Main Logo

Thursday 24 May 2018

ජනාධිපති මෛත්‍රිපාල වෙතටයි


ජනාධිපති මෛත්‍රිපාල වෙතටයි



මේ වචන කිහිපය ඔබට ලිවීමෙන් මා තවත් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට පත්වෙනවා. ඔවුන් මා මෝඩයකු, පිස්සකු ගේම් කාරයකු ලෙස සලකාවි. එහෙත් මට ජනප්‍රසාදය වැදගත් නැහැ. ඔබ මේ ලිපිය කියවාවිද කියන්න බැහැ. මේ ලිපිය කොහොමටත් දෙතුන්සිය දෙනකුට වඩා කියවන්නේ නැහැ. ඔබට මුතුකුඩ නාට්‍යය නැරඹීමට වෙලාවක් තියෙනවා ද කියා මා දන්නේ නැහැ. ඔබ නූතන මොල්ලිගොඩ කෙනකු වනවා දකින්න මා කැමති නැහැ. මෙය ලියන්නේ එබැවිනුයි.




මොල්ලිගොඩ ඇහැලෙපොළ විරසකය නිසා අවසානයේ දී සෙංකඩගල නිළමෙලා දෙපැත්තට බෙදුණා. ඒ සියල්ලන්ට ම මෙන් මුල දී සිංහලයේ රජවරුන් වූ නායක්කාර් වාංශිකයන් ඉවත් කිරීමට අවශ්‍ය වුණා. එහෙත් ඒ අතර මොල්ලිගොඩට හා ඇහැලෙපොළට එයටත් වඩා බලාපොරොත්තු තිබුණා. නිළමෙලාට රජවීමට සුදුස්සා කවුද යන ප්‍රශ්නය ද තිබුණා. ඔවුන්ට ඊනියා රාජවාංශිකයකු අවශ්‍ය වුණා. එයට හේතුවක් වුණේ රජකමට ඊනියා ක්‍ෂත්‍රියයකු අවශ්‍ය වීම. නිළමෙලා එකතුවෙලා ඊනියා ක්‍ෂත්‍රිය වුණත් නැතත් සිංහල බෞද්ධ රාජ්‍යය පවත්වා ගෙන යෑමට වඩාත් ම සුදුස්සා තෝරා ගත්තා නම් ඉංගිරිසින්ගේ සහායක් නැතිව නායක්කාර් වාංශිකයන් ඉවත් කර ගන්න තිබුණා. මා ඉවත් කිරීම යන්න යොදන්නේ ඇයි කියා ඔබට පසුව තේරේවි.



ඔබත් මහින්ද හා බැසිල් අතර විරසයක් තිබූ බව කවුරුත් පාහේ දන්නවා. එහෙත් ඔබ මොල්ලිගොඩ මෙන් ඉංගිරිසින් ළඟට යෑම ජාතිය ම පාවා දීමක්. ඔබ ඉංගිරිසින් ළඟට ගියේ නැහැ කියාවි. ඔබ රනිල් කවුරුන් යැයි සිතනවා ද? චන්ද්‍රිකා කවුරුන් යැයි සිතනවා ද? ඔබේ නික්ම යෑම පසුපස බටහිරයන් මෙන් ම ඉන්දීය රෝ ඒජන්තයන් ද සිටියා. ඔබ දුර්වලයි. ඔවුන් ඔබ තෝරා ගැනීමට එක් හේතුවක් එයයි. අනෙක් හේතුව ඔබේ සිංහල බෞද්ධකම. ඔවුන් එයත් ප්‍රයෝජනයට ගත්තා. ඔබට ඇති සිංහල බෞද්ධකම මොකක් දැයි මගෙන් බොහෝ දෙනා ප්‍රශ්න කරාවි.



