Main Logo

Monday 7 May 2018

සුමන්තිරන්ගේ කන්ද උඩ දේශනාව


සුමන්තිරන්ගේ කන්ද උඩ දේශනාව



උතුරු හා නැගෙනහිර පළාත්වල පන්සල් හදන්න දෙන්නෙ නැහැ කියලා සුමන්තිරන් කියනවා. ඒ අතර දාගැබ් සමතලා කර ගෙන යෑමට ප්‍රාදේශීය ලේකම්වරියක් අනුමැතිය දීලා. ඇය මුස්ලිම් බවට ආරංචියි. සුමන්තිරන් මැතෝදිස්ත ක්‍රිස්තියානි. මේ රටේ සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් තියෙනවා. එහෙත් ඒ ගැන කතා කරන එක ඊනියා සංහිඳියාවට විරුද්ධලු. මේ කෙරී ගෙන යන්නේ සිංහල බෞද්ධ උරුමය රටින් අතුගා දැමීමක්. මෛත්‍රිපාල මේ එකක්වත් ගැන තවම පත්තරෙන් කියෙව්වෙ නැති පාටයි. එන පාට නම් හොඳ නැහැ.




සිංහල බෞද්ධ උරුමය නොරකින මේ ආණ්ඩුව පලවා හැරීමට දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බාධා ඇති වෙලා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමෙන් මහින්ද කෙළේ ලොකු වරදක්. පෞද්ගලික කෝන්තර පිරිමහා ගන්න ගිහින් මුළු රටම අමාරුවේ දමන ගමන් තමනුත් අමාරුවේ වැටිලා. මහින්දට තුන්වැනි වරට ජනාධිපති වෙන්න දහනමෙන් ඉඩ ඇහිරිලා. දැන් ඒක පිිරිමහා ගන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි  කරන්න උදවු වෙනවා ද?



මා මෙහෙම කිව්ව ම ඇතැම් මහින්දවාදීන් උරණ වෙන්න පුළුවන්. ඒත් ඒක කියන්න ඕන. අද රටේ පවතින තත්වයට මහින්දත් වග කියන්න ඕන. අද බොහෝ දෙනකු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියා කැගසනවා. ඒත් දහනවවැනි සංශෝධනයෙන් ජනාධිපතිට දැන් ම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තිබූ බලය නැති කරලා. පාර්ලිමේන්තුවට පුළුවන් තුනෙන් දෙකක ඡන්දයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා යෝජනාවක් සම්මත කර ගන්න.



එහෙත් ප්‍රශ්නය තියෙන්නෙ ඒකත් එක්ක තවත් කොන්දේසි ඒමයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා කියනවා. කවුද පඬි පෝතකයකු කියලා තිබුණා දෙමළ ජාතික සංධානය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට විරුද්ධය කියලා. දෙමළ ජාතික සංධානය කියන්නෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පක්‍ෂ වෙන්න තව තවත් තමන්ගෙ ජාතිවාදී ඉල්ලීම් ඉටු කරන්න කියලා. ඔවුන් බොර දියේ මාළු බාන්න සූදානම් වෙනවා.



අර ප්‍රාදේශීය ලේකමවරිය දන්නෙ නැත් ද සමතලා කෙරුවෙ බෞද්ධ සිද්ධස්ථානයක් කියලා. සිංහල දේශපාලනඥයන් මුස්ලිම් ඡන්ද ලබා ගැනීමට මුස්ලිමුන් කරන සිංහල බෞද්ධ විරෝධී වැඩවල දී ඇහැකණ පියා ගන්නවා. සිංහල බෞද්ධයන් දේශපාලනඥයන් නිසා අසරණ වෙලා. හකීම්ලා බද්‍යුද්දීන්ලා ඕනෑම ආණ්ඩුවක ඇමතිවරු වෙන්නෙ සිංහල බෞද්ධ දේශපාලනඥයන්ගෙ වරදින්.



සුමන්තිරන් උතුරු හා නැගෙනහිර පළාත්වල පන්සල් හදන්න දෙන්නෙ නැහැ කියන්නෙ මොන බලයක් අතට අරගෙන ද? ලෝක දේශපලනයේ දී මුස්ලිම් ක්‍රිස්තියානි සංස්කෘතික ගැටුමක් තිබුණත් ථෙරවාදී බෞද්ධ රටවල දී ලෝක මුස්ලිම් ක්‍රිස්තියානි දේශපාලන ව්‍යාපෘති එකතු වෙනවා. අද ආණ්ඩුවත් කියනවා බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීමේ දී අවසර ගත යුතුයි කියලා. මෙය ඉංගිරිසින්වත් පැනෙවුවෙ නැති නීතියක්. මා කිහිප වරක් කියලා තියෙනවා 1892 දි සුද්දන් පැන වූ නීතියක් ගැන. එයින් කියැවුණෙ බෞද්ධ නොවන ආගමික සිද්ධස්ථාන ඉදි කිරීමේ දී ආණ්ඩුකාරයාගෙන් විශේෂ අවසරයක් ගත යුතු ය කියලා. අදත් මේ නීතිය ක්‍රීියාත්මකයි. එහෙත් අද ආණ්ඩුව වැඩ කරන්නෙ අනෙක් පැත්තට. බෞද්ධ සිද්ධස්ථාන ගොඩ නගන්න අවසර ගන්න ඕන. සුමන්තිරන්ට අනුව අවසර ගත්තත් උතුරු හා නැගෙනහිර පන්සල් තනන්න බැහැ. ඒ අතර දෙමළ ජාතිවාදී දේශපාලනඥයන් නාග විහාරෙ ඔප්පු තිරප්පු  බලනවා.



