Main Logo

Sunday 10 March 2019

අපට පුතේ මගක් ඇතේ


අපට පුතේ මගක් ඇතේ



පොහොට්ටුව හා ශ්‍රී ල නි ප අතර සංධානයක් ඇති වීමට තියෙන ඉඩකඩ ඇහිරෙනවා. එය අහිතකරයි. එයට ප්‍රධාන හේතුව බැසිල් බව කියන්න මා පසුබට වෙන්නේ නැහැ. දයාසිරි ජයසේකරත් ඒකට පොහොර දානවා. ඒත් ඇහුවොත් දෙන්න ම කියාවි අපට සංධානයක් අවශ්‍ය කියලා. මා දයාසිරි දන්නෙ ඔහු කොළඹ විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යයකුව සිටි කාලෙ ඉඳලා. ඒ කාලෙ කොළඹ විශ්වවිද්‍යාලෙ හිටි කිහිප දෙනකු ම අද දේශපාලනයේ, ජනමාධ්‍යයෙ හා ඊනියා ශාස්ත්‍රීය ලෝකයෙ වැදගතුන්. පාතාලයෙත් ඇති. නැතත් සමහරුන්ට පාතාලය සමග සම්බන්ධකම් ඇති.




දයාසිරි නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලෙදි හා කොළඹ විශ්වවිද්‍යාලෙදි බටහිර සංකල්ප ටිකක් ඉගෙන ගන්න ඇති. ඔහුට ඒ සංකල්ප දිරව ගන්න බැරි වෙලා. දයාසිරි ශ්‍රී ල නි පක්‍ෂය මැදමාවතේ පක්‍ෂයක් යැයි කියන්නෙ ඒක ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක් නිසාළු. බුදුහාමුදුරුවන්ගෙ මැදමාවත මොකක් ද දන්නෙ නැහැ. බුදුහාමුදුරුවන්ගෙ කාලෙ ලිබරලුත් නැහැ. මාක්ස්වාදයත් නැහැ. ජ වි පෙරමුණත් නැහැ. ජර්මනියෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට මොකද වුණේ. අද බටහිර යුරෝපයෙ හෙමින් හෙමින් හරි ජාතිකත්ව පක්‍ෂ ඉදිරියට එනවා.



දයාසිරි මෛත්‍රිපාලගෙ හොඳ හිතවතෙක් වෙන්න ඕන. නැත්නම් ශ්‍රී ල නි පක්‍ෂෙ ලේකම්කම ලැබේවි යැයි. මෛත්‍රිපාල තම ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරල බව දයාසිරි අපට කියන්න ඕන නැහැ. මෛත්‍රිපාලගෙ ඡන්ද ප්‍රතිශතයත් ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒත් එය මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ල 50%ක් නම් වෙන්නෙ නැහැ. වැඩිම වුණොත් 25%ක් වේවි. එය අනුහස්ගෙ කොටස් ප්‍රමාණය තරම් නැහැ. අනුහස් කවුද කියල දයාසිරිට කොළඹ විශ්වවිද්‍යාලෙ හිටපු දිලිත්ගෙන් හරි මාධවගෙන් හරි අහගන්න පුළුවන්. 



මේ අතර කලින් විමල් හසුරවපු දැන් බැසිල් හසුරනව යැයි කියන සමාජයීය මාධ්‍යයක මෙන්න මෙහෙ ම කියල තිබුණ.     “දෙසැම්බර 07 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ස්ථිර වශයෙන්ම ඉදිරිපත් කරන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයෙක් බව එම පක්‍ෂ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

එහ අපේක්‍ෂකයා ස්ථිරවම එම මැතිවරණයෙන් ජයගන්නා බවත් ඔහු දෙසැම්බර 09 වැනිදා ජනාධිපති ලෙස දිවුරුම් දෙන බවත් ඒ මහතා සදහන් කලේය.

ඔහු මෙ බව කියා සිටියේ එම පක්‍ෂයේ කළුතර දිස්ත‍්‍රික් කාන්තා බල මණ්ඩලය අමතමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපි අපේක්‍ෂකයා කවුදැයි නම් කරනු ඇති බවත් ඒ කවුරුන් වුවත් ඔහු දිනවීමට කටයුතු කරන බවත් බැසිල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියා සිටියේය.”



හොඳ කතාවක්. මේ අනුව දෙසැම්බර් හත්වැනි දා ජනාධිපතිවරණය පැවැත්තෙනවා. ඊට ඉස්සෙල්ල මෛත්‍රිපාල ජනාධිපතිවරණයක් කැඳවල ඔහු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වුණොත්? බැසිල්ට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නෙ පොහොට්ටවෙන්. ඒ එක්ක ම ඔහු කියනවා මහින්ද ජනාධිපති අපේක්‍ෂකයා නම් කරනු ඇති බව. මේ සියල්ල එකට ගත්ත ම අපට  කියන්න වෙන්නෙ සංධානය හැදුවත් මහින්ද පොහොට්ටු සාමාජිකයකු පමණක් ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කරන බව බැසිල් දන්නවා කියන එකයි.



