Main Logo

Monday 18 March 2019

මන්නාරමේ ඇටකටු


මන්නාරමේ ඇටකටු



මන්නාරමේ සමූහ මිනී වළවල් පිළිබඳ වාර්තාව ලැබෙන තුරු දෙමළ ජාතිවාදීන් බලා සිටියේ එළුවාගේ මොකක් ද එක වැටෙන තෙක් වගේ. මේ දෙමළ ජාතිවාදීන් ගණයට අයත් වන්නේ දෙමළ කතා කරන ජනයා පමණක් නොවෙයි. සිංහල දෙමව්පියන්ගේ දරුවන් ලෙස හැදී වැඩී පසුව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට හසුව සිංහල බෞද්ධ විරෝධීන් වූවන් ද දෙමළ ජාතිවාදීන්. මෙරට දෙමළ ජාතිවාදීන්ගේ ප්‍රධාන ලක්‍ෂණය සිංහල බෞද්ධ විරෝධී වීම හා සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නො දීම.




කොහොම හරි මන්නාරම් කාල නීර්ණ වාර්තාව ලැබුණා. ඒක සිංහල බෞද්ධයන් පිළියෙළ කළ එකක් නො වෙයි. අර කියන්නා වගේ පිළිගත් රටක පිළිගත් ආයතනයක වාර්තාවක්. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ බටහිර විද්‍යාවේ ක්‍රමවේදය යොදා ගනිමින් නිකුත් කළ වාර්තාවක්. ඒත් දෙමළ ජාතික සංධානයට ප්‍රශ්න තියෙනවා. එක් මන්ත්‍රීවරයකු කියල තිබුණා ඒ කාල නීර්ණය පිළිගන්න බැහැ කියලා. වාර්තාවට අනුව ඒ ඇටකටු 1492- 1719 අතර කාලයකට අයත්. අප පාසල් යන කාලෙ පෘතුගීසීන් ලංකාවට ඇවිත් තිබුණෙ 1505 දි. මේ වන විට එය 1506 වෙලා. අවුරුද්දක වෙනස එතරම් දෙයක් නො වෙයි. කොහොමටත් පඬියන්ට එල්ලෙන්න තැනක් තියෙනවා. 1492 සිට 1505/6 දක්වා මෙරට පෘතුගීසීන් ඉඳලා නැහැ.



ඔය සමූහ ඝාතන ඒ අවුරුදු දහතුනක දහහතරක පමණ කාලයෙ දි සිද්ධ වෙන්න ඇති. ඒ කාලෙ කෝට්ටෙ රජ්ජුරුවො අටවැනි පරාක්‍රමබාහු. ඒත් දැන් තමයි හත්වැනි පරාක්‍රමබාහු ඉන්නෙ. ඔය ඝාතන අටවැනි පරාක්‍රමබාහු රජුගෙ කාලෙ (1484-1518) කියල මතයක් හදන්න බැරි ද? මන්නාරමේ හිටිය මුස්ලිම් හරි දෙමළ කතාකරන ජනයා හරි  ඝාතනය කරා කියල කතාවක් හදන්න බැරි ද? හේතුවක් ඕනෙ නැහැ. සිංහල බෞද්ධ කෘරත්වය කිව්ව ම මදැයි. 



ඔය ඉන්න ඉතිහාසඥයන් ලවා ඒක කරවන්න බැරි නම් මෙච්චර කලක් විශ්වවිද්‍යාලවල ඉතිහාසය උගන්නපු එකේ තේරුම මොකක් ද? ඒ කාලය ලන්දේසි එන්න කලකට කලින්. ඒ නිසා නෙදර්ලන්තෙට ඇරල ඊනියා පර්යේෂණයක් කරවන්න බැහැ. පෘතුගාලයට ඇරියත් වැඩක් වෙන්නෙ නැහැ. ඒකට කමක් නැහැ අපි ක්වේරොස් මොනවද ලියල තියෙන්නෙ කියල ටිකක් හොයල බලමු. දැන් කියයි ක්වේරොස් ලංකාවට ආවෙ නැහැ කියල. ඒත් ක්වේරොස් ඕව ලියන්න ඇත්තෙ හිතුමතේට වෙන්න බැහැ. ලංකාවට ආ ගිය අයගෙන් එතුමාට විස්තර ලැබෙන්න ඇති. අනෙක් අතට පඬියන් ඒ කාලෙ ලංකාවෙවත් පෘතුගාලයේවත් හිටියැයි. ඔවුන් ලියන්නෙත් එක් එක් අයගෙ වාර්තා අරගෙන. එහෙම නැත්නම් වෙනත් සාධකයක් අරගෙන. ඉතිහාසය ලිවීමේ දී ජනප්‍රවාදත් වැදගත් වෙනවා. පරස්පර අඩු ඉතිහාස කතා තමයි අපි හොයන්න ගොතන්න ඕන. පඬියන්ට කතා ගොතනවා කියන එක තේරෙන්නෙ නැහැ. ඒ නිසා ඒක ගැන කතා කරන්න ඕන නැහැ. 