සුමන්තිරන් උතුරෙ හා නැගෙනහිර පන්සල් හදන්න දෙන්නෙ නැහැ කියන්නෙ කාගෙ බලයකට ද? ඔහුට එය යුක්තියුුක්ත කරන්න  තියෙන සාධක මොනවා ද? ඒ පළාත්වල බෞද්ධයන් නැති කම ද? ඒ පළාත්වල (අම්පාර දිස්ත්‍රික්කයෙහි හැර) බෞද්ධයන් නැත්නම් එසේ වූයේ කෙසේ ද? අපි පළමුව ඒ ප්‍රශ්නයට මුහුණ දෙමු. මේ පළාත්වල දෙමළ හා මුස්ලිම් ජනයා එහි පදිංචි වූයේ කෙසේ ද?



නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා පදිංචි කෙරුවෙ සිංහල රජවරු. ඒ කතෝලික පෘතුගීසීන්නේ බේරා ගන්න. ඒ පළාතෙ ඊට පස්සෙ 1817-18 දී ඉංගිරිසින් සිංහල මිනිසුන් ඝාතනය කළා. ඉතිරි වූ සිංහලයන් වෙනත් ප්‍රදේශවලට පැනලා ගියා. අද භාෂාවෙන් කියනවා නම් ඉංගිරිසින් ජනවර්ග ශෝධනයක් කළා. සිංහලයන් පන්නා දැමීමෙන් පස්සෙ ඉංගිරිසින් දකුණු ඉන්දියාවෙන් දෙමළ මිනිසුන් (කම්කරුවන්) ගෙනැල්ල වත්මන් නැගෙනහිර පළාතෙ මුස්ලිමුන් නොහිටි ප්‍රදේශවල පදිංචි කෙරුවා. කාට හරි අවශ්‍ය නම්  රාජ්‍ය ලේඛනාගාරයෙන් විස්තර දැනගන්න පුළුවන්. මේ පැරණි මාගම් රාජ්‍යයෙ කොටසකට ගිය කල. අද නැගෙනහිර පළාතෙ සිංහල බෞද්ධයන් නැත්නම් එයට වරදකරු සිංහල රජු (ඔහුගේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් උපන කරුණාව) හා සිංහල ජනවාර්ගික ශෝධනයක් කර දෙමළ ජනයා එහි පදිංචි කළ ඉංගිරිසින්. ආණ්ඩුව වහාම ජනපද හා කර්මාන්තශාලා ඇති කර සිංහලයන් තම නිජ භූමියේ පදිංචි කිරීමට කටයුතු කළ යුතුයි.



උතුරු පළාත ගැනත් කියන්න වෙන්නෙ සමාන දෙයක්. සුමන්තිරන් ඇතුළු දෙමළ වෙල්ලාලයන් යාපනයට ගෙනාවෙ 1650න් පස්සෙ. ඔවුන් කවද ද ආවෙ කියන ප්‍රශ්නයට වඩා තියෙන්නෙ ඔවුන් ආවෙ කොහොමද බලයට පැමිණියෙ කොහොමද යන ප්‍රශ්නය. ලන්දේසීන් ඔවුන් ගෙනාවෙ කෘෂිකාර්මික කම්කරුවන් හැටියට තම දුම්කොළ වගාවට. ඒ කාලෙත් එහි හිටපු සිංහලයන්ට මොක ද වුණේ. ලන්දේසින්ගෙ අනුග්‍රහය ඇතිව සිංහලයන් එක්කෝ පන්නා දැමුණා. එහෙම නැත්නම් ඊනියා අඩු කුල වැසියන් ලෙස දෙමළ සංස්කෘතියට අවශෝෂණය කෙරුණා. යාපනයෙන් සිංහල බෞද්ධයන් නැති වුණෙ එහෙමයි. අද සිංහල බෞද්ධකම විකුණා ජීවත්වන ඇතැම් ඊනියා කලාකරුවන් යාපනයේ සිංහල බෞද්ධ උරුමය මෙරට නොසිටි දෙමළ බෞද්ධයන්ට පවරන්න හදනවා. එහෙත් ඔවුන්ට සාක්‍ෂියට තියෙන්නෙ ඉන්දියාවෙ ලියූ දෙමළ බෞද්ධ ග්‍රන්ථ!



අපි හිතමු එලෙස දෙමළ බෞද්ධයන් හිටියා කියා. එහෙනම් සුමන්තිරන් අඩු තරමෙන් දෙමළ බෞද්ධකමට සලකා පන්සල් හදන්න ඉඩ දෙන්න ඕන. සුමන්තිරන් එසේ නොකරන්නේ මහු මැතෝදිස්ත නිසා ද? නැත්නම් දෙමළ බෞද්ධයන් යාපනයේ නොසිටි නිසා ? අර කලාකාරයන් උත්තර දෙනවා ද? සුමන්තිරන්ලා හකීම්ලා බද්‍යුද්දීන්ලා මෙසේ ක්‍රියා කරන්නේ සිංහල බෞද්ධ දේශපාලනඥයන්ගේ නිවටකම නිසා. පළාත්සභා තියාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් සිංහලයන්ට කුමක් සිදු වේවි ද?