Main Logo

Thursday 3 May 2018

ස්වභාව ධර්මය හා නීති


ස්වභාව ධර්මය හා නීති



සමහර වෙලාවට අහන්න ලැබෙනවා ස්වභාව ධර්මයෙහි නීති නියම ආදිය ගැන. ස්වභාව ධර්මය කියා දෙයක් තියෙනවා කියලා උපකල්පනය කරලා ඒ ස්වභාව ධර්මය ක්‍රියාකරන හැටි, එහි සම්බන්ධකම් ආදිය කියැවෙන නීති තියෙන බවත් ඒවා සොයා ගැනීම බටහිර විද්‍යාවෙන් කෙරෙන බවත් ඇතැමුන් කියනවා. මේ බටහිර ස්වාභාවික විද්‍යා ගැන පමණක් නොව සමාජයීය විද්‍යාවන් ගැනත් කියැවෙන්නක්. මිනිස් ඉතිහාසයේ විකාශය ගැන මාක්ස් හොයලා කිව්වා. ඒවා හරි ගිහින් නැති බව වෙන ම කතාවක්. ආර්ථිකය හැසිරෙන විධිය ගැන මාක්ස්වාදී නොවන ආර්ථික විද්‍යාඥයොත් කියනවා. ඒත් ආර්ථිකය වැඩ කරන්නෙ මේ නීතිවලට අනුව නො වෙයි.




සමහරු කියනවා සමාජයීය විද්‍යාවන්හි එහෙම වුනාට බටහිර ස්වාභාවික විද්‍යාවන්හි නම් හරියට ම වැඩ කරන නීති තියෙනවා කියලා. මේ නීති හරියට ම වැඩ කරන්නෙ කොහෙ ද කියන එක ප්‍රශ්නයක්. ඉස්සර ඊතරය කියලා එකක් ගැන බටහිර භෞතික විද්‍යාවෙ ඉගැන්නුවා.  මැක්ස්වෙල් විද්‍යුත් චුම්බක ප්‍රවාදය ඉදිරිපත් කරලා (ඔවුන් කියන විධියට හොයා ගෙන) විද්‍යුත් චුම්බක තරංග ගැන කිව්වා. ඔහුගේ ප්‍රවාදයෙන් ඉදිරිපත් වුණු වැදගත් ම අදහස තමයි විද්‍යුත් චුම්බක ක්‍ෂෙත්‍රය. ක්‍ෂෙත්‍රය කියන සංකල්පය ෆැරඩේගෙ.



ක්‍ෂෙත්‍ර රාශියක් ගැන ඊට පස්සෙ දැන ගත්තා. දැන් ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර ප්‍රවාදයෙහි (Quantum Field Theory) ක්‍ෂෙත්‍ර හතක් ගැන කියැවෙනවා. හිග්ස් ක්‍ෂෙත්‍රයත් තියෙනවයි කියලා දැනට අවුරුදු කිහිපයකට උඩ දි හොයා ගත්තා. මේ ක්‍ෂෙත්‍ර අතර ගුරුත්වාකර්ෂණ ෂෙත්‍රයත් තියෙනවා. ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය නිව්ටන්ගෙ අදහසක් නො වෙයි. නිව්ටන් ක්‍ෂෙත්‍ර ගැන දැනන් හිටියෙ නැහැ. මග ඇරුණෙ මොකද දන්නෙ නැහැ. නිව්ටන් කතා කෙළෙ දුරක දී සිදුවන ක්‍රියා ගැන. ඔහුට ගුරුත්වාකර්ක්‍ෂණ බලය දුරක දී සිදුවන ක්‍රියාවක් වුණා. මැක්ස්වෙල්ගෙන් පස්සෙ තමයි බටහිර විද්‍යාඥයො ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය ගැන කතා කරන්න පටන් ගත්තෙ. අයින්ස්ටයින් ක්‍ෂෙත්‍ර ගැන තදින් විශ්වාස කළා. 



දැන් මේ ක්‍ෂෙත්‍රයක් කියන්නෙ මොකක් ද? අවකාශයෙ ඕනෑම ලක්‍ෂ්‍යයක දී අදාළ ක්‍ෂෙත්‍රය නිශ්චිත ව  කියන්න පුළුවන්. ෆැරඩේට ක්‍ෂෙත්‍ර ගැන අදහස ආවෙ අර චුම්බකයක් වටේ යකඩ කුඩු විසිරී තිබෙන ආකාරය දැකලා කියනවා. අවකාශයෙ එක එක තැන්වල යකඩ කුඩු විසිරිලා තියෙන්නෙ එක එක විධියට. ක්‍ෂෙත්‍රය කියන්නෙ යකඩ කුඩු නිසා ෆැරඩේට ඇති වුණු වියුක්ත සංකල්පයක්.