මේ ක්වේරොස් කියන්නෙ ෆ්‍රැන්සිස්කානු පෘතුගීසි පූජකවරයෙක්. ෆර්නාඔ ද ක්වෙරොස් පියතුමා කියල තමයි කියැවෙන්නෙ. යාපනයෙ ස්වාධීන රාජ්‍යයක් කිසි දවසක තිබිල නැහැ. එහෙම තිබුණ කියන්නෙ සුවාදීනයන් විතරයි.  අපි පස්සෙ ඕන නම් යාපනයෙ ඉතිහාසය ගැන ලියමු. එහෙ තිබුණ ආර්යචක්‍රවර්ති රාජ්‍යය ගම්පොළ හරි කෝට්ටෙ හරි රාජ්‍යයන්ට කප්පන් ගෙවූ රාජ්‍යයක්. ඒ රාජ්‍යයත් හයවැනි පරාක්‍රමබාහු (1412-1467)  කාලෙ දී, එනම් 1449 දි ඉවර වුණා. ඉන්පසු  සපුමල් කුමාරයා යාපනයෙ හයවැනි පරාක්‍රමබාහු රජුගෙ යුවරජු වගේ කටයුතු කළා. අදත් නල්ලූර් කෝවිලේ සපුමල් කුමරුට ස්තෝත්‍ර ගයනවා. සපුමල් කුමරු හයවැනි පරාක්‍රමබාහු රජුගෙ මරණයෙන් පස්සෙ කෝට්ටෙට ඇවිත් හයවැනි බුවනෙකබාහු නමින් රජවුණා. සපුමල් කුමරු යාපනෙන් එන විට තම නියෝජිතය ලෙස පාණ්ඩ්‍ය සම්භවයක් ඇති පරරාජසේකරම් කියල කෙනකු යාපනය පරිපාලනය සඳහා පත් කළා. පරරාජසේකරම්ට අවුරුදු පතා ඇසළ පෙරහැරට ඇතුන් දහ දෙනකු එවන්න තිබුණා. අර පඬි පැටික්කියො එකල හිටිය නම් ඇතුන්ගෙ ඇත්අයිතිවාසිකම් වෙනුවෙන් බෙල්ලෙ වැලළා ගන්නවා. නීතිපති  පරරාජසේකරම්ට විරුද්ධව නඩු දාන්නත් තිබුණ. නීතිපතිට අගවිනිසුරුකම ලැබෙයි ද? ව්‍යවස්ථා සභාව වෙනස් කරන්න මහින්ද කිසිම උත්සාහයක් ගන්නෙ නැත්තෙ ඇයි? තාමත් විපක්‍ෂ නායක සම්බන්ධන් ද?  ව්‍යවස්ථා සභාවට බැණ බැණ ඉඳලා වැඩක් නැහැ.



පරරාජසේකරම්ට නුවර කාලෙ වචන යොදා ගත්තොත් යකඩ දෝලියකුත් සිටියා. ඒ යකඩ දෝලියගෙන් ලැබුණු පුතා තමයි සංකිලි. ඔහු 1519 දී යාපනයෙ බලය අල්ල ගත්තා. ඔහු පෘතුගීසීන්ට විරුද්ධ වුණා. විදිය බණ්ඩාරත් ඔය කාලෙ මායාදුන්නෙගෙන් බේරෙන්න යාපනයට ඇවිත් හිටියා. වීදිය බණ්ඩාර ව්‍යාජ දන්ත ධාතුන් වහන්සේ නමක් රැගෙන ගියා කියලයි සඳහන් වෙන්නෙ. ඒ රජකම සඳහා. සැබෑ දන්ත ධාතුන් වහන්සේ රැක බලාගෙන තියෙන්නෙ කීරවැල්ලෙ පරම්පරාවෙ අය. 1840න් පස්සෙ තමයි ඉංගිරිසින් දියවඩනෙ නිළමෙ කෙනෙක් පත් කරල ඒ කීරවැල්ල සම්ප්‍රදායත් 1815 ගිවිසුමත් කැඩුවෙ.



