Main Logo

Thursday 31 May 2018

ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්


ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්





ඒකාබද්ධ විපක්‍ෂය විස්සට විරුද්ධ වෙන්න ඒකමතික ව තීරණය කරලා. අදාළ යෝජනාව ඉදිරිපත් කරල තියෙන්නෙ මහින්දමයි. මහින්ද ම යෝජනාව ඉදිරිපත් කරපු එක හොඳයි, වෙන අයකු ලවා එය නොකරවා. මහින්ද ඉදිරිපත් කරන යෝජනාවකට අනෙක් අය විරුද්ධ වන්නෙ කලාතුරකින්. ඒකාබද්ධ විපක්‍ෂෙ බැසිල් හිටියත් ඔහුටත් යෝජනාවට පක්‍ෂ වෙන්න වෙනවා. ජී එල් පීරිස් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.




ඒත් හිතන්න එපා ඒකාබද්ධ විපක්‍ෂෙ හැමෝම එක හිතින් යෝජනාවට පක්‍ෂ වුණා කියලා. ඒකමතිකව සම්මත කරනවා කියන්නේ එක හිතින් සම්මත කරනවා කියන එක නො වෙයි. මා මෙසේ කියන්නේ අනවශ්‍ය භේදයක් ඇති කරන්න නොවෙයි. අප සිහින ලෝකවල ජීවත් නොවිය යුතු නිසා. මට බොරු කතා කර පූච්චානම් කතා කියා මුහුණු පොතේ වීරයකු වීමට අවශ්‍ය නැහැ. මුහුණු පොතේ වීරයන් සැමදාමත් පරිදි මා කියන දේට විරුද්ධ වේවි. 



මහින්දගේ යෝජනාව හදිසියේ අහම්බයකින් සම්මත වූවක් නො වෙයි. එය අහසින් කඩා වැටුණක් නො වෙයි. විස්සට පක්‍ෂ අය ඒකාබද්ධයේත් පොහොට්ටුවේත් ඔවුන්ගේ අනුගාමිකයන් අතරත් හිටියා. එහෙත් ජාතිකවාදීන් යම් පිරිසක් නොපිරිහෙළා විස්සට තම විරුද්ධත්වය දිගින් දිගට ම පළ කළා. විස්සට විරුද්ධව ජනමතයක් ගොඩ නැගුණා. විස්සට පක්‍ෂව කතා කරපු ඇතැම් ජාතිකවාදීන් තම මතය වෙනස් කර ගත්තා. ඔවුනුත් විස්සට විරුද්ධව කතා කරන්න පටන් ගත්තා. මහින්ද සුපුරුදු පරිදි ජනමතයත් සමග සිටියා.



එහෙත් ඇතැම් ස්මාට් ජාතිකවාදීන් විස්සට පක්‍ෂ කතා කියන්න පටන් ගත්තා. ඔවුන් ඒ බව කෙළින් ම කිව්වේ නැහැ. වක්‍ර ව විධායක ජනාධිපති ධුරය නැතිව ඒකීය රාජ්‍යය පවත්වාගෙන යා හැකි ය ආදී වශයෙන් මත ප්‍රකාශ වුණා. මේ සියළු මතවලට පිළිතුරු ලැබුණා. ඔවුන්ට අවසාන වශයෙන් නිහඬ වීමට සිුදු වුණා.



අද විස්සට දහසය දෙනාත් විරුද්ධයි. මා හිතන්නේ ආණ්ඩුවේ ඉතුරු වෙලා ඉන්න මෛත්‍රිපාලගේ කණ්ඩායමත් විස්සට විරුද්ධයි. ඒ නිසා දැන් විස්ස පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කර ගන්න බැරි විය යුතුයි. දැන් ජ වි පෙරමුණට ගලේ පහරපු බළලාට වෙච්ච දේ වෙලා තියෙන්නෙ. ඒ වුණත් අප දැන් අතපය හකුළුවා ගත යුතු නැහැ. තව තවත් ජාතිකවාදී මත ඉදිරියට ගෙනි යන්න ඕන.



