Main Logo

Thursday 17 May 2018

මෛත්‍රිපාල රාජිත කී දේ අනුමත කරනවා ද?


මෛත්‍රිපාල රාජිත කී දේ අනුමත කරනවා ද?



මේ ආණ්ඩුවේ තීරණ ගන්නේ කවුද යන ප්‍රශ්නය කලක සිට පවතිනවා. අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාශ කරන මාධ්‍ය සාකච්ඡාව අවුලක්. දැන් දයාසිරි ජයසේකර නැහැ. ඒ නිසා මෛත්‍රිපාල ස්ථාවරය ප්‍රකාශ වන්නෙ නැහැ. රාජිත ප්‍රකාශ කරන්නේ කාගේ මතය ද? ආණ්ඩුවේ මතය ද නැත්නම් ඔහුගේ පෞද්ගලික මතය ද? ජනාධිපතිට අඩුම තරමෙන් මාධ්‍ය සාකච්ඡා කෙරෙහි යම් විනයක් ඇති කිරීමට නොහැකි ද?




රාජිත යනු ඉතිහාසයක් ඇති දේශපාලනඥයෙක්. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ජනවේගය කණ්ඩායමේ සිටියා. එය ඊනියා වාමාංශික කණ්ඩායමක් වුණා. සුනේත්‍රා බණ්ඩාරනායක ද ඇගේ හිටපු සැමියා වූ කුමාර් රූපසිංහ ද එහි නායකයන් වුණා. හැත්තෑවේ මෑතිණියගේ ආණ්ඩුව පිහිටුවීමෙන් පසු එවකට එංගලන්තයේ සිටි සුනේත්‍රා ආණ්ඩුව හැඳින්වූයේ අලුත් බෝතලයක පැරණි වයින් ලෙසයි. එකල ඇයත් චන්ද්‍රිකාත් වාමාංශික රැඩිකල් තරුණ තරුණියන් නියෝජනය කළා.



රාජිත දැන් එ ජා පෙරමුණේ. එ ජා පෙරමුණ හා බොහෝ සමාජවාදීන් දෙමළ ජාතිවාදය දෙස බලන්නේ එකම ආකාරයට. එපමණක් නොව ඊනියා ස්මාට් ජාතිකවාදීන් ද බලන්නේ එලෙසමයි. ඔවුන් අතර සුළු වෙනස්කම් නැතිවා නො වේ. එහෙත් ඒ සියල්ලන්ට ම අනුව දෙමළ ජාතිවාදය ඇති වී තිබෙන්නේ සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ වරදින්. සිංහල වර්ගෝත්තමවාදය, ස්වොත්තාමවාදය, බහුතරයේ ආධිපත්‍යය ආදී වශයෙන් ඔවුන් ඒ හඳුන්වනවා. ඒ හැඳින්වීම් අතර වෙනස්කම් තිබෙනවා. එහෙත් පොදුවේ වරද සිංහලයන්ගේ.



රාජිතට අනුව ජ වි පෙ හා කොටි අතර වෙනසක් නැහැ. ජ වි පෙ මර්දනය අප ජයග්‍රහණයක් ලෙස සලකන්නේ නැත්නම් කොටි පරාජය කිරීම ජයග්‍රහණයක් ලෙස සලකන්නේ ඇයි ද කියා ඔහු අසනවා. එමෙන් ම යාපනයේ කොටි සැමරුම වරදක් නැහැ කියලත් ඔහු කියනවා. ඊනියා ඉල් මහ විරුවන් සැමරීම හොඳ නම් කොටි සැමරීම වරදක් නැතැයි ඔහු සිතනවා වෙන්න පුළුවන්. පොඩි අඩුවක් තියෙන්නෙ ප්‍රා වැනි සංවිධානයක් කොටින්ට විරුද්ධව  ඇති නොකිරීමයි. සමහරවිට ව්‍යාජ සමාජවාදීන්ට එයට අවශ්‍යතාවක් නොතිබෙන්න ඇති.



රාජිත තවත් කතාවක් මාධ්‍ය ප්‍රකාශකයකු ලෙස කියා තියෙනවා. අපේ හමුදාව කොටි නොවන දෙමළ ජනයාත් ඝාතනය කර ඇති බවයි. මෛත්‍රිපාල මේ ගැන කියන්නේ කුමක් ද? ඔහු ඒ ප්‍රකාශ අනුමත කරනවා ද? නැත්නම් රාජිතට විරුද්ධව යම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනවා ද? රාජිතට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගැනීමට මෛත්‍රිපාලට පුළුවන් ද? ඊනියා ජාත්‍යන්තරය එයට ඉඩ දෙයි ද? අඩුම තරමෙන් රනිල් ඉඩ දෙයි ද?



අපේ හමුදාව කොටි නොවන දෙමළ ජනයා ඝාතනය කළ බවට රාජිතට සාක්‍ෂි තියෙනවා ද? ඔහුට සාක්‍ෂි ඇත්නම් ඔහු කළ යුත්තේ එය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී සුදුසු විනයානුකූල පියවර ගැනීම මිස අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවීම්වල ඒ ප්‍රකාශ කිරීම නො වේ. රාජිත සේවය කරන්නේ කාට ද? ඔහු කාගේවත් නියෝජිතයකු නම් වෙන්න බැහැ. කිසිවකු ඔහු තම නියෝජිතයා කර ගන්න එකක් නැහැ.