මා ඔබ සමග කිසි දිනෙක කතා කර නැහැ. මට මතක ඇති විධියට මට ඔබ හමු වී ඇත්තේත් දෙතුන්වරක් පමණයි. මා ඔබ හඳුනතත් ඔබ මා හඳුනන්නේ නැහැ. එහෙත් ආසනික් ප්‍රශ්නයේ දී ඔබ අපට හිතෛෂීව හිටියා. ඔබ  අපේ කණ්ඩායම ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන බත් කැම එපා කරවීමට සහල්වල ආසනික් තියෙන බවක් ප්‍රසිද්ධ කරන්නේ යැයි කීවේ නැහැ. අපේ කණ්ඩායමට ඔබ වරක් දඹුල්ලේ දී මුණ ගැසී තිබුණා. ඔබ ඔවුන්ට ඔබ දරණ ස්ථාවරය කියා තිබුණා. එහෙත් ඔබ දුර්වල බැවින් ඔබේ මතය වෙනුවෙන් සටන් කරන්න බැරි වුණා.



අදත් ඔබ දුර්වලයි. 2015 වසරේ කෙසේ වෙතත් අද ඊනියා ජාතික ආණ්ඩුවක් නැහැ. දැන් ආණ්ඩු දෙකක් තියෙනවා. එකක් ඔබේ ආණ්ඩුව, අනෙක රනිල්ගේ ආණ්ඩුව. ඔබ ඇතැම් වෙලාවට කියනවා සමහර දේ ඔබ දැනගන්නේ ජනමාධ්‍යයෙන් කියා.  මා ඒ ගැන පුදුම වන්නේ නැහැ. රනිල්ගේ ආණ්ඩුව වැඩ කරන්නේ ඔබට කියා නො වෙයි. ඔබ රනිල් ළඟට ගියත් ඔබේ සිංහල බෞද්ධකම නිසා ඔබට බොහෝ අවස්ථාවල බටහිර ක්‍රිස්තියානි රනිල් සමග එකඟ වන්න බැහැ. දැන් මේ විරසකය උඩට ම ඇවිත්.



ඔබ ගැන බොහෝ දෙනාට විශ්වාසයක් නැහැ. පසුගිය දා ඔබෙන් වෙන් වී  ගිය දහසය දෙනාටත් ඔබ ගැන සැක ඇත්නම් මා පුදුම වන්නේ නැහැ. ඔබට රණවිරුවන් සැමරීමට අවශ්‍ය වුවත් රනිල් එයට ඉඩ දෙන්නේ නැහැ. ඔබට වෙහෙර විහාර සමතලා කරනු නවත්වන්න බැහැ. ඔබට විග්නේස්වරන් නිසි තැන තබන්න බැහැ. ඔබට රනිල් ඉවත් කරන්න ව්‍යවස්ථාවෙන් බලතල තියෙනවා. ඒ ගැන මා කියන්නේ බොහෝ කලක සිට. එහෙත් ඔබට එය කරන්න ශක්තිය නැහැ. ඒ දේශපාලන නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක්.



ඔබට මහින්ද ගැන සැකයක් තියෙන බව මට තේරෙනවා. ඔබට ගෝඨාභය ගැන එවැනි සැකයක් නැති බවත් මට තේරෙනවා. එහෙත් ගෝඨාභය වටා ඉන්න ඇතැමුන් ඔහුට ඔබට කිට්ටු වීමට දෙන්නේ නැහැ. ඔවුන්ට මෙතැන ආණ්ඩු දෙකක් තියෙන බව තේරෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ ගෝඨභාය ඔබ සමග එකතු වුණොත් සමස්ත ආණ්ඩුවේ ම පව් ගෝඨාභය මත පැට වී ඔහුගේ 2019 බොඳ කරාවි කියා.