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක් තියෙනවා. දැන් පනත් කෙටුම්පත නීතිපතිට භාර දීලා තියෙන්නෙ. නීතිපති දෙන තීරණය කොහොම හරි රනිල්ට ගැලපෙනවා. නීතිපති කියන්න බැරි නැහැ මේ පනතෙන් ජනාධිපති ධුරය අහෝසි වෙන්නෙ නැහැ, බලතල ටිකක් අඩුවෙන එකයි ජනාධිපති තෝරණ ක්‍රමයෙ වෙනසක් වෙන එකයි පමණයි සිද්ධ වෙන්නෙ කියලා. ඒකීය රාජ්‍යයට ප්‍රශ්නයක් නැහැ කියලත් කියන්න පුළුවන්.



ඒත් පනතෙන් විධායක ජනාධිපති රජයේ නායකයා වෙන එකත් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වෙන එකත් නැති වෙනවා. විධායක බලතල නැති ජනාධිපතිවරයකු තමයි පළාත්වල ආණ්ඩුකාරයන් පත් කරන්නෙ. ඒ වගේ ම ඡන්දදායකයන්ට ජනාධිපති පත් කර ගැනීමේ දී එක සමාන බලයක් ලැබෙන්නේ නැහැ. මේ කරුණු අනුව පෙන්නන්න පුළුවන් විස්සෙන් ජනතාවගේ පරමාධිපත්‍යයේ විධායක සංරචකයේ පමණක් නොව ව්‍යවස්ථාදායක සංරචකයේත් වෙනසක් සිදුවන බව. එබැවින් විස්ස සම්මත කර ගැනීමට ජනමත විචාරණයකුත් අවශ්‍ය බවට අධිකරණ ඉදිරියේ කරුණු දක්වන්න පුළුවන්. 



කෙටුම් පනත අධිකරණයට ඉදිරිපත් කළ විට ඒ කරුණු ඉදිරිපත් කරන්න ඕන. ඒකාබද්ධ විපක්‍ෂය විස්සට විරුද්ධ වෙන්න තීරණයක් ගත්තත් බැලූ බැල්මට පනතට තුනෙන් දෙකක් ලබා ගැනීමට ඉඩ කඩ නැතත් අපට මේ මන්ත්‍රීවරුන් සමහර දෙනකු ගැන විශ්වාසයක් තබන්න බැහැ. අප ජනමතවිචාරණයක් ලබා ගැනීමටත් ජනමත විචාරණයක දී විස්ස පරාජය කිරීමටත් සූදානම් විය යුතුයි.



මා මේ අනවශ්‍ය බියක් ඇති කරන්න උත්සාහ ගන්නවා නො වෙයි. එහෙත් ගිනි පෙනෙල්ලෙන් බැට කා එකා කණාමැදිරියාටත් බයයි කියනවා. බටහිරයන් කුමකට සූදානම් වනවා දැයි අප දන්නේ නැහැ. අප ඕනෑම අවස්ථාවකට සූදානම් විය යුතුයි.



ඒ අතර රනිල් ඉවත් කිරීම අපේ ප්‍රධාන අරමුණ විය යුතුයි. රනිල් ආණ්ඩුවක් පවත්වන තුරු මෛත්‍රිපාලට සමහර දේ දැන ගන්න වෙන්නෙ ජනමාධ්‍යයෙන්. අපට එක එක අය විවිධ බලාපොරෙත්තු දේවි 2019 ජනවාරියෙන් පස්සෙ ජනාධිපතිවරණයකට සූදානම් වෙන්න ආදී වශයෙන්. මේ අදහස් පිටුපස්සෙ රනිල් තවදුරටත් අගමැති කමේ තබා ගැනීමේ අදහස් ක්‍රියාත්මක වෙනවා. මෛත්‍රිපාල ජනාධිපතිකමෙන් අස් කළහොත් රනිල් ජනාධිපති වෙනවා. මෛත්‍රිපාලට බැණ බැණ ඉඳීමෙන් පමණක් ප්‍රශ්නය විසඳන්න බැහැ.



ඒකාබද්ධ විපක්‍ෂය ගත් තීරණය ජාතිකවාදීන්ගේ යම් ජයග්‍රහණයක්. ඒ ජය තහවුරු කර ගැනීමට කටයුතු කරමු.