Main Logo

Saturday 12 May 2018

රනිල් ඉවත් කිරීම


රනිල් ඉවත් කිරීම



අප මොන වීර කතා කිව්වත් පෙබරවාරි මහා ජයග්‍රහණයක් කියලා ඊනියා බුද්ධිමතුන් කිව්වත් බැඳුම්කරය ගැන බැණ වැදුණත් රනිල් තවමත් අගමැති. ඒ විතරක් නොවෙයි එ ජා පක්‍ෂයේ නායකයා. ඔහුට අවශ්‍ය විධියට අකිල විරාජ් ව පක්‍ෂයේ ලේකම් කර ගෙන. බොහෝ අය කැමති නැහැ තම තක්සේරුවෙ තම උපායෙහි ක්‍රියා මාර්ගයෙහි වරදක් වී ඇති බව දැකීමට. දැන් සිංගප්පුරුව හරහා එට්කා එනවා කියා කෑ ගහනවා. විස්ස ගේන එක ගැන කතා කරනවා. රනිල් නැත්නම් ඒ එකක්වත් නැහැ.




ඒ අතර උතුරේ පන්සල් හදන්න බැහැ කියලා දෙමළ ජාතිවාදීන් කියනවා. පන්සල්වල ඔප්පු තිරප්පු හොයනවා. ඒකාබද්ධ විපක්‍ෂය ඒ ගැන කතාවක් නැහැ. මේ සියල්ල කෙරෙන්නෙ රනිල් නොදැනුවත් ව නො වෙයි. මෛත්‍රිපාලට මේ එකක්වත් නතර කරන්න ශක්තියක් නැහැ. අප 2019 ගැන පමණක් හිතනවා. එහෙත් ඒ වන විට රනිල් මොනවා කරාවි ද? අපි එතෙක් වීර කතා කියමින් ඉන්නවා ද?



අද සංධානයෙන් තරග කර හෝ ජාතික ලැයිස්තුවෙන් හෝ පැමිණි මන්ත්‍රීවරු කොටස් තුනකට බෙදිලා. එක් කොටසක්, බහුතරය, ඒකාබද්ධ විපක්‍ෂය ලෙස කටයුතු කරනවා. තව කොටසක් ආණ්ඩුවේ මැති ඇමතිවරු ලෙස කටයුතු කරනවා. තවත් පිරිසක් මෛත්‍රිපාල පක්‍ෂ නායකයා ලෙස පිළිගන්නා අතර විපක්‍ෂයේ රැඳී ඉන්නවා.



මේ අතර රනිල්ගේ නායකත්වය කෙරෙහි කළකිරුණු එ ජා පාක්‍ෂික මන්ත්‍රීවරුන් ද ඉන්නවා. එහෙත් රනිල් පක්‍ෂයේ නායකයා හා අගමැති. 2019ට කලින් රනිල් ඉවත් කරන්න පුළුවන් ද? පුළුවන් වුණත් 2019 වන තුරු ඉන්න එක පොහොට්ටුවට වාසි ද? අද මහින්දවාදීන් ලෙස පෙනී සිටින පිරිසක් ඉන්නවා 2009න් පසු ඒ තත්වයට පැමිණි අය. ඔවුන්ගෙන් සමහරු බෙරිහන් දෙනවා  ආණ්ඩුව නන්දිකඩාල් ජයග්‍රහණය සැමරීමට කටයුතු නො කිරීම ගැනත් දෙමළ ජාතිවාදීන් ප්‍රභාකරන් හා කොටි සැමරීම ගැනත්. ස්මාට් ජාතිකවාදීන් නම් කියන්නෙ ඊනියා සංහිඳියාව වෙනුවෙන් නන්දිකඩාල් ජයග්‍රහණය සැමරිය නොයුතු බව.



මා නම් ඒ කිසිවකු තරම් ජාති හිතෛෂියකු නොවන්න පුළුවන්. මා රට වෙනුවෙන් කළ දෙයක් නැති වෙන්න පුළුවන්. ඊනියා යුද්ධය වෙනුවෙන් මා කිසිවක් නොකරන්නත් ඇති. 2004 දී හා 2005 දී මා සංධානය වෙනුවෙන් කිසිවක් නොකරන්නත් ඇති. 2015 දී මහින්ද දිනන බව කියන්නත් ඇති. ඒ අදෘශ්‍යමාන බලවේග මහින්ද පරදින බව අපට කියා තිබියදීත් සංධාන හිතවතුන් අධෛර්ය කිරීමට මට වුවමනාවක් නොතිබූ බැවින්. 2015 දී මහින්ද පරදින බව මා කිහිප දෙනකුට පමණක් කියා තිබුණා. ඒ මා ජාති හිතෛෂියකු නොවන නිසා වෙන්න පුළුවන්. කිසිවකු කියාවි මා දන්නේ සිරිසේනට කඩේ යන්න පමණයි කියා.