කොටි ආයුධ අතට ගැනීමට පුරුදු වූයේ ජ වි පෙරමුණෙන් බව පැහැදිලියි. එහෙත් ජ වි පෙ හා කොටි අතර වෙනසක් තියෙනවා. ජ වි පෙ ඔවුන් දැනගත් මාක්ස්වාදය අනුව ධනපති ක්‍රමය පෙරළා දමා ඊනියා සමාජවාදය ඇති කිරීමට යැයි කියමින් ආයුධ අතට ගත්තා. එය නොවන දෙයක්. ඒ කියන්නෙ ඔය කියන ඊනියා සමාජවාදය ඇති කරන්න බැරි දෙයක්. වෙන්නැති දෙයක් වෙනුවෙනුත් ආයුධ අතට ගන්න ඕනෑම අයකුට පුළුවන්. එයට විරුද්ධව ක්‍රියා කිරීම ආණ්ඩුවේ වැඩක්. ආණ්ඩුවක පළමු කාර්යය වනුයේ රාජ්‍යය ආරක්‍ෂා කිරීම.



ජ වි පෙ ආයුධ අතට ගත්තෙ සමාජ ක්‍රමය වෙනස කරන්න. ඒ කාල් මාක්ස්ගෙ හිතළුවකට අනුව. ඒ හිතළුව කිසිම තැනක හරි ගිහිල්ල නැහැ. ඒක වෙන ම කතාවක්. ජ වි පෙ රට බෙදන්න කතා කෙළෙ නැහැ. බැරි වෙලාවත් ජ වි පෙ ජයගත්ත නම් වෙන්නෙ වැඩිම වුණොත් ධනවාදය නැති කරන එක (එය නොවන බව වෙන ම කරුණක්). කොටි ආයුධ ගත්තෙ රට බෙදන්න. කොටි පිටුපස බටහිර රටවල් හා ඉන්දියාව හිටියා. ඉන්දියාව අවසාන භාගයෙ කොටි අත්හැරපු බවක් පේන්න තියෙනවා. ඒ කොහොම වුණත් කොටි බටහිර රටවල් විසින් මෙයෙවනු ලැබූ ව්‍යාපාරයක්.



කොටි පරාජය කිරීම බටහිර රටවල් ද පරාජය කිරීමක්. මෙහි රටවල් අතර යුද්ධයක්වත් සිවිල් යුද්ධක්වත් නොතිබුණු එක ඇත්ත. නමුත් බෙදුම්වාදය පිටුපස පමණක් නොව සමස්ත දෙමළ ජාතිවාදය ම පිටුපස ඉන්නෙ එංගලන්තය ප්‍රමූඛ බටහිර රටවල්. කොටි පරාජය සැමරීම අප වැනි අනෙක් රටවලට ද යම් උද්‍යොගයක් සපයනවා. බටහිර රටවල් ඒ බව දන්නවා. ඒ නිසාත් බටහිරයන් කොටි පැරදවීමට ඉඩ දෙන්නෙ නැහැ. අප කොටි පරාජය සමරන්නෙ නැත්තෙ ඒ නිසයි. රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීමට බටහිරයන් ක්‍රියාත්මක වුණෙ ම කුඩා රටක් බටහිරයන්ගෙ අනුග්‍රහය හා ආධාරය ලැබූ සංවිධානයක් පරාජය කිරීම තම ආධිපත්‍යයට තර්ජනයක් නිසා. බටහිරයන්ගෙ පැත්තෙන් කොටි පරාජය කීරීම අනෙක් රටවලට නරක ආදර්ශයක්.



කොටින්ට බටහිර අනුග්‍රහය ලැබුණා. එහි දී ආණ්ඩුවට ආධාර ලැබුණෙ නැහැ. ජ වි පෙරමුණට බටහිර රටවල් ආධාර කෙළේ නැහැ. එහි දී බටහිර රටවල් ආධාර කෙළේ ජ වි පෙ පැරදවීම සඳහා ආණ්ඩුවට. රාජිතගෙ ව්‍යාජ සමාජවාදයටවත් කුමාර් රූපසිංහටවත් සුනේත්‍රාටවත්  චන්ද්‍රිකාටවත් එය තේරෙන්නෙ නැහැ.



බණ්ඩාරනායක මැතිණිය තෙල් ජනසතු කිරීම බටහිර රටවලට එතරම් බලපාන දෙයක් නොවෙයි. අපේ එකල තෙල් පරිභෝජනය ටිකයි. එහෙත් බටහිර රටවලට ප්‍රශ්නය වුණෙ අනෙක් රටවල් බණ්ඩාරනායක මැතිණිය ආදර්ශයට ගනී ද යන්නයි. ඔවුන් මැතිණියගෙ ආණ්ඩුව පෙරළිමට කළ හැකි සියල්ල කළා. මහින්දගෙ ආණ්ඩුවත් අනෙක් රටවලට නරක ආදර්ශයක් සැපයුවා. බටහිරයන් ඒ ආණ්ඩුවත් පෙරළන්න කළ හැකි සියල්ල කළා.