංගය පැරදුණේ කා නිසා ද යන්න වැදගත් ප්‍රශ්නයක්. ඉතා පැහැදිලිව බටහිර රටවල හා ඉන්දියාවේ තානාපති හා ඔත්තු සේවා ඇතැමුනට, විශේෂයෙන් ම දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවල මන්ත්‍රීවරුනට බලපෑම් කර තිබෙනවා. ඒ අතර මෛත්‍රිපාල තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට දිය යුතු නායකත්වය දී නැහැ. චන්ද්‍රිකා තවමත් දුමින්ද, අමරවීර හා තවත් අය මගින් එම කණ්ඩායමේ බහුතරයක් මෙහෙයවනවා. දුමින්ද හා අමරවීර ඒ ඒ ලේකම් පදවිවලින් ඉවත් කරනවා නම් හොඳයි. එහෙත් මෛත්‍රිපාලට ඒ සඳහා ශක්තිය නැහැ. අද කළ යුතු ප්‍රධාන ම කාර්යයක් නම් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් ඒ දෙදෙනා එකී තනතුරුවලින් ඉවත් කිරීමයි. එහෙත් එය කරන්නේ කොහොමද යන්න නම් ප්‍රශ්නයක්.

එ ජා පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ තීරණය කර තිබෙන බවක් පේනවා විශ්වාසභංගයට විරුද්ධ ව  ඡන්දය දීමට. ඒ විශ්වාසභංගය පරදින බව දැනගෙන වෙන්න පුළුවන්. ඒ අතර විශ්වාසභංගය පැරදෙන බව දැනගෙන එයට ඡන්දය දීපු අයත් ඉන්නවා. ඒ මහජන අප්‍රසාදයෙන් ගැලවීමට. ඔවුන් අතර ජ වි පෙ මන්ත්‍රීන් හයදෙනා ඉන්නවා. එහෙත් එසේ පරදින බව දැනගෙන පක්‍ෂව ඡන්දය දෙන්නට ඇත්තේ ඔවුන් පමණක් නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු ද ඒ අතර ඉන්න බව පේනවා.
ඒකාබද්ධ විපක්‍ෂයේ ඒ කිහිප දෙනා විශ්වාසභංගයට ඡන්දය දෙන්න ඇත්තේ විශ්වාසභංගයට පක්‍ෂ නිසා නො වෙයි. ඒ අය හිතන්නේ රනිල් තවදුරටත් තබා ගැනීමට. ඔවුන් එහි දී විවිධ හේතු දක්වනවා. රනිල් ඇතිව මේ ආණ්ඩුව පවත්වාගෙන යෑම නිසා ආණ්ඩුව තව තවත් ජනතා අප්‍රසාදයට පත් වේය කියා ඔවුන් හිතනවා.ඔවුන්ගෙන් ඇතැමකුට අවශ්‍ය රනිල් දුර්වල අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වනු දැකීමට. එයට හේතුව ලෙස මා දකින්නේ ඔවුන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන අපේක්‍ෂකයා දුර්වල වීම. මේ ආණ්ඩුව හා රනිල් පවත්වා ගෙන යෑමට ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් ආධාර කරන බව පැහැදිලියි.
ගෝඨාභය රාජපක්‍ෂ ආපසු ඇවිත්. ඔහු චීන විශ්වවිද්‍යාලයකට ගියේ මාසයකට. ඒත් කලින් ම ඇවිත්. ඩී එ රාජපක්‍ෂ සමරු දෙශනයට සහභාගි වීමට පැමිණියා වෙන්න පුළුවන්. සමහරවිට ආපසු යාවි. යම්කිසි අයුරකින් රාජිත වැන්නකු අගමැති වුණා නම් ප්‍රශ්නයක් වන්නට තිබුණා. ඒකාබද්ධ විපක්‍ෂයෙ එක් එක් අය විවිධ කතා කියනවා. රනිල් දුර්වල කිරීමෙන් මෛත්‍රිපාල ශක්තිමත් වේය කියා බයක් ඇතැමුනට තියෙනවා. එය නම් හුඹස් බියක්. මෛත්‍රිපාලට කිසි දිනෙක ශක්තිමත් පුද්ගලයකු වන්න බැහැ. ඔහුට වෙනත් අයගේ ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ චන්ද්‍රිකාගේ හෝ වෙනත් අයකුගේ හෝ වන්න පුළුවන්. 