එහෙත් 2015න් පසු මහින්ද අගමැති කරමු යන සටන් පාඨය අප ඉදිරියට ගෙනාවා. එහෙත් ඒ වන විටත් ජාතික ව්‍යාපාරයට වැද්දා නොගත යුතු පුද්ගලයකු බවට පත් ව සිටි ජනමාධ්‍ය විසින් ප්‍රතික්‍ෂෙප කෙරුණු මා කී දෙය කිහිප දෙනකුට පමණක් ඇසුණා. 2018 පෙබරවාරියට බොහෝ කලින් රනිල් ඉවත් කිරීමට මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතු බව කිව්වත් ජාති හිතෛෂීන සිතුවේ මා මහින්ද මෛත්‍රිපාල සමග එකතු වී පෙබරවාරි මැතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි කියන බවයි. ඔවුන් තවමත් හිතන්නේ එසේමයි. මහා දාර්ශනිකයා මා සිරිසේනට එකතු වී ඇති බවක් ගම්‍ය වන කතා කිව්වා. ඇතැමුන් මට සිරිජාතිකවාදියා කිව්වා. මා දිනෙක මහා දාර්ශනිකයා මුණ ගැහීමට බලාපොරොත්තු වෙනවා ඔහුගේ ජාතික චින්තනය ගැන හරි අවබෝධයක් ලබා ගැනීමට.



ඒ මොනවා වුවත් අදත් රනිල් අගමැති. බොරු වීර කතා කිය කියා 2019 වන තුරු බලා සිටින්න මේ අය කැමතියි. විපක්‍ෂයට පැමිණි 16 දෙනා ගැන ඇතැමුන් බලන්නේ සැකයෙන්. මා එහි ප්‍රතිපත්තියක් ලෙස වරදක් දකින්නේ නැහැ. එහෙත් තමන්ගේ සංවිධායකකම් නැති වේවි ය 2019 දී ඔවුන් තමන්ට පෞද්ගලික ව ප්‍රශ්නයක් වේවි ද වැනි තැනක සිට ඒ 16 දෙනා ගැන බලනවා නම් එතැන ඇත්තේ පෞද්ගලික දේශපාලනයක්.



මෛත්‍රිපාලට හතර වටේ බැණීමෙන් රනිල් ඉවත් කරන්න බැහැ. සියල්ලට වරදකරු මෛත්‍රිපාල පමණක් කියා මා කියන්නේත් නැහැ.  තවත් වරදකරුවන් ඉන්නවා. 2019 වන තුරු රට ප්‍රපාතයට යවා බලයට පත්වීමට මාන බලන අයට රනිල් ඉවත් කරන්න ඕන නැහැ. එට්කා ඔවුන්ට මැතිවරණ සටන්පාඨයක් පමණයි. දෝෂාභියෝගයක් ගෙනැවිත් මෛත්‍රිපාල ඊට කලින් ජනාධිපති ධුරයෙන් ඉවත් කරන්න කාට හරි ඕන නම් ඒ කියන්නෙ ඔහුට රනිල් පාර්ලිමේන්තුවෙන් ජනාධිපති කරන්න වුවමනා බවයි.



මා මෛත්‍රිපාල තබා ගන්න උත්සාහ කරන්නේ නැහැ. මෛත්‍රිපාලට 2019න් පසු ගෙදර යන්න වේවි. එහෙත් මා අදත් කියන්නේ මහින්ද මෛත්‍රිපාලට අවශ්‍ය ශක්තිය ලබා නොදුන් නිසා රනිල් තවමත් අගමැති කියායි. අදවත් රනිල් ඉවත්කර මහින්ද අගමැති කරන්න පුළුවන් නම් අප ඒ සඳහා ඇති ඉඩකඩ සොයා බැලිය යුතුයි. එය කරන්න අර 16 දෙනා උත්සාහ ගන්නවා නම් අප එයට අකුල් නොහෙළිය යුතුයි. ඒ 16 දෙනා තවමත් මෛත්‍රිපාලගේ නායකත්වයෙන් ශ්‍රී ල නි පක්‍ෂයේ රැඳී සිටීම ඔවුන්ගේ ඒ උත්සාහයට රුකුළක් වේවි. ඔවුන් එහෙත් නැහැ මෙහෙත් නැහැ එහෙමත් නැත්නම් දෙපැත්තෙම ඉන්නවා ආදී කතා ඇරිස්ටෝටල්ට හොඳයි. 



ඔවුන් අවස්ථාවාදීන් ලෙස හංවඩු ගැහීමෙන් පමණක් ප්‍රශ්න විසඳන්න බැහැ. දේශපාලනඥයන් අඩුවැඩි වශයෙන් අවස්ථාවාදීන්. අප ප්‍රශ්නය දෙස පෞද්ගලික ඇසකින් නොබලා රටේ පැත්තෙන් රනිල් ඉවත් කිරීමට සැලසුම් කළ යුතුයි.