Main Logo

Friday 13 April 2018

සංධානයට වචනයක්


සංධානයට වචනයක්



ආණ්ඩුවේ ඇමතිවරු දහසය දෙනකු අස්වෙලා. ජනාධිපති එ අස්වීම් පිළිගෙන. මෛත්‍රිපාල කණ්ඩායමේ අනෙක් අය තවමත් ආණ්ඩුවේ. ඔවුන්ට තවත් තනතුරු ලැබෙන්න ඉඩ තියෙනවා. වැදගත් ම දෙන්නා වන අමරවීර හා දුමින්ද දිසානායක තවමත් ආණ්ඩුවේ.ඔවුන් වැදගත් වන්නේ ඔවුන්ගේ චරිතයෙහි හරි පෞද්ගලිකත්වයෙහි හරි වැදගත්කමක් නිසා නො වෙයි. ඔවුන් වැදගත් වන්නේ ඔවුන් දරණ තනතුරු නිසා මිස වෙනත් කිසිම හේතුවක් නිසා නො වෙයි.


ඔවුන් දෙදෙනා ශ්‍රී ල නි පක්‍ෂයෙහි හා එක්සත් ජනතා නිදහස් සංධානයෙහි ලේකම්වරු. මෛත්‍රිපාල ඔවුන් දෙදෙනා ඒ තනතුරුවලට පත් කෙළේ 2015 අගෝස්තු මැතිවරණයට කලින්. ඒ පැහැදිලිව ම චන්ද්‍රිකාගේ ඕනෑකමට. අදත් චන්ද්‍රිකා අමරවිර හා දුමින්ද එකට ඉන්නෙ. ඔවුන් කොහොමටවත් ආණ්ඩුව දාලා යන්නෙ නැහැ කියලයි කියන්නෙ. ඒකත් ඇත්ත. ඔවුන් ආණ්ඩුව දාලා කොහෙ යන්න ද?

මේ තුන්දෙනාට පොදු සාධකයක් නැත්නම් ලක්‍ෂණයක් තියෙනවා. ඔවුන් තිදෙනා ම මහින්ද විරෝධීන්. ඔවුන්ට ආණ්ඩුව දාලා මහින්ද ළඟට යන්න බැහැ. අමරවීරයි දුමින්දයි 2015 අගෝස්තු මැතිවරණයට විශාල බලපෑමක් කළා. අද ඒකාබද්ධ විපක්‍ෂය කියන කණ්ඩායමට හා පොදුවේ සංධානයට මැතිවරණයේ දී වෙන ම තරග කරන ලෙස අප ඉල්ලා සිටියේ මේ බලපෑම් ඒමටත් කලින්. ඒත් ඒක එහෙම වුණෙ නැහැ. ඒ සඳහා සුදුසු අවස්ථාව එය නොවේය කියලයි පඬියන් කියන්නෙ. එදා ඇතැම් රාජපක්‍ෂලාත් කිව්වෙ එහෙමයි. 

ඉස්සර අප කුඩා කළ ග්‍රැමෆෝන් තිබුණු යුගයේ එච් එම් වී තැටි කියලා තැටි තිබුණා. මට මතක හැටියට ඒ තැටිවල බල්ලකුගෙ පින්තූරයක් තිබුණා. එච් එම් වී කිව්වෙ හිස් මාස්ටර්ස් වොයිස් නැත්නම් ඔහුගේ ස්වාමියාගේ කටහඬ කියලයි. බල්ලා තම ස්වාමියාගෙ කටහඬ කියන තේරුමක් ඉන් දුන්නට එය ගායක ගායිකාවන්ට කරපු නිග්‍රහයක් නො වෙයි. ඕනෑම දෙයකට බොහෝ අර්ථකථන දෙන්න පුළුවන්. බල්ලා ස්වාමියා වන විධියටත් අර්ථකථනයක් දෙන්න පුළුවන්. 

අදත් සමහර පඬියන්ට ඇත්තේ තම ස්වාමීන්ගේ කටහඬ පමණයි. ඒත් සමහර වෙලාවට උඩු බුරලා කොලේ ඉරා ගන්නවා. එතකොට ස්වාමියත් ඉවරයි. ඒ කොහොම වෙතත් එක් එක් අයගේ කටහඬ අපට වෙන වෙන තැන්වලින් ඇහෙනවා. අද මෛත්‍රිපාලගෙ කටහඬ නම් කොහෙන්වත් ඇහෙන්නෙ නැහැ. මෛත්‍රිපාල පාර්ලිමේන්තු සැසිවාරය කල් දාලා. ඒ ඔහුගෙ කටහඬ ඇහෙන්නෙ නැති නිසා ද අවුරුදු කාලෙ රතිඤ්ඤ හඬට ඉඩ දෙන්න ඕන නිසා ද කියලා පැහැදිලි නැහැ. ඒත් අද මෛත්‍රිපාල චන්ද්‍රිකාගෙ හරි රනිල්ගෙ හරි කටහඬ නොවන බව නම් පැහැදිලියි. ඒක රඟපෑමක් ද කියලා ත්‍රිරෝද රියැදුරන් වෙනුවෙන් මුහුණු පොතේ පෙනී සිටින මහා දාර්ශනිකයගෙන් අහන්න ඕන.

