Main Logo

Monday 28 May 2018

අපට අහිමි විය හැකි වෙසක්




අපට අහිමි විය හැකි වෙසක්



මේ ආණ්ඩුව නිවට ආණ්ඩුවක් බව සැබෑ. ආණ්ඩුව කිව්වට ආණ්ඩු දෙකක් තියෙනවා. එකක් මෛත්‍රිපාලගෙ අනික රනිල්ගෙ. දෙක ම නිවටයි ඒත් මා කැමති නැහැ හැම එකකට ම ආණ්ඩුවට බනින්න. අද ඇතැමුන් කියනවා ජාත්‍යන්තර ව නම් වෙසක් පැවැත්වෙන්නෙ හෙට නියම විධියට මැයි මාසෙ, අපි වැරදියට අප්‍රේල් මාසෙ පැවැත්තුව කියලා. මේ කතාවත් අනික් කතා වගේ ම ඉවරයක් වෙන්නෙ නැති කතාවක්. ආණ්ඩුවට විරුද්ධව මොනව හරි කියන්න ඕන අයත් වෙසක් පැවැත්තුවෙත් වැරදි දවසෙ කියලා ආණ්ඩුවට බනිනවා. ඒත් වෙසක් දවස තීරණය කෙළේ ජ්‍යොතිෂවේදීන්.




මෙරට ජ්‍යොතිෂවේදීන් තීරණය කළ වෙසක් දිනය නිවැරදියි. ඒ ගැන මා ලිපි කිහිපයක් ම ලියලා ඇති. හෙට උදා වෙන්නෙ අධි පොසොන්. අධි පොහොයක් එළඹෙන ආකාරය එකල කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වූ රසාංජලී රුපසිංහ තම අවසන් වසර ව්‍යාපෘතියෙන් පෙන්නුම් කෙරුව. ඒ ගැනත් විස්තර ලිපිවල පළ වුණා. ඒ එකක්වත් අභියෝගයට ලක් වෙුණ නැහැ. ශාසනික වශයෙන් යෙදෙනවා කිව්ව වෙසක් පොහොයත් අප්‍රේල් මස ම උදා වුණු බව අප පෙන්නුම් කළා. අප්‍රේල් මාසෙ උදාවුණෙ වෙසක් පොහොය නොවේ නම් ඒ මොන පොහොය ද කියලා කවුරු හරි කියනවා ද? 



දැන් ඒ ගමන ජාත්‍යන්තර වෙසක් පොහොයක් අල්ල ගෙන. මේ ජාත්‍යන්තර වෙසක් පොහොය එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන. ඒ පිළිගත්තෙ ලක්‍ෂමන් කදිරගාමර්ගෙ යෝජනාවක් අනුව. එය සත්භාවයෙන් කළ යෝජනාවක් වෙන්න ඕන. ඒත් ඒකෙන් දැන් වෙලා තියෙන්න මොකක් ද කියන එක ප්‍රශ්නයක්. ඊනියා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වුණත් බටහිර රටවල වෙසක් පොහොයට නිවාඩු නැහැ. අද ඇමරිකා එක්සත් රාජ්‍යවල ජාතික නිවාඩු දිනයක්. ඒ ඔවුන්ගේ සැමරුම් දිනය. ඔවුන් ජාතික වශයෙන් ම තම රණවිරුවන් සමරනවා. යුද්ධවලින් මියගිය ඔවුන්ගෙ රණවිරුවන් විතරයි සමරන්නෙ. මැරුණු  ස්වදේශික ජනතාව සමරන්නෙ නැහැ.   නට්සින් ව සමරන්නෙත් නැහැ.



මා එහි හොඳ නරක කියනවා නොවෙයි. ඔවුන්ගෙ රටේ ආධිපත්‍යය තියෙන්නෙ කාට ද කියන එක විතරයි මා එයින් පෙන්වන්නෙ. අපේ රටේ රණවිරුවන් සැමරුවෙ නැහැ. කොටින් නම් සැමරුව. ආධිපත්‍යය තියෙන්නෙ කාට ද? මෙය නිවට ආණ්ඩුවක් නො වේ ද? අප ජනරජ දිනය සමරනවා ද? අපේ ඇතැම් නිවාඩු දවස්වලින් නිරූපණය වන්නෙ අපේ ගැතිකම. ආධිපත්‍යය තියෙන අය තමයි නිල වශයෙන් සමරන්නෙ. උතුරු පළාත් සභාව කොටි සමරන්න උදව් වුණු ආකාරයට ප්‍රාදේශීය සභාවක්වත් ජ වි පෙ ඊනියා ඉල් මහා විරුවන් සමරන්න උදව් වෙන්නෙ නැහැ. 



