Main Logo

Tuesday 15 May 2018

පරිභෝජනය හා සූරා කෑම

පරිභෝජනය හා සූරා කෑම


බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි  ප්‍රධාන ම කරුණක් තමයි මානව කේන්ද්‍රවාදය. එයට මානව කේන්ද්‍රවාදය කිව්වට එය ක්‍රියාත්මක වෙන්නෙ බටහිර සුදු පිරිමි කේන්ද්‍රවාදය ලෙස. ඒ චින්තනයේ නියමුවන් බටහිර සුදු පිරිමින්. එහි සුදු ස්ත්‍රීන්ට ස්ත්‍රීන් හැටියටවත් හිතන්න බැහැ. ඒ නිසා ඔවුනුත් සුදු පිරිමි වගේ හිතන්න, වැඩ කරන්න සූදානම්. අද ඊනියා ස්ත්‍රී විමුක්තිය යන්න බටහිර ස්ත්‍රීන් තමන් ස්ත්‍රීන් ලෙස කටයුතු කිරීම පෙරදැරි කරන් ඇති වුණු ව්‍යාපාරයක් නො වෙයි. එය ස්ත්‍රීන් තමන්ට පිරිමින් මෙන් කටයුතු කරන්න, නිිදහස ඊනියා විමුක්තිය ලබා දෙන්න කියා ඉල්ලන ව්‍යාපාරයක්. මේ ඊනියා ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරය නිසා බටහිර රටවල සුදු පිරිමින් තවත් බලවත් වෙනවා. 

එහෙත් මෙයින් කියන්නේ බටහිර රටවල සුදු පිරිමින් සියල්ලන් එක විධියට සමානාත්මක ව කටයුතු කරනවා කියන එක නොවෙයි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙ නියමුවන් ඉන්නෙ අතළොස්සයි. ඔවුන් බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් පද්ධිය සංස්කරණයට මුල් වෙනවා. මෙයට කලාව සාහිත්‍යය දර්ශනය ආදී සියල්ල ඇතුළත්. බටහිර සමාජය සිංහල බෞද්ධ සමාජය වගේ සජාතීය නැහැ. එය විෂමයි. කුටිලයි. එහි ඉතා ඉහළ ම අය කිහිප දෙනෙක් ඉන්නවා. ඉතා පහළ ම අයත් කිහිප දෙනෙක් ඉන්නවා. ඉතිරි හරිය මැද විවිධ තැන්වල. 

දේශපාලනයෙත් ප්‍රධානීන් පිරිමින්. මෙයින් කියැවෙන්නේ ඒ ඒ ක්‍ෂෙත්‍රවල ඉඳහිට ස්ත්‍රීන් දකින්න නැහැ කියන එක නො වෙයි. එහෙත් ඉතා විශාල වැඩි සංඛ්‍යාවක් සුදු පිරිමි. කළු පිරිමිත් නැතුවා නො වෙයි. ඒත් ඒ ඔවුන් සුදු පිරිමින් මෙන් හිතනවා නම්, ඔවුන්ගේ චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි නම්, ඔවුන්ගෙ සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානි නම්. ඔබාමා මේ සඳහා හොඳ ම උදාහරණය. ඔහු පාට කළු වුණාට චින්තනයෙන් සංස්කෘතියෙන් සුදු පිරිමියෙක්. බොහෝ කළු මිනිසුන්, පිරිමින් මෙන් ම ස්ත්‍රීන් ද, වෙනත් චින්තනයක වෙනත් සංස්කෘතියක.

අප රටේ නාගරිකයන් බටහිර සුදු පිරිමින් වගේ හිතනවා කියලා හිතනවා. ඔවුන් බටහිරයන්ගෙන් යම් යම් දේ ඇහිඳ ගෙන තියෙන එක ඇත්ත. එහෙත් ඔවුන්ට හිතන්න බැහැ. ඔවුන්ට නිර්මාණාත්මක ශක්තියක් නැහැ. ඔවුන්ට පුළුවන් බටහිරයන්ගෙන් ඇහිඳ ගත්ත යමක් ආපහු තමන් අහුළ ගත්ත විධියට (තමන්ට තේරෙන විධියට) තවත් කෙනකුට දෙන (කියන) එක පමණයි. මෙරට ඉන්න වියතුන්ගෙන් කී දෙනකු අලුතෙන් යමක් බටහිර දැනුමට එකතු කර තියෙනවා ද? 

මා රොහාන් ගුණරත්න ගැන ලියූ දේට එක් පඬි පෝතකයකු ප්‍රතිචාර දක්වලා තිබුණෙ රොහාන් ගුණරත්න පහුගිය කාලෙ කර කී දේ ගැන මා යාවත්කාලීන වෙලා නැහැ කියලා. මෙතැන කරුණු දෙකක් තියෙනවා. එකක් රොහාන් නව දැනුමක් ගොඩ නගලා තියෙනවා ද කියන එක. මා සොයා බැලූ තරමට නම් ඔහු එවැනි දෙයක් කරලා නැහැ. ඔහු නව සංකල්පයක්, නව ප්‍රවාදයක් ඔහුගෙ ක්‍ෂෙත්‍රයට එකතු කර නැහැ. ඒ නිසා මට අමුතුවෙන් යාවත්කාලීන වෙන්න දෙයක් තිබුණෙ නැහැ. 