තම ස්වාමියාගෙ කටහඬ මෙරට උගතුන්ගෙන් නම් නිතර ම ඇහෙනවා. ඔවුන් දන්නෙ බටහිර මතවාදයක් තමන්ගෙ කටහඬින් කියන එක පමණයි. පාසල්වල යම් ඡෙදයක් දීලා ඒක තමන්ගෙ වචනවලින් කියන්න ඉගැන්නුවා. ඒත් මේ පඬියන් ඒක ඉගෙන ගත් බවක් පෙනෙන්න නැහැ. බටහිර සුද්දන් විසින් දෙන ලද ඡෙදය පඬියන් ඒ වචනවලින්  ම නැවතත් කියනවා. ඒත් සමහර වෙලාවට පඬියන්ට වචන වරදිනවා. අහගෙන ඉන්න අයටත් එච්චර තේරුමක් නැති නිසා ප්‍රශ්නයක් වන්නේ නැහැ.

අද කළ යුතු දේ තමයි සංධානයෙන් තරග කළ එකේ සංධානෙ බලය අල්ල ගන්න පුළුවන් ද කියලා කල්පනා කරන එක. සංධානෙ ව්‍යවස්ථාව කියවන්නෙ නැතිව ඒ ගැන නිශ්චිත යමක් කියන්න  බැහැ. අලුත් අවුරුද්දට වැඩ අල්ලන්න ශ්‍රී ල නි පක්‍ෂයෙ හා සංධානයෙ බලය අල්ල ගන්න පුළුවන් ද කියලා බලනවා නම් හොඳයි. එහෙම කළොත් සම්බන්ධන් විපක්‍ෂ නායක කමෙනුත් අනුර දිසානායක විපක්‍ෂෙ ප්‍රධාන සංවිධායක කමෙනුත් අස් කරන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් කීකරු ජයසූරියටත් රනිල්ටත් ඒක ප්‍රශ්නයක් වේවි. පාර්ලිමේන්තු වාදවලටත් ඒක හොඳ වේවි. 

ඒත් මැයි අටවැනි දා වෙනකන් පාර්ලිමේන්තුව රැස්වන්නෙ නැහැ. මැයි දිනය මැයි හත්වෙනිදා  පැවැත්වෙන්න. ඒකත් හොඳ වැඩක්. කම්කරු පංතියක් කියලා එකක් නැති වුණාට සිංහල බුද්ධාගමක් තියෙනවා, සිංහල බෞද්ධයන් ඉන්නවා. සිංහල ජාතියකුත් තියෙනවා. සිංහල බෞද්ධ රාජ්‍යය නම් දැන් නැහැ. එහෙත් ඒකෙ ඉතුරු වෙච්ච දේ තියෙනවා. කම්කරු පංතියක් තියෙනවා කියලා හිතන උගතුන් කිහිප දෙනකු මැයි පළමුවැනිදාට රැස්වීම් පවත්වාවි. අවුරුද්දකට වතාවක් අඳින රතු කමිසෙ එදාට අඳීවි. ඒකට කමක් නැහැ. සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව් කියලා උස්හඬින් ගායනා කරන්න පුළුවන්. අර රාජකීය විද්‍යාලෙට ගිය කොල්ලත් අරගෙන මා මෙල්බන් නුවර මැයි දින පෙළපාලිවල ගිහිල්ල තියෙනවා. මේ දවස්වල මා ඉන්නෙ ඒ කොල්ලගෙ ගෙදර. කාට හරි ප්‍රශ්නයක් තියෙනව නම් ඔහුට හරි ඇයට හරි ටිකක් උඩු බුරන්න පුළුවන්. 

අප කියන දේ පඬියන් පඬියන් අහන්නෙ නැහැ. මේ මැයි දිනය ඔය කියන නැති කම්කරු පංතිය ගණන් ගන්නෙ නැතිව රණවිරුවන්ගෙ මැයි දිනයක් කරන්න පුළුවන්. කවුරු හරි පඬියකු කියන්න පුළුවන් මා මැයි දිනය කියන්නෙ මොකක් ද කියලා දන්නෙ නැහැ කියලා. අද මැයි දිනය කියන්නෙ නැති කම්කරු පංතියක දිනයක් නොව ඇති දේශපාලන පක්‍ෂවල දිනයක්. පොහොට්ටුවට බැරි ද තම මැයි දිනය රණවිරුවන්ගෙ මැයි දිනයක් බවට පත් කරලා ඊට පස්සෙ දවසෙ සංධානයට පාර්ලිමේන්තුවෙ විරුද්ධ පක්‍ෂ නායක කම ගන්න. 

මේ ලිපිය ලියන ගමන් පුරුද්දට රූපවාහිනය බැලුව. ඒකෙ වැඩසටහනක් ප්‍රචාරය වෙනවා අවුරුදු බෑක් ටු බැක් කියලා අපේ දේ රැකගෙන අලුත් දේ අරගන්න වෙන්න ඇති.