ක්‍ෂෙත්‍ර අවකාශය ම ද, අවකාශයෙ ගුණ ද, නැත්නම් ක්‍ෂෙත්‍ර පිහිටන්නෙ වෙනත් මාධ්‍යයක ද කියන ප්‍රශ්නය ආවා. විද්‍යුත් චුම්බක තරංග අවකාශයේ එක් ලක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යකට ප්‍රචාරණය වන්නෙ කොහොම ද? අප දැකලා තියෙනවා ජලයේ ඇති වන තරංග. ඒ තරංග එක තැනක සිට තවත් තැනකට යනවත් අප දකිනවා. ජලාශයකට ගල් කැටයක් අත හැරියොත් එතැන ඉඳන් වෘත්ත හැටියට තරංග යනවා අපි දකිනවා. තරංග යන්නෙ යම් මාධ්‍යක. ජල තරංගවලට මාධ්‍යය තමයි ජලය.



මැක්ස්වෙල්ගෙ විද්‍යුත් චුම්බක තරංගවලටත් මාධ්‍යයක් තියෙන්න ඕන කියලා භෞතික විද්‍යාඥයො කිව්වා. ඒ කිව්වෙ අර ජල තරංග ආශ්‍රිත ව. ඒක බටහිර විද්‍යාඥයන්ගෙ හිතළුවක්. එය වියුක්ත හිතළුවක්. මේ මාධ්‍යය ඊතරය කියල නම් කෙරුණා. මේ හිතළුව විද්‍යාත්මක කතාවක් හැටියට ටිකක් කල් පැවතුණා. ඒත් පොළොවට සාපේක්‍ෂව ඊතරයෙහි යන ආලෝකයේ වේගය දිශා දෙකක් දිගේ වෙනස් අගයන් දෙන්න ඕන. උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරණ ශිෂ්‍යයන් දන්නවා ගඟක පහළට හා ගඟට ලම්බව ඔරු පදින විට පොළොවට සාපේක්‍ෂව අගය දෙකක් ලැබෙන බව.



එහෙම වුණත් මයිකල්සන් මෝර්ලි පරීක්‍ෂණවලින් කියැවුණෙ එහෙම අගය දෙකක් ආලෝකයේ වේගයට නොලැබෙන බව. ලොරෙන්ට්ස් ඒක තේරුම් ගන්න තම පරිණාමන ඉදිරිපත් කළා. අයින්ස්ටයින් මයිකල් මෝර්ලි පරීක්‍ෂණ දැනගෙන හිටියෙ නැහැ කියලත් කියනවා. ඒ කොහොම වුණත් අයින්ස්ටයින් විප්ලවීය වෙනසක් කළා. ඒක සුසමාදර්ශී වෙනසක්. සුසමාදර්ශයට එහායින් චින්තනය තියෙන්නෙ. අයිස්ටයින් සුසමාදර්ශී වෙනසක් කළාට චින්තන වෙනසක් කෙළේ නැහැ.



අයින්ස්ටයින් ඊතරයක් නැහැ කියලා කිව්වා. ඔහුට අනුව අවකාශ කාලය කියලා එකක් තියෙනවා. ආලෝකයේ වේගය මොන දිශාවට ගත්තත් මොන නිරීක්‍ෂකයා ගත්තත් නියතයක් කියලා ඔහු කිව්වා. ඒක අවකාශ කාලයෙ ගුණයක් කියන එක තමයි ඔහු කිව්වෙ. ඒ අනුව ඔහු තමාගෙම පරිණාමන ඉදිරිපත් කළා. ඒ පරිණාමන හා ලොරෙන්ට්ස් පරිණාමන එකමයි. එහෙත් ඒ පරිණාමනවලට පදනම් වෙලා තිබුණෙ වෙනස් උපකල්පන.



අයින්ස්ටයින්ට අනුව ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු අතර වෙනසක් නැහැ. කොයි රාමුවෙත් භෞතික විද්‍යාවෙ නීති එකම රුපයක් ගන්න ඕන. අයින්ස්ටයින් තම විශේෂ සාපේක්‍ෂතාවාදය ඉදිරිපත් කෙළෙ මේ උපකල්පන දෙක, අවස්ථිති සමුද්දේශ රාමු අතර වෙනසක් නැහැ කියන එකත් එවැනි රාමුවල ආලෝකයේ වේගය නියතයක් කියන එකත්, මත පදනම් ව. ඒත් අවස්ථිති සමුද්දේශ රාමු කියන්නෙ මොනව ද කියලා අර්ථදක්වන්නෙ නැහැ.



ඒ කොහොම වුණත් දැන් අර ඊතරය කියලා ගත්ත එක නැද්ද? ඊතරය කියලා එකක් තියෙනවා කියල ගත්ත කාලෙ ඒක තිබුණ ද? ඊතරය තියෙනවා කියලත් බටහිර භෞතික විද්‍යාවෙ ඇතැම් පැහැදිලි කිරීම් කෙරුණා. ඒවා වැරදි ද? අවකාශ කාලයෙ ගුණ මොනවා ද? එක සුසමාදර්ශයක නැති ගුණ තවත් සුසමාදර්ශයක තියෙනවා ද? එය ස්වභාව ධර්මයෙහි නියමයක් ද? ස්වභාව ධර්මය කියන්නෙ  මොකක් ද? ස්වභාව ධර්මයත් එහි ඊනියා නීතිත් මිනිසුන්ගේ ම නිර්මාණ.