Main Logo

Sunday 6 May 2018

මෛත්‍රිපාල හා අයින්ස්ටයින්


මෛත්‍රිපාල හා අයින්ස්ටයින්

විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයට බොහෝ අය හිනහවෙනවා. ඒකෙ තියෙන විද්‍යාත්මක බව මොකක් ද කියලා අහනවා. බොහෝ අය විද්‍යාත්මක ක්‍රමය හැටියට දන්නෙ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන යන්න. බොහෝ විට එය කියන්නෙ විද්‍යාව ඉගෙන නොගත් අය. විද්‍යාව ඉගෙන නොගන්නා අයට තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක විධි ක්‍රමය කියලා විෂයයක් තියෙනවා. ඒකෙ උගන්වන දේ ගැන මා කියන්න යන්නෙ නැහැ. එහෙත් විද්‍යාව ඉගෙන ගන්න අයට එහෙම දෙයක්
උගන්වන්නෙ නැහැ. මා කැලණිය විශ්වවිද්‍යාලයෙ ඉන්දැද්දි විද්‍යා පීඨයේ ශිෂ්‍යයනට තර්කය (න්‍යාය) ගැන උගන්වන්න පටන් ගත්තා. ශිෂ්‍යයන් මෙන් ම ගුරුවරුන් ද සැලකුවෙ එය කාලය නාස්තිකිරීමක් ලෙස.

විද්‍යාව ඉගෙන ගන්න අය දන්නවා පරීක්‍ෂණ කරන්න. ප්‍රායෝගික වැඩ කියලා ඔවුන් ඒවා ඉගෙන ගන්නවා. ලංකාවෙන් පශ්චාත් උපාධි සඳහා පිටරට යන බොහෝ විද්‍යාව හදාරපු අය කරන්නෙ ප්‍රායෝගික විද්‍යාව. ප්‍රවාදාත්මක (ෙසෙද්ධාන්තික) විද්‍යාව හදාරන්නෙ ඉතා ම ටික දෙනයි. ඒ නිසා දෝ ඔවුන් බොහෝ දෙනකු දන්නෙ නැහැ ප්‍රවාද සංස්කරණය කරන්නෙ කොහොමද කියලා. ඒක නිසා ඒවා හිතළු කිව්ව ම බොහෝ දෙනාට තරහ යනවා.

බටහිර විද්‍යාවෙ තාරකා විද්‍යාවෙ පරීක්‍ෂණ කෙරෙන්නෙ ම නැහැ. එහි කරන්නෙ නිරීක්‍ෂණ පමණයි. මොකෝ් තාරකාවක් වෙනත් තැනකට ගෙනියලා බලන්නයැ. විශ්වවේදයෙ ඇතැම් විට නිරීක්‍ෂණ කෙරෙන්නෙත් නැහැ. විශ්වයේ ආරම්භයෙ සිදුවෙච්ච දේ නිරීක්‍ෂණය වන්නෙ නැහැ. විශ්වවවෙිදයෙ බහුවිශ්ව ගැන කතා කරනවා. එහෙත් ඒ අනෙක් එක් විශ්වයක්වත් නිරීක්‍ෂණය කරන්න බැහැ. කවුරුවත් අහන්නෙ නැහැ පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමනවලට මොක ද වුණෙ කියලා.

බේකන්ගෙ පටන් කූන් දක්වා විවිධ අය විද්‍යාත්මක විධි ක්‍රම ගැන කතා කරලා තියෙනවා. ෆෙයරාබන්ඩ් නම් කිව්වෙ එහෙම විද්‍යාත්මක විධි ක්‍රමයක් නැහැ කියලා. ඔහු අරාජිකවාදියකු ලෙස ඇතැම් විද්‍යාවේ දාර්ශනිකයන් හැඳුන්නුවා. බටහිර විද්‍යාවෙ විධි ක්‍රමයක් නැතිවා නො වෙයි. එහෙත් එය බේකන්ගේ සිට කූන් දක්වා වූ දාර්ශනිකයන් කී දේ නො වෙයි. ඔවුන් කී විද්‍යාත්මක විධික්‍රමයක් නම් බටහිර විද්‍යාවෙ නැහැ. ඒ අතින් නම් මා ෆෙයරාබන්ඩ් සමග එකඟ වෙනවා.