දැන් මේ ජාත්‍යන්තර වෙසක් උත්සවය හෙට තායිලන්තයෙ පැවැත්වෙනවා. මගේ ප්‍රශ්නය ජාත්‍යන්තර වෙසක් දිනය තීරණය කරන්නෙ කවුද කියන එක. මේ සම්බන්ධයෙන් කවුරුන්වත් ලංකාවෙන් ඇහුව ද? ජාත්‍යන්තර වෙසක් දිනේ නත්තලට පැවැත්තුවත් ඒකට සහභාගි වෙන්න ඕන තරම් අය මෙරට ගිහි පැවිදි දෙපැත්තෙ ම ඉන්නවා. එහෙත් අපෙන් අහල ද අධිපොසොන් දවසෙ වෙසක් උත්සවය පවත්වන්න තීරණය කරලා තියෙන්නෙ.



ඊනියා ජාත්‍යන්තර දිනවල ප්‍රශ්නය ඒකයි. බොරු ජාත්‍යන්තර දින දාගත්තට නිවාඩුවක් දෙන්නෙ නැහැ. දිනේ තීරණය කරන්නෙත් අපෙන් අහල නොවෙයි. ඔවුන්ට අනුව වෙසක් මැයි මාසෙ ම උදාවෙන්න ඕන ද? මැයි මාසය කියන්නෙ කාගෙ මාසයක් ද? ඒක එන්නෙ කාගෙ දින දර්ශනයෙ ද?



මෙයින් කියැවෙන්නෙ මහා භයානක දෙයක්. යමක් ජාත්‍යන්තර වුණාට පස්සෙ ඒක අපට අයිති වෙන්නෙ නැහැ. බුදුදහම අපට විතරක් අයිති නැති බව පැහැදිලියි. අමරපුර නිකායෙ උත්සවයෙ දි කියලා තියෙන එක ඇත්ත. ඒ කතාවෙ තවත් දේවල් තියෙනවා. පස්සෙ දවසක අවස්ථාවක් ආවොත් ඒව කියන්නම්. බුදුදහම අපට පමණක් අයිති නැති වුණත් එය ඊනියා ජාත්‍යන්තර වුණාට පස්සෙ අයිතිකාරයෙක් ඉන්නවා ද? ඒ ජාත්‍යන්තර සුපිරිව්‍යුහ සංස්ථාපනය ද? ඒකෙ තීරණ ගන්නෙ කවු ද? වැරදි දවසෙ මෙරට වෙසක් උත්සවය පැවැත්වූවා කියන අයත් කියන්නෙ වෙසක් මැයි මාසෙ ම උදාවෙන්න ඕන කියන එක. ග්‍රෙගරි පාප්තුමාගෙ ක්‍රිස්තියානි දින දර්ශනය අනුව වෙසක් තීරණය කරන්න කියලා මේ කියන්නෙ. මෙය ඊනියා දාර්ශනික ප්‍රශ්නයකුත් නොවෙයි. දෙරණෙ කියැවුණා මෙය දාර්ශනික ප්‍රශ්නයක් කියලා. දැන් මෙරට ඉන්න ඊනියා දාර්ශනිකයොත් ප්‍රශ්නයට අත ගසාවි ද?    



ඊනියා ජාත්‍යන්තර වෙසක් දිනය අධි පොසොන් දින පැවැත්වීම ගැන ජාත්‍යන්තරයට දොස් කියන කිසිවකු ඉන්නවා ද? ඒකට විරුද්ධව කියන්නෙ කාට ද? එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ ලේකම්ට ද? මානව අයිතිවාසිකම් ලොක්කන්ට ද? බුදුදහම දැන් අයිති ජාත්‍යන්තරේට ද? බුදුදහම කෙසේ වෙතත් බෞද්ධ උත්සව තීරණය කිරීමේ අයිතිය තියෙන්නෙ ජාත්‍යන්තරයට ද? මේ ජාත්‍යන්තරයෙ තීරණ ගන්න තැන්වල බෞද්ධයන් (සිංහල බෞද්ධයන් ම නොව) කී දෙනකු ඉන්නවා ද?



එහෙමත් නැත්නම් ජාත්‍යන්තර වෙසක් දිනයක් හා ජාතික වෙසක් දිනයක් වෙන වෙන ම පවත්වමු ද? ඒක කෙරෙන්නෙ නැති වැඩක්. වෙසක් දිනය ජාත්‍යන්තර කිරීම නිසා අපට වෙසක් දිනය අහිමි වෙන තත්වයක් පැන නැගී තියෙනවා. ඒ කියන්නෙ අප දන්න විධියට අධි පොහොය හා වෙනත් පොහොය ගැන තීරණය කිරීමේ අයිතිය අපට නැති වෙලා. අපට මේ ගැන එකඟත්වයකට එන්න පුළුවන් ද? අද අප ප්‍රශ්න දිහා බලන්නෙ දේශපාලන ඇහැකින් ඒ නිසා ඒ ඒ අය තම දේශපාලන වුවමනාවන් අනුව වෙසක් දිනය තීරණය කරාවි. සිංහල බෞද්ධයන්ට ජාත්‍යන්තරයෙ ම සරණයි.