Main Logo

Wednesday 2 May 2018

රුවන්වැලි සෑය අයිති කාට ද?

රුවන්වැලි සෑය අයිති කාට ද?

රුවන්වැලි සෑය අයිති කාට ද? මා පඬියකු නොවන බැවින් රුවන්මැලි සෑය යැයි කියන්නේ නැහැ. රුවන්මැලි කියන්නේ ස්වර්ණමාලි කියන එක ද? ස්වර්ණමාලි රුවන්මැලි වන්නේ කවර රීතියකට ද? ගැමුණු රජු මහා සෑයට කිව්වෙ ස්වර්ණමාලි කියා ද? මේ ප්‍රශ්නත් වැදගත් නමුත් මා ඒ ගැන කතා කරන්නේ නැහැ. ඇතැම් ජාතිකවාදීන්ට එය ප්‍රශ්නයක් වේවි.


රුවන්වැලි සෑයට ලේසර් කිරණ අල්ලලා. ඒවා එක් එක් පැහැයෙන් තියෙන්න ඇති. ඒ එක් එක් පැහැයට බටහිර විද්‍යාව අනුව නියමිත සංඛ්‍යාත තියෙනවා. සංඛ්‍යාත අනුව ශක්තිය නිර්ණය වෙනවා. ශක්තිය නිර්ණය වුණොත් කාලය නිර්ණය වන්නේ නැහැ. ඒක ගැන වැඩි දුර දැනගන්න ඕන නම් පුබුදු ජාගොඩගෙන් විමසන්න. එහෙමත් නැත්නම් ජපානයෙන් සම්මාන ලත් කාලෝ ෆොන්සේකාගෙන් අහන්න. අප දැන ගෙන හිටියෙ නැතුවට කාලෝ මේ රටේ ජපන් සංස්කෘතියටත් සේවය කරලා. මොන තරම් දෙයක් ද?

ශක්තිය නිර්ණය වන්නෙ  අපේ එක ම කාලයක අදාළ ෆෝටෝන එක එක කාලවල තියෙන නිසා. ශක්තිය නිශ්චිත නම් කාලය නිශ්චිත නැහැ. මගෙන් අහන්න එපා ෆෝටෝනයක් එක එක කාලවල තියෙන්නෙ කොහොමද කියලා. එක එක තැන්වල තියෙන්න පුළුවන් ෆෝටෝනයකට එක එක කාලවල තියෙන්න බැරි ඇයි. මාත් හිතන් හිටියෙ ෆෝටෝනයක් එක විට එක එක තැන්වල තියෙන්න පුළුවන් කියලා. ඒක වැරදි කියලා මට දැන් තේරෙනවා. ෆෝටෝනයක් එක එක කාලවල එක එක තැන්වල තියෙනවා. ඒ කියන්නෙ එක් කාලයක දී එක් තැනක ආදී වශයෙන් තියෙනවා කියන එක නොවෙයි. හැම කල හැම තැන!

ඒක පායනා කාලෙට සීමා වෙලා නැහැ. කූඹියෝ නම් කෑම රැස් කරනවා කියන්නෙ පායනා කාලෙට. කූඹියෝ නාට්‍යය විසුරුවා හැරිය නාළිකාව වෙසක් කාලෙ අල්ලලා රුවන්වැලි සෑයට ලේසර් අල්ලලා. ඒ අය ශ්‍රද්ධාවකින් කළා ද නැත්ද කියලා මා දන්නෙ නැහැ. දැන් හැම නාළිකාවක ම අබෞද්ධ බලපෑම වැඩියි. හැම කාලෙ ම ලේසර් අල්ලන්න හුඟක් වියදම් ඇති. නාළිකා අතර තරග තියෙනවා. නාළිකා පවත්ව ගෙන යන්නෙ වෙළෙඳ දැන්වීම්වලින්. වෙළෙඳ දැන්වීම් ලැබෙන්නෙ මිනිස්සු බලන තරමට. රුවන්වැලි සෑයට ලේසර් අල්ලනවා කිව්ව ම හුඟ දෙනෙක් බලනවා. එහෙම බැලුව ම ආදායමත් වැඩි වෙනවා ඇති. ඒක කොහොම වෙතත් රුවන්වැලි සෑය විවිධ වර්ණවලින් විකෘත කරලා.

හාමුදුරුවන්ගෙ සිවුරට මලක් ගැහුවොත් ලස්සනට තියේවි ද? කවුරු හරි පඬියකු කියන්න පුළුවන් ඒකෙ වරදක් නැහැ කියලා. මේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වන්නෙ සිංහල බුද්ධාගම ගැන ඕනෑම අයකුට තීරණ ගන්න පුළුවන්කම. රුවන්වැලි සෑය ගැන තීරණ ගන්න අපට ජනමත විචාරණ තියන්න බැහැ. එහෙත් ඒ සඳහා භික්‍ෂූන් වහන්සේගෙන් සැදි මණ්ඩලයක් තියෙන්න ඕන. ඒක රුවන්වැලි සෑයට පමණක් නොවෙයි ශාසනය සම්බන්ධ සියළු කටයුතුවලට බලපාන්න ඕන.

