Main Logo

Friday 27 April 2018

වෙසක් පොහොය කවදා ද?


වෙසක් පොහොය කවදා ද?



මෙවර වෙසක් පොහොය පිළිබඳ විවාදයක් ඇති වී තිබෙනවා. එය ඉතා වැදගත්. වෙසක් මාසය, වෙසක් පොහොය, අධි පොහොය උදාවීම ආදිය පිළිබඳ සූත්‍ර (සූත්‍ර කියන්නේ ඇසූ දේ)  කිහිපයක් ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනකු පෙන්වා දී තිබෙනවා. මෙය තමා අපේ ක්‍රමය. අප බලන්නේ මෙතෙක් පොහොය, අධි පොහොය ආදිය නීර්ණය කිරීමේ දී යොදා ගෙන ඇති ක්‍රම.  බටහිර ක්‍රමය එයට වඩා වෙනස්. එහි සූත්‍රයකට වඩා මූල ධර්මයකට වැදගත්කමක් හිමි වෙනවා. අප අපේ සම්ප්‍රදායේ සිටින අතර බටහිරයන්ගේ මූල ධර්ම ක්‍රමය අපට අවශෝෂණය කර ගන්නේ කෙසේ දැයි කල්පනා කරන්න ඕන.




අධි පොහොයක් ඇති වන්නේ චන්ද්‍ර මාස ක්‍රමය හා සෘතු අතර වෙනසක් ඇති බැවින්. මේ වෙනස් ඇති වීම ඕනෑම මාස ක්‍රමයක, දින දර්ශනයක සිදු වෙනවා. ස්වභාව ධර්මය මිනිසාගේ නියම අනුව ක්‍රියා කරන්නේ නැහැ (ස්වභාව ධර්මය යන්න ම මිනිසුන් සංස්කරණය කළ දැනුමක්). මිනිසුන්ගේ නියම, ප්‍රවාද ආදිය යම් පරාසයක හරියන දේ පමණයි. ඒ මිනිසුන්ගේ හිතළු (බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්තයි). චන්ද්‍ර මාස ක්‍රමය අනුව මාස 33කට පමණ වරක් මාසයක් ඉවත් කර සෘතු සමග ගලපන්න වෙනවා. ඒ ඉවත් කරන මාසය අධි මාසයක් ලෙස හඳුන්වනවා.



කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වූ රසංජලී රූපසිංහ කර ඇත්තේ ජ්‍යොතිෂ භාෂාවෙන් කියනවා නම් අමාන්ත අධි මාසයක් ලබා ගැනීමේ දී මූල ධර්මයක් ඉදිරිපත් කිරීමයි. (මා කාලය වෙබ් අඩවියේ 2017 ජූලි 26 දින ලියූ ලිපියෙහි මෙය විස්තර කෙරෙනවා)   ඇය කියා ඇත්තේ සූර්ය මාසයක අමාවක පොහෝ දින දෙකක් ඇත් නම් එය අධික චන්ද්‍ර මාසයක් ලෙස සැලකිය යුතු බවයි. ඒ මූල ධර්මය ජ්‍යොතිෂවේදීන් කියන දේ සමග ගැලපෙනවා. ශක වර්ෂය 19න් බෙදා ඉතිරිය අනුව අධික මාසයක් වෙන් කිරීම ආදිය ඒ මූල ධර්මයට එකඟයි. 2018 වැනි තත්වයක් උදාවී ඇත්තේ දැනට අවුරුදු 19කට පෙර. එහෙත් ඒ අතර අධි පොහොය තිබූ වසර තියෙනවා. මෙවර (2018) ලැබෙන්නේ අධි පොසොන් මාසයක් හා අධි පොසොන් පොහොයක්.



මේ අතර අචාර්ය ඌරුපැලැව්වේ හේමාරාම හිමියන් ශාසනික ක්‍රමයක් ගැන සඳහන් කර තිබෙනවා (2018 ජනවාරි 21 ඉරිදා දිවයින). එය වස්සාන සෘතුව සම්බන්ධවයි. එයින් පෙනෙන්නේ ශාසනික ක්‍රමය අනුව, ජ්‍යොතිෂ ක්‍රමය අනුව මෙන් නොව වස්සානය (සෘතුව) සමග ගැලපෙන පරිදි අධි මාසයක් (ඇසළ) වෙන් කර චන්ද්‍ර මාස ක්‍රමය සකස් කරගෙන ඇති බවයි. ශාසනික ක්‍රමයේ එලෙස අධි මාසය සකස් කිරීමට වස්සානය එළඹෙන තෙක් ම බලා සිට තිබෙනවා. ඒ අනුව වසන්තය උදාවීම ආදිය ශාසනික චන්ද්‍ර මාස ක්‍රමය අනුව මඳ වෙනසකට භාජනය වී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වඩා වැදගත් වී ඇත්තේ වස්සානය මිස වෙනත් සෘතුවක් නොවන බව පැහැදිලියි. අදත් උපසම්පදා භික්‍ෂූන් වහන්සේ ජ්‍යෙෂ්ඨත්වය බලන්නේ වස් කොපමණ ද යන්නෙන්.



