Main Logo

Thursday 10 May 2018

දෙමළ ජාතිවාදයේ ආරම්භය


දෙමළ ජාතිවාදයේ ආරම්භය



දෙමළ ජාතිවාදය ඇති වීම පිළිබඳ දැන් කලක සිට අලුත් කතාවක් කියැවෙනවා. එයින් කියන්නේ සියල්ලට මුල උතුරේ අනෙක් දෙමළ කතාකරන ජනයා මත ඇති කරන වෙල්ලාලයන්ගේ දැඩි කුල පීඩනය කියා. මෙය කරුණු විකෘති කිරීමක්. මේ අනුව කියන්නේ කුල පීඩනය නිසා වෙල්ලාලයන් කෙරෙහි දැක් වූ ජනතා විරෝධය මග අරින්න වෙල්ලාලයන් ආණ්ඩු විරෝධී (සිංහල විරෝධී) ක්‍රියා මාර්ගයක් අනුගමනය කළා කියා.




මේ කතාවේ සිංහල විරෝධය ඇරඹි දවස කුමක් ද කියා කියැවෙන්නේ නැහැ. වෙල්ලාල කුල පීඩනය අද ඊයේ ඇති වූවක් නො වෙයි. එය ලන්දේසි කාලයේ සිට පැවත එන්නක්. යාපනයේ සිටි සිංහලයන් කෝවියාර් නලවාර් වැනි ඊනියා අඩු කුළ ඇති කර ඒවාට අවශෝෂණය කර තිබෙනවා. කෝවියාර් නලවාර් ආදියට දෙමළ නිරුක්ති නැහැ. කෝවියාර් යනු සිංහල ගොවි කුලය දෙමළ වූ ආකාරයයි. ගොවියා යන්නෙහි දෙමළ උච්චාරණය  කෝවියාර් යන්නයි. නලවාර් යනු රා මදින්නන්. නල යනු සිංහල වචනයක්. එයට දෙමළ නිරුක්තියක් නැහැ. මට දෙමළ වෛද්‍යවරයකු පැවසුවේ තල් රා මැදීමේ දී යම් නලයක් යොදා ගැනීම නිසා මේ වචනය භාවිතයට පැමිණ ඇති බවයි.



යාපනයේ සිටි ගොවි කුලය අනෙක් පළාත්වලත් සිටි ගොවි කුලය ම විය යුතුයි කියා හිතන්න පුළුවන්. අනෙක් පළාත්වල ගොවි කුලය ගොවිගම හා බත්ගම යනුවෙන් පසුව බෙදී තිබෙනවා. දඹදෙණි යුගයේ සිට මෙහි පැමිණෙන්නට පටන් ගෙන ඇති බ්‍රාහ්මණ වාංශිකයන්ගෙන් නුවර පදිංචි වූ අය පසු කලෙක රදළයන් ලෙස ගොවිගම කුලයට අවශෝෂණය කරගෙන තිබෙනවා. බ්‍රාහ්මණ වාංශිකයන්ගෙන් පිරිසක් සලාගම කුලයට අවශෝෂණය වී ඇති බවට ද ජනප්‍රවාදයෙ සාක්‍ෂි තියෙනවා. මා මේ කියන්නේ සිංහලයන් අතර කුල සංවාදයක් ඇති කිරීමේ අරමුණෙන් නො වෙයි. මෙරට ගොවි කුලයේ විකාශය යාපනය ද ගෙන කෙසේ වී ඇත් දැයි මට තේරෙන විධියට කීමට පමණයි. මට වඩා අවශ්‍ය යාපනයේ සිටි ගොවි කුලයට සිදු වූයේ කුමක් ද යන්න හා එහි සිටි අනෙක් සිංහලයන්ට සිදු වූයේ කුමක් දැයි කීමටයි.



පසුගිය දා කරන ලද අධ්‍යනයකට අනුව සිංහලයන්ගේ හා යාපනයේ දෙමළ කතා කරන ජනයාග් ජාන විශාල වශයෙන් සැසඳෙනවා. මෙයින් කියැවෙන කරුණ නම් යාපනයේ ජනයාගෙන් විශාල පිරිසක් කලින් සිංහලයන් වූ බවයි. මා දන්නවා කාට හරි කියන්න පුළුවන් එයින් කියැවෙන්නේ සිංහලයන් කලින් දෙමළ වූ බව කියා. එහෙත් ඒ අධ්‍යයනයෙන් ම කියන්නේ සිංහලයන් හා වංගයන් (බෙංගාල) අතර විශාල ප්‍රතිශතයක ජාන සම්බන්ධකම් ඇති බව. එය විජය කතාව සමග ගැලපෙනවා.