දැන් නිකාය ප්‍රශ්නයක් එන්න බැරි නැහැ. එහෙත් රුවන්වැලි සෑය සියළු නිකායවලට අයත් එකක්. මා කියන්නේ රුවන්වැලි සෑයෙ අධිපති ධුරය නැති කරන්න කියන එක නොවෙයි. මේ අධිපතිකම් නායකකම් සුද්දො ඇති කරපු ඒවා. ඒත් ඒවා එක මොහොතකින් නැති කරන්න බැහැ. රුවන්වැලි සෑය ගැන විතරක් නොවෙයි සියළු චෛත්‍ය හා සම්බන්ධ කටයුතු පොදුවේ ශාසනික කටයුතු ගැන තීරණ ත්‍රෛනිකායික භික්‍ෂු  මණ්ඩලයකින් ගත යුතුයි. ඒ මණ්ඩල පත් කිරීම කිසිම ඇමතියකුගෙවත් නිලධාරියකුගෙවත් අණසකට යටත් නොවිය යුතුයි. මේ වෙහෙර විහාර ලෙන් ආදිය අගත අනගත චතුදිස සංඝයා වහන්සේ වෙනුවෙන්. අප දන්නේ සාංඝික ක්‍රමය. ඒක බටහිර ප්‍රජාතන්ත්‍රවාදෙට වඩා පරණයි.

ලේසර් ඇල්ලිල්ල ලේසි පාසු දෙයක් නො වෙයි. ඒකට අනුමැතියක් ලැබෙන්නත් ඇති. ඒත් ඒ අනුමැතියක් ප්‍රමාණවත් නැහැ. ඒක සාධාරණ (පොදු) තීරණයක් වෙන්න ඕන. රුවන්වැලි සෑය සිංහල බුද්ධාගමේ සංකේතය. එතැනට ගියාම ඇතිවෙන හැඟීම ලංකාවෙ වෙනත් කිසිම තැනකට ගියා ම ඇති වෙන්නෙ නැහැ. මේ වැඩවලට දැන් ම කොටු බැන්දෙ නැත්නම් කොහෙන් කෙළවර වෙයි ද කියලා හිතා ගන්න බැහැ.

චෛත්‍ය සුදු පාටෙන් තිබීම අපේ සම්ප්‍රදාය. හාමුදුරුවන්ගේ සිවුරෙ පාටටත් සීමා තියෙනවා. නිල් සිවුරු ඇති හාමුදුරුවරු ගැන අප බෞද්ධ සාහිත්‍යයෙ අහලා තියෙනවා. ඒ කියලා අපේ හාමුදුරුවරු නිල් පාට සිවුරු පොරවන්නෙ නැහැ. එහෙමත් නැත්නම් දේදුණු වර්ණ සිවුරු පොරවන්නෙ නැහැ.

දැන් කාලෙක ඉඳලා අපත් කර වැරැද්දක් තියෙනවා. ඒ කපරුක් පූජාව. ඒක කවදා ඇති වුණා ද කියලා මා දන්නෙ නැහැ. කප්රුක් පූජාවෙනුත් චෛත්‍යයක සුදු පැහැය ටිකකට හරි නැති වෙනවා. කප්රුක් පූජා අද නතර කරන්න බැරි වෙයි. එහෙත් එයට ප්‍රමිතියක් තියෙන්න ඕන. ජාත්‍යන්තර ප්‍රමිතියක් නො වෙයි ජාතික ප්‍රමිතියක්. චෛත්‍යයේ විශාලත්වය අනුව කප්රුක් පූජාවත් සකස් වෙන්න ඕන. නැත්නම් කුඩා චෛත්‍යයක් මුළුමණින් ම වැහෙන්න කප්රුක් පූජා තියේවි. මේ පිළීිබඳ තීරණ කලින් සඳහන් කළ භික්‍ෂු මණ්ඩලයෙන් ගන්න ඕන.

දැන් කියන්න පුළුවන් මා වෙනස්වන ලෝකයත් සමග ඉදිරියට නොයන ගෝත්‍රිකවාදියකු කියලා. වෙනස් වීමත් ක්‍රමයකට කෙරෙන්න ඕන. මළ ගෙවල්වල හැසිරෙන විධියක් තියෙනවා. පන්සලේ හැසිරෙන විධියක් තියෙනවා. අපට පිටින් ලැබුණත් රගර් හරි පාපන්දු හරි තරගයක හැසිරෙන විධියක් තියෙනවා. මේවා පටලවා ගැනීම ඉදිරියට යෑමක් ද?

මට තව ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලනඥයන් රවන්වලි සෑයට ලේසර් ඇල්ලීම ගැන එතරම් කතාබහක් නැත්තෙ ඇයි? කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙන නිසා ද?