ජ්‍යොතිෂ සම්ප්‍රදාය අනුව මෙයට පෙර අධි මාසයක් තිබී ඇත්තේ 2015 අග භාගයේ විය යුතුයි. මා ළඟ අවශ්‍ය ලිත් නොමැති වීම නිසා මෙය හරියට ම කීම අපහසුයි. එය 2015 වස්සානයට පසු යෙදිනි නම් ශාසනික ක්‍රමය අනුව අධි මාසය එකතු වන්න ඇත්තේ 2016 ඇසළ මාසයෙහි. මෙහි පරස්පරයක් තියෙනවා. ජ්‍යොතිෂ සම්ප්‍රදාය අනුව 2015 අග අධික මාසයක් එකතු වී තිබෙනවා. එහෙත් ශාසනික සම්ප්‍රදාය අනුව එසේ එකතුවීමට 2016 ඇසළ වන තුරු බලා සිටින්න සිදු වෙලා. ඒ කියන්නේ 2016 (මගේ උපකල්පන නිවැරදි නම්) ජ්‍යොතිෂ වෙසක් මාසය හා ශාසනික වෙසක් මාසය දෙකක්. ශාසනික වෙසක් මාසය ජ්‍යෙතිෂ වෙසක් මාසයට පසුව ලැබෙන්න ඇති. ජ්‍යොතිෂ වෙසක් පොහොය මැයි මාසයක යෙදීම නිසා කවුරුත් කලබල නොවන්න ඇති.



2016 ඇසළ මාසයෙන් පසු (මෙහෙම ලියන එක වැරදියි. ක්‍රිස්තු වර්ෂය සමග ඇසළ ලියන එක හරි නැහැ. එහෙත් අද අපට තේරෙන්නේ එසේ ලිවුවොත්) ශාසනික මාසය හා ජ්‍යොතිෂ මාසය එකට යෙදෙන්න ඇති. 2018 අප්‍රේල් 15 වැනි දා ලබන්නේ ක්‍රම දෙක අනුව ම වෙසක් මාසය. නැවතත් වෙනසක් සිදුවන්නේ මෙවර ජ්‍යොතිෂ අධි පොසොන් මාසයේ දී. එහි දී ජ්‍යොතිෂ අධි පොසොන් මාසය ශාසනික පොසොන් මාසය බවටත් ජ්‍යොතිෂ පොසොන් මාසය ශාසනික ඇසළ මාසය බවටත් පත්වෙනවා. එහෙත් පසුව 2018 වස්සානයෙන් පසු ක්‍රම දෙකෙහි ම මාස එක් ව යෙදෙනවා.



එබැවින් ශාසනික ක්‍රමයට අනුව වුවත් වෙසක් මාසය මෙවර උදාවන්නේ අප්‍රේල් 15 වැනි දා. වෙසක් පොහොය අප්‍රේල් 29 වැනි දා උදාවීම ශාසනික සම්ප්‍රදායට අනුව වුවත් එකඟයි.



එහෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. 2016 අප වෙසක් පොහොය නියම කෙළේ ශාසනික සම්ප්‍රදායට අනුව නොවන බවයි මගේ හැඟීම. එහෙත් අප කිසිවකු එදා එය ප්‍රශ්න නොකරන්න ඇති. ඒ එදා වෙසක් පොහොය සුද්දන්ගේ මැයි මාසයෙහි වීම නිසා. (මෙය 2016 වීය යන්න මා ලිත් නැතිව කරන ගණනයක ප්‍රතිඵලයක්. එය 2015 වන්නත් පුළුවන්). එහෙමත් නැත්නම් ශාසනික පොහොය සම්ප්‍රදායක් ගැන එදා කතා නොකරන්න ඇති. ජ්‍යොතිෂ ක්‍රම පමණක් අනුගමනය කරන්න ඇති.



මෙහි දී තවත් ප්‍රශ්නයක් පැන නගිනවා. අප සමරන්නේ වෙසක් පුර පසළොස්වක ද සිදුහත් කුමරුන්ගේ උත්පත්තිය බුදුවීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම ද යන්න. තෙමඟුල සිදුවී ඇත්තේ කෙදිනක ද ? ඇතැම් ජ්‍යොතිෂවේදීන්  කියන පරිදි ඒ තෙමඟුල සඳහා රවි උච්ච ව සඳු සප්තම ව (රවිගෙන් රාශි හත) සිටිය යුතු නම්, අපට එය නිර්ණායකය වේ නම්, තෙමඟුල රවි උච්ච මාසයෙහි පුර පසළොස්වක යෙදිය යුතුය (පුර පසළොස්වක යෙදෙන්නේ රවිට විරුද්ධ රාශියෙහි- සප්තමව- සඳු සිටින විට). 2018 ට නම් අප්‍රේල් 29 ඒ නිරාණායකයත් සපුරාලනවා. එහෙත් අනෙක් වසරවලත් ඒ නිර්ණායකය සම්පූර්ණ වී ද යන්න ප්‍රශ්නයක්. එය  නිර්ණායකයක් ලෙස ගත යුතු ද යන්නත් ප්‍රශ්නයක්. අපි මේ සියල්ල පසුව හීන් සීරුවේ ලිහා ගනිමු.



ජ්‍යොතිෂ සම්ප්‍රදාය අනුව ගත්තත් ශාසනික සම්ප්‍රදාය අනුව ගත්තත් තෙමඟුල ගත්තත් 2018 අප්‍රේල් 29 ප්‍රශ්නයක් නැහැ. ලබන වසරට මේ සඳහා සුදුසු නිර්ණායක තව තවත් පැරණි පොතපත කියවා සොයා ගනිමු.