බැසිලිකාවෙ පූජකවරුන්ගෙ කතාබහ අනුව පොහොට්ටුව ශ්‍රී ල නි පක්‍ෂය සමග නොව ජ වි පෙරමුණ එක්ක සංධානයක් හදන්න ඉඩ තියෙනවා. සමහරවිට පොහොට්ටුවෙ ප්‍රතිපත්ති ජ වි පෙරමුණේ ප්‍රතිපත්තිවලට වඩා සමීප ඇති. බැසිල්ටවත් අනුර දාසනායකටවත් ජාතිකත්වයක් නැහැ. මේ අය ත්‍රස්තවාදය පනත වෙනස් කිරීමට විරුද්ධ අයවැයට විරුද්ධව එකතු වෙන්න යන බවක් පේනවා. වැලේ වැල් නැති ජ වි පෙරමුණට අද එල්ලෙන්න කාටත් වඩා කුරහන් සාටකය අවශ්‍ය වෙලා තියෙනවා.  දයාසිරිටත් තියෙන්න සමාජ ප්‍රජාතන්ත්‍රවාදෙ. බටහිර යුරෝපයෙ සමාජ ප්‍රජාතන්ත්‍රවදී අදහස්වල ඉන්න අය තමයි වැඩියෙන් ම සිංහල බෞද්ධ ජාතිකත්වයට විරුද්ධ. ඒත් මේ රටේ ජනතාවට මොන මොන අඩුපාඩුකම් මැද වුවත් ජාතිකත්වයක් තියෙනවා. 



අයවැය පරාද කළත් ජනාධිපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 70 තියෙනතාක් 33 හා 62 අනුව නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ඒ ජනාධිපති නීතිඥයන් වරද්ද ගත් තැනක්. වැඩිම වුණොත් ඔක්තෝම්බර් 26 වැනි දා වගේ වෙනත් අගමැතිවරයකු පත් කරන්න පුළුවන්. යම් වැය ශීර්ෂයක් පරාද වුණු පළියට අයවැය පරාද වෙන්නෙත් නැහැ. එවිට ආණ්ඩුව අස්ථාවර වෙන බව පෙන්වල ජනතා පරමාධිපත්‍යය අනුව 3 හා 4 යටතෙ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් කියන එකයි මගේ මතය. ඒත් එය  උගත් නීතිඥයකුගෙ මතය නො වෙයි. ජනතා පරමාධිපත්‍යය දැන් හැමෝ ම යොදා ගන්නවා. බලාගෙන යනකොට ඊයෙ ඊනියා ඩ්‍රීම් ස්ටාර් තේරිල තියෙන්නෙත් ජනතා පරමාධිපත්‍යයෙන්. නාලන්දෙට ජනතා පරමාධිපත්‍යය හසුරුවන්න පුළුවන් වගේ. මහින්දත් නාලන්දෙ ඉගෙන ගෙන තියෙනවා. 



මෙරට දේශපාලනය තීරණය වන්නෙ පෞද්ගලික කරුණු මත. රට ගැන හිතනව නම් කරන්න තියෙන්නෙ පොහොට්ටුවයි ශ්‍රී ල නි පක්‍ෂයයි එකතු වෙලා සංධානයක් හදල ජනාධිපති අපේක්‍ෂකයකු තෝර ගන්න එක. ඒ මෛත්‍රිපාලවත් බැසිල්වත් ජී එල් වගේ බැසිල්ගෙ නියෝජිතයෙකුවත්  නො වෙයි. ඒ එක්කෙනකුටවත් 50%ක් ගන්න බැහැ. 50%ක් ගන්න පුළුවන් ගෝටාභයට පමණයි. ඒත් ශ්‍රී ල නි පක්‍ෂයෙන් අපේක්‍ෂකයකු ආවොත් ඒක කරන්න බැහැ. මා මේ කිසිවක් කලින් නොකීවෙ සංධානය හදන එක ප්‍රමුඛතා ලැයිස්තුවෙ මුලට එන්න ඕන නිසා. එහෙත් දැන් මැතිවරණය හා ජනාධිපතිවරණය කට ළඟට ඇවිත්. මෛත්‍රිපාල නිකම් ම තරගයෙන් ඉවත් වෙන එකක් නැහැ. ඒ ගැනත් හිතන්න ඕනෙ. දයාසිරි ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදෙ පැත්තකට දැම්මොත් ඔහුට ඒ සම්බන්ධයෙන් යමක් කරන්න පුළුවන්.