ෆෙයරාබන්ඩ්ලා කූන්ලා අද ජීවතුන් අතර නැහැ. අද ඉන්නෙ කාලෝ ෆොන්සේකා. විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලය ගැන ඔහු කී දෙයක් ගැන අහන්න තිබුණෙ නැහැ. ඔහුගෙ බෑණා රංජන් රාමනායක නම් නොයෙකුත් දේ කියා තිබුණා. අප දන්නෙ නැහැ කාලෝට අනුව මෛත්‍රිපාලගෙ විද්‍යාත්මක විධි ක්‍රමය  මොකක් ද කියලා. මෛත්‍රිපාල සමහරවිට නිරීක්‍ෂණ කරන්න ඇති. ඒ අනුව නිගමනවලට එන්නත් ඇති. වැඩ බැරි අය වැඩ පුළුවන් අය ආදී වශයෙන් ඔහු ඇමතිවරුන් වර්ගීකරණයකට ලක් කරාද කියා අප දන්නේ නැහැ. එහෙත් ප්‍රශ්නයක් තියෙන්නෙ මෛත්‍රිපාලට වැඩ බැරි ද පුළුවන් ද කියන එක.

මට නම් හිතෙන්නෙ අමාත්‍ය මණ්ඩල හදන්නෙ විද්‍යාත්මක ක්‍රමයට කියලා. විද්‍යාත්මක ක්‍රමයෙ කරන්නෙ යම් සාධාරිත නිරීක්‍ෂණ තේරුම් කිරීම සඳහා වියුක්ත හිතළු සංස්කරණය කරන එක. ඒ වියුක්ත හිතළු බොහෝ විට වැරදියි. එතකොට කරන්නෙ වෙනත් හිතළුවක් සංස්කරණය කරන එක. එයත් බැරි වුණොත් හරියන කම්, ඒ කියන්නෙ හරි වෙනකම් නොවෙයි, වැඩ කෙරෙන කම් වෙන වෙන හිතළු සංස්කරණය කර කර ඉන්න එක.

අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදය සංස්කරණය කරන්න අවුරුදු දහයක් ගත්තා. අද කියන හිතළුව ඔහු ටික කලකින් ඔහු ම වැරදියි කියලා වෙනස් කළා. ඔහු එක් වරක් කියලා තියෙනවා අයින්ස්ටයින් කියලා මිනිහෙක් අවුරුදු පතා කලින් තමා කී දේ වැරදි කියලා පත්‍රිකා ප්‍රසිද්ධ කරනවා කියලා. අන්තිමට ඔහු හරියන එකක් ඉදිරිපත් කෙළෙ 1915 දි. ඉන්පසු අවුරුදු හතළිහක් පමණ ඔහු මිය යන තෙක් ම සාධාරණ සාපේක්‍ෂතාවාදයත් විද්‍යුත් චුම්බකවාදයත් එකතු කරන්න හිතළු ඉදිරිපත් කළා. ඒ එකක්වත් හරි ගියෙ නැහැ. මෙරට පඬියන් මේ පත්‍රිකා කියවන්නෙ නැති එක හොඳයි. නැත්නම් ඔවුන් අයින්ස්ටයින්ගෙ විසංවාද ගැන කියන්න පටන් ගනීවි. මේවට කාට හරි මූලාශ්‍ර ඕන ද? අයින්ස්ටයින් ගැන ලියලා තියෙන පොත් කියවන්න. එකක නැත්නම් වෙනත් එකක් කියවන්න. අදාළ පාඨ ලැබෙන තුරු කියවන්න. ඒක  විද්‍යාත්මක ක්‍රමයට හැඳින්වීමක්.

මෛත්‍රිපාලත් කරන්නෙත් ඒකම තමයි. ඔහු හරියන කම් අමාත්‍ය මණ්ඩල හදනවා. ඔහුට යම් යම් හිතළු තියෙනවා ඇති. අහවලා වැඩ කාරයා, අහවලා හොරා ආදී වශයෙන්. ඉතින් ඔහු ඒ හිතළු අනුව ඇමතිවරු මාරු කරනවා. ඒක තමයි මූලික විද්‍යාත්මක ක්‍රමය. හරියන තුරු වෙනත් දේ කිරීම. තවම ඒ කිසිවක් හරි ගිහිල්ලා නැහැ. හරියන තුරු කියන්නෙ හරි එහෙම නැත්නම් නිවැරදි වෙන තුරු නොවෙයි. මෛත්‍රිපාල විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන කොට අර පරික්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන කාරයො හිනහ වෙනවා. අප හිනහවෙන්න ඕන කාට ද? අයින්ස්ටයින් හිටිය නම් කියාවි මෛත්‍රිපාල හොඳ විද්‍යාඥයෙක් කියලා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෛත්‍රිපාලට මැරෙනකම් තියා අවුරුදු දහයක්වත් අමාත්‍ය මණ්ඩල හදන්න පුළුවන් වෙයි ද?