මොල්ලිගොඩ රට සුද්දන්ට පාවා දුන්නා. ඊයේ මුතුකුඩ නාට්‍යයේ ඔහු ඇල්ලෙපොළ ඝාතනය ගැන ප්‍රීති වීමට ඩොයිලිගේ භෝජන සංග්‍රහයකට පිටත් වී ගියා. ඩොයිලිට මෙන් නොව රනිල්ට හිතු තරමට වැඩ කරන්න බැහැ. ඒ අද සිංහල බෞද්ධ බලවේග ශක්තිමත් නිසා. එහෙත් අද රට රනිල්ගෙන් (හා චන්ද්‍රිකාගෙන් හා ඔවුන් පිටුපස ඉන්න බටහිර හා ඉන්දීය බලවේගවලින්) ගලවා ගැනීමට ඔබට තනිව ම බැහැ. ඔබට ඒ සඳහා බාහිර ශක්තිය අවශ්‍යයයි. ඒ ශක්තිය  දීමට අද පුළුවන් මහින්දට හෝ ගෝඨාභයට හෝ පමණයි. ඔබ රනිල් ඉවත් කිරීමට ඔවුන් සමග එකතු විය යුතුයි. ඔබේ විධායක බලයත් ඔවුන්ගේ ජනබලයත් එකතු නොවී අද රනිල් ඉවත් කරන්න බැහැ. ඔබට එසේ කීමට මා කවුද කියා ප්‍රශ්න කරන්න එපා. මා ක්‍රියාකාරීව නොවුණත් අවුරුදු පනස්පහකට වඩා දේශපාලන අත්දැකීම් තියෙන අයෙක්. මා 1988 දී පනස්හයේ දරුවෝ දේශනය කරන විට ඔබ බණ්ඩාරනායක ශාලාවේ ඉන්න ඇති.  



මේ කාර්යයේ දී, එනම් එකතු කිරීමේ දී අර දහසය දෙනාට විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්. ඇතැම් භික්‍ෂූන් වහන්සේටත් එයට සහාය වෙන්න පුළුවන්. මේ ගෙවෙන්නේ 2018. මොල්ලිගොඩ රට පාවා දුන්නේ 1818 දී. ඔබ අද රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි. නැත්නම් රනිල් ඔබ ඉවත් කරනවා.



පසුගිය පෙබරවාරි මැතිවරණයෙන් ඔබත් මහින්දත් දෙදෙනා ම පරාදයි. රනිල් තවමත් අගමැති. එහෙත් ඔබ දෙදෙනාගේ අපේක්‍ෂකයන් ගත් ඡන්ද එකතු කළ විට 58%ක් පමණ තිබුණා. මා මෙය කියන්නේ පෙබරවාරියේ ඔබත් මහින්දත් එකට මැතිවරණයට යා යුතුව තිබිණි යැයි කීමට නො වෙයි. සිංහල බලවේගය, විශේෂයෙන් ම සිංහල බෞද්ධ බලවේගය අද ශක්තිමත්. අද රනිල් සූදානම් වන්නේ එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනකු මැරීමටයි. ඔහුට ජ වි පෙරමුණේ සහාය ලැබෙනවා. ඔහු දෙමළ ජාතිවදයට ඉණි මං බඳින අතර ඔබ දේශපාලනයෙන් ඉවත් කිරීමට සැරසෙනවා.



පෞද්ගලික ව ගත්තත් රට පැත්තෙන් ගත්තත් ගැලවීමක් ඇත්තේ මහින්ද හෝ ගෝඨභය හෝ අගමැති කිරීමෙන්. ඔබ තිදෙනාගෙන් කිසිවකුවත් සරවතෝභද්‍ර යැයි මා කියන්නේ නැහැ. එහෙත් අද එය කළ යුතුයි. ඔබ තිදෙනාමත් මාත් පනස්හයේ දරුවන්. ගෝඨාභය අගමැති කිරීම තරමක සංකීර්ණ ක්‍රියාවලියක්. පළමුව ඔහු පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ගේන්න වෙනවා. දෙවනුව ඔහූ වටා සිටින්නවනුන් සිතන්නේ වෙනත් ක්‍රමයකට. එබැවින් අද කළ යුත්තේ රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීමයි.



ඔබ දෙදෙනා එකිනෙකා විශ්වාස නොකරනවා වෙන්න පුළුවන්. එහෙත් මේ ඒ අවිශ්වාසයට ඉඩ දී රනිල් පවත්වාගෙන යෑමේ අවස්ථාව නො වෙයි. ඔබ දෙදෙනාටත් අප සැමටත් රටටත් ජාතියටත් තෙරුවන් සරණයි.