දෙවනුව ඔහු කොටි සංවිධානය පරාජය කළ නොහැකි ආයුධ සන්නද්ධ පිරිසක් බවට විවිධ කාලවල කළ ප්‍රකාශ වැරදි බව වර්තමානයෙහි පිළිගෙන තියෙනවා ද කියන එක. ඔහු ඒ බවක් පිළිගෙන නම් නැහැ. ඒ බව පිළිගෙන ඇත්නම් ඒ බව අදට පෙර දාතමක් සහිත ව පොතකින් පතකින් ප්‍රකාශ කර තියෙනවා ද? ම දන්නා තරමින් ඔහු එවැන්නක් කර නැහැ. එසේ නම් යාවත්කලීන වීමට ඇත්තේ කුමක් අරභයා ද? අපි නොදන්න රොහාන් කියන්නෙ එවැන දේට. සරදම කියන්නෙ රොහාන් ගුණරත්නට අනුව පරාද කරන්න බැරි කොටි මහින්දගෙ දේශපාලන නායකත්වයෙන් හා ගෝඨාභයගෙ හමුදා සැලසුම්වලින් පරාජය කෙරුණු එක. දී කිරට බළල්ලුත් සාක්කි කියනව වගේ දයාන් ජයතිලක නාන්න යන ගමන් ගෝඨාභය ගැන කී කතාවකුත් මුහුණු පොතේ පළවෙලා තිබුණා. මේ කට්ටියත් එක්ක ගියොත් ගෝඨාභයට නාගන්න වෙයි කියලත් හිතෙනවා.

ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කලින් කිව්ව වගේ බටහිර සුදු පිරිමි කේන්ද්‍රීයවාදී. ඒ චින්තනය සිංහල බෞද්ධ චින්තනයත් එක්ක සමපාතයක් නැහැ. මෙරට උගතුන් යැයි කියන්නන්ට කෙතරම් දත්මිටි කෑවත් සිංහල බෞද්ධ විරෝධී වුණත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි හිතන්න බැරි ඒකයි. මොන තරම් සිංහල බෞද්ධ විරෝධී වුණත් ඔවුන්ට සිංහල බෞද්ධ චින්තනය බලපානවා. 

බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය රේඛීයයි. සිංහල බෞද්ධ චින්තනය චක්‍රීයයි ඒ වෙනස වුණත් සෑහෙන්න බලපානවා. බටහිර චින්තනයෙ ලෝකය මවලා තියෙන්නෙ සුදු පිරිමින්ට. ඒ ගැහැණුන් ද ඇතුළත් ලෝකය. දැන් කවුරු හරි පඬියකු සුපුරුදු පරිදි තමන් නොදන්න විශ්වවේදයක් ගැන කියලා කියන්න පුළුවන් ලෝකය (විශ්වය) මවලා නැහැ මැවිලා කියලා. ඒ අවුරුදු බිලියන 13.7කට එපිට මහා පිපිරුමෙන් සිද්ධ වුණා කියලත් කියාවි. ප්‍රශ්නය තියෙන්නෙත් එතැනමයි. බටහිර විශ්වවේදයෙ මහා පිපිරුම වැනි ප්‍රවාදයක් හැදුණෙ කොහොම ද? ඒක නිකම්ම හැදුණ ද? කවුරු හරි හැදුව ද? ඒ විශ්වයට ආරම්භයක් තියෙන්නෙ කොහොම ද? ඉතිහාසයට ආරම්භයක් තියෙනවා ද? බටහිර විද්‍යාවෙන් දෙවියන් වහන්සේ ඉවතට දමා නැහැ. එහි දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. සියල්ල සිදුවන්නෙ දෙවියන් වහන්සේගේ ක්‍රමයට. 

මැවීමක් නැති වුණාට මැවිල්ලක් තියෙනවා. ආරම්භයක් තියෙනවා. ඊට පස්සෙ රේඛීය විකාශයක් තියෙනවා. ආලෝකය, ඉර හඳ තාරකා ගහ කොළ සතා සිවුපාවා නිර්මාණය කරනවා. බටහිර විද්‍යාවෙ ඒවා ඊනියා විකාශයක නිර්මාණය වෙනවා. අවසානයේ දී පිරිමියා මවනවා. පිරිමියාගෙ තනියට ගැහැණිය මවලා දෙවියන් වහන්සේව ඒ සියල්ල පිරිමියාට දෙනවා. පිරිමියා ඒ සියල්ල තම සුඛ විහරණය සඳහා යොදා ගන්නවා. පෞද්ගලිකත්වය ඉස්මතු වෙනවා. දෙවියන් වහන්සේ බලා ඉන්දැද්දි බටහිර විද්‍යාවෙ මේ සියල්ල භෞතික විද්‍යාඥයන් රසායන විද්‍යාඥයන් ජීව විද්‍යාඥයන් කරනවා. ඩාවින් මිනිසා මවනවා.(පඬි පෝතකයකු කියාවි ඩාවින් මැව්වෙ නැහැ කියලා)   ඊනියා සමාජයීය විදාඥයො බටහිර පිරිමියාට ගැහැණිය ද ඇතුළු මුළු ලෝකය ම දෙනවා. එයින් පසු සිදුවෙන දෙයට ඕන නමක් යොදා ගන්න. පරිභෝජනය, සූරා කෑම, ගසා කෑම. ලිබරල්වදියා හා මාක්ස්වාදියා අතර වෙනස යොදා ගන්න වචනවල පමණයි.  

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-08-15