අද ආණ්ඩුව පළාත් සභා මැතිවරණ කල් දැමීමට හොරගල් අහුලනවා. එවැනි ආණ්ඩුවක් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ගැන ඇති විශ්වාසය කුමක් ද? එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයට හෝ පොදුජන පෙරමුණට හෝ මැතිවරණ ලබා ගැනීම පිළිබඳ නිශ්චිත දැක්මක් නැහැ. සීමා නීර්ණ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ආදියට මොන යම් ක්‍රමයකට වුවත් හැමෝම වග කියන්න ඕන.
අද ශ්‍රී ල නි පක්‍ෂයක් තියෙන්නෙ නිල වශයෙන්. ඔවුන්ට යම් ඡන්ද ප්‍රමාණයක් නැතැයි කියන්න බැහැ. එහෙත් ඒ ඡන්ද වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ශ්‍රී ල නි පක්‍ෂයේ, අඩු තරමෙන් සංධානයේ, මහා ලේකම් වෙනස් කළහොත් පමණක් ශ්‍රී ල නි පක්‍ෂයට සුළු පක්‍ෂයක් ලෙස කටයුුතු කරන්න හැකි වේවි. එසේ නොමැති වුවහොත් ශ්‍රී ල නි පක්‍ෂයට අනාගතයක් නැහැ. එහෙත් පළාත් පාලන මැතිවරණයේ දී ජාතිකත්ව ඡන්ද ප්‍රමාණයක් ශ්‍රී ල නි පක්‍ෂයට හා එ ජ නි සංධානයට ලැබුණු බව අමතක නොකළ යුතුයි. ඒ ඡන්ද චන්ද්‍රිකාට ලැබුණු ඡන්ද නොවන බව අත්තනගල්ලෙන් පැහැදිලි වුණා. එහෙත් චන්ද්‍රිකා තවමත් ශ්‍රී ල නි ප දේශපාලනයේ හොල්මන් කරනවා.
අද රටේ තියෙන්නේ බඩේ බිජු තියාගෙන කරන දේශපාලනයක්. මෙය රටට කිසිසේත්ම යහපත් දෙයක් නො වෙයි. එහෙත් දේශපාලනඥයන් අද රට වෙනුවට පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව වැඩ කරන බව පේන්න තියෙනවා. මාධ්‍ය සන්දර්ශනවලට තමයි තැනක් තියෙන්නෙ. ජනමාධ්‍යවේදීන් යැයි කියා ගන්නා අය ද පහසු කාර්යයක යෙදී සිටිනවා. ඩී ඒ රාජපක්‍ෂ අනුස්මරණ දේශනය ගැන කිසිම ප්‍රචාරයක් නැහැ. ඒ වෙනුවට එය අවසානයේ ඊනියා වොයිස්කට් ප්‍රචාරය කරනවා.
අද ඇත්තේ ඕල්කට් බුද්ධාගමට සම්බන්ධ දේශපාලනයක්. ධර්මපාලතුමා මෙරට සිංහල බුද්ධාගමක්, සිංහල බෞද්ධකමක් ඇති කළා ය කියලා අවුරුදු හැත්තෑවක පමණ කාලයක් තිස්සේ එස් ජී පෙරේරා දේවගැති ගෝලයන් විශ්වවිද්‍යාලවල කියවනවා. සිංහල බුද්ධාගම ගැමුණු රජුගෙ කාලෙ ඉඳලා තියෙන දෙයක්. ඕල්කට්තුමා කෙළේ ඒක නැති කරලා ඕල්කට් බුද්ධාගමක් ඇති කරන්න කටයුතු කරපු එක. ධර්මපාලතුමා ඕල්කට් බුද්ධාගමට විරුද්ධව නැවතත් සිංහල බුද්ධාගමට තැන ලබා දෙන්න උත්සාහ කළා. විශ්වවිද්‍යාලවල බටහිර ක්‍රිස්තියානින්ගෙ අනුකාරක නිවට දාසයන් ඒක විග්‍රහ කෙළෙ අනගාරික ධර්මපාලතුමා අමුතුවෙන් සිංහල බුද්ධගාමක් ඇති කරන්න උත්සාහ කළා කියලා. අද වන විට ඕල්කට් බුද්ධාගමත් ඒ ඇසුරු කරන දේශපාලනයකුත් රටේ පැතිරිලා. පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව දේශපාලනය කරන අයට මේ කියන දේ තේරුම් ගන්න වුවමනාවක් නැහැ.