ඒ කොහොම වුණත් ලන්දේසීන් වෙල්ලාලයන්ට විශාල අනුග්‍රහයක් දක්වා අනෙක් කුල පහත් කර තිබෙනවා. ඉන්පසු ඉංගිරිසි යුගයේත් එය දිගට ම ගෙන ගියා. අරමුගම් නවලාර් කියන්නෙ යාපනයේ හින්දු පුනර්ජීවනයක් ඇති කළ තැනැත්තෙක්. සමහරු ඔහු ධර්මපාලතුමා සමග සංසන්දනය කරනවා. එය වැරදියි. ධර්මපාලතුමා බෞද්ධ පුනර්ජීවනයක් ගැන කතා කළ එක ඇත්ත. එතුමා සිංහල බෞද්ධකම ඉස්මතු කළා. ඒ සිංහල බෞද්ධ විරෝධී පඬියන් කියන පරිදි අමුතුවෙන් සිංහල බෞද්ධ සංකල්පයක් තනා ගෙන නොවෙයි. ඕල්කට්තුමාගේ ඕල්කට් බුද්ධාගමට විරුද්ධවයි. ඕල්කට් බුද්ධාගම ජාත්‍යන්තර බුද්ධාගමක්. එහි සිංහලකමක් තිබුණේ නැහැ.  ඕල්කට්තුමාගේ සරසවි සඳරැස පුවත්පත වෙනුවට ධර්මපාලතුමා සිංහල බෞද්ධයා පුවත්පත ආරම්භ කළා. ධර්මපාලතුමා කුලවාදියෙක් නො වෙයි. එහෙත් නවලාර් දරුණු ම ගණයේ කුල වාදියෙක්.



වෙල්ලාලයන් ඊනියා අඩු කුල ජනයාට කෝවිලකට එන්න දුන්නේ නැහැ. නවලාර් කෙළේ ඒ යුක්තියුක්ත කිරීමයි. දැන් වෙල්ලාලයන්ට එරෙහිව අනෙක් කුලවල ජනයා නැගී සිටියේ 1948න් පසු ද? මෙය විකාර කතාවක්. වෙල්ලාල කුල පීඩනයක් දිගට ම තිබුණා. ඒ නිසා වෙල්ලාල විරෝධයක් ද තිබුණා. එහෙත් වෙල්ලාලයන් එය මග හැර ජනතා විරෝධය ආණ්ඩුවට (ඉංගිරිසි) යොමු කෙළේ නැහැ. වෙල්ලාලයන් කෙළේ ඉංගිරිසි ආණ්ඩුවට තව තවත් කත් ඇද රටේ දේශපාලන ආර්ථික හා සංස්කෘතික ක්‍ෂෙත්‍රවල නායකයන් බවට පත්වීමට කටයුතු කිරීමයි. එහි දී පොන්නම්බලම් - කුමාරස්වාමි පවුල ප්‍රධානත්වය ගත්තා.     



දෙමළ ජාතිවාදය යනු වෙල්ලාල ආධිපත්‍යයට එරෙහිව අනෙක් කුලවල ජනයා නැගී සිටි විට ඒ සටන වෙනත් අතකට යොමු කර සිංහල විරෝධයක් බවට පත් කිරීමට නිර්මාණය කර ගත්තක් නො වෙයි. වෙල්ලාල ආධිපත්‍යයක් තිබූ බව ඇත්ත. එහෙත් ඒ සමග වෙල්ලාලයන්ගේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදයක් තිබුණා. ලන්දෙසි යුගයේ ලන්දෙිසීන්ගේ මෙහෙයවීමෙන් දෙමළ මුදලිවරයකු යාල්පානම් වෛපව මාලෙයි කියන ව්‍යාජ ඉතිහාසය රචනා කර ඇත්තේ සිංහල රජුට වත්මන් නැගෙනහිර වෙරළ අහිමි කර එහි වරාය තමන් අතට ගැනීමටත් සිංහලයන්ට මෙරට හිමි තැන නැති කිරීමටත්. ඒ වෙල්ලාලයන්ට විරුද්ධව ඇති වූ සටනක් වෙනත් පැත්තකට හැරවීමට නො වෙයි.



ඉංගිරිසින් යටතේ 1833 දී දෙමළ ජාතිවාදය සිංහලයන්ට විරුද්ධව දේශපාලනික ව බෞතීස්ම කෙරුණා. මා මෙය විස්තර කර ඇති බැවින් නැවත කියන්නේ නැහැ. ඩොනමෝර් යුගයේ ජාතිවාදී දේශපාලනය ගැන  ජේන් රසල් ආදීන් ද ලියා තියෙනවා. දෙමළ ජාතිවාදයේ විකාශය ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොතේ සඳහන් කෙරී තියෙනවා. දෙමළ ජාතිවාදය   ලනදේසීන් ඇති කර ඉංගිරිසින් බෞතීස්ම කර සිංහලයන්ට විරුද්ධව ගෙන යන්නක්. යාපනයේ වෙල්ලාල කුල පීඩනයක් තිබෙන බව ඇත්ත. එහෙත් දෙමළ ජාතිවාදය ඒ නිසා හටගත්තක් නො වෙයි. අප තවමත් මොන බොරු අධිරාජ්‍ය විරෝධී කතා කීව්වත් ඉංගිරිසින්ට වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් දොස් කියන්න කැමති නැහැ. විශේෂයෙන් ම ඉංගිරිසි උගතුන්ගේ අධිරාජ්‍ය විරෝධය සීමිතයි. එබැවින් ඔවුන් දෙමළ ජාතිවාදයේ ආරම්භය ඉංගිරිසින්ගෙන් වෙනත් පැත්තකට යොමු කරන්න හදනවා.