සංකිලිත් ව්‍යාජ දන්ත ධතුන් වහන්සේ තමා භාරයෙ තබා ගැනීමට කැමති වුණා. ඒ ඔහු කෝට්ටෙ ට යටත් නිසාත් සිංහල බෞද්ධ උරුමයන් හා සම්ප්‍රදාය රැකීමට බැඳී සිටි නිසාත්. එහෙත් ඔහු වීදිය බණ්ඩාරට බයෙන් හිටියෙ. සංකිලි 1556 දි අනතුරක් ලෙස පෙනෙන අයුරින් වීදිය බණ්ඩර මැරෙව්වා. එයට යාපනයෙ දෙමළ කතා කරන ජනයාත් විරුද්ධ වුණා. ඔවුන් ගෝවෙන් සිංහල කුමාරයකු ඉල්ලා සිටියා. ඒ සිංහල කුමරු වසූරිය හැදී මිය ගියා. යාපනයෙ ඒ කාලෙ බහුතරය සිංහලයන් බව ක්වෙරොස් කියනවා.



අපේ කතාවට සෘජුව ම වැදගත් වෙන්නෙ වෙනත් සිද්ධියක්. පෘතුගීසීන් පරවර නමින් හැඳින්වුණු ධීවර ජනතාවක්, හත්සිය දෙනකු පමණ මන්නාරමේ පදිංච කරල තියෙනවා. මුතු සඳහා කිමිදීම ඔවුන්ගේ කාර්යයක් වුණා. ඔවුන් කතෝලික ආගමට හරවන ලද අය. සංකිලි ඔවුන්ට හින්දු ආගම වැළඳ ගන්නා ලෙස කිවුවා. ඔවුන් එසේ කෙළේ නැහැ. සංකිලි එවිට 1544 දි ඒ සියල්ලන් ඝාතනය කළා. ඔය කාලෙ මන්නාරමේ කන්‍යාරාමයක් තිබුණු බවත් කුසුමාසන දේවිය පසු කලෙක එහි ඉගෙනුම ලැබූ බවත් කියැවෙනවා.



සංකිලි පසුව යාපනයේ බෞද්ධයන් ද සමුහ ඝාතනයට ලක් කර තිබෙනවා. එකල යාපනයේ බෞද්ධයන් සියල්ල සිංහලයන්. මේ ඝාතන ගැන රාසනායගම් සඳහන් කරනවා. ඒ සමූහ මිනී වළවල් වේ නම් ඒවත් හොයා ගන්න කටයුතු කරන්න ඕන. කෙසේ වෙතත් පෘතුගීසීන් සංකිලි පරාජය කළා. 1560 දී බ්‍රගැන්සා යටතේ පෘතුගීසී හමුදා යාපනයට යද්දී ඔවුන්ට සිංහලයන්ගෙ මළ සිරුරු හම්බ වෙලා තියෙනවා. සංකිලි යටත් වී 1560 දී පෘතුගීසීන් සමග ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම තියෙන්නෙ සිංහලෙන් හා පෘතුගීසි භාෂාවෙන්. එහි තේරුම යාපනය කෝට්ටෙ රාජධානිය යටතෙ තිබුණ බවත් දිවයිනේ රාජ්‍ය භාෂාව (සංකල්පය නැතත්) සිංහල බවත් ගිවිසුම කෝට්ටෙ රජුට පෙන්විය යුතු බවත්. සංකිලි 1561 දී ඔහුගේ පුතකු අතින් මැරුම් කෑව. ඒ පුතා පුවිරාජසිංහම් නමින් පෘතුගීසීන් වෙනුවෙන් යාපනය පරිපාලනය කළා.



මේ ඉතිහාසය ගැන බොහෝ දෙනා නිහඬයි. අද පඬියන් කරන්නේ සිංහලයන්ට ඇති සියලු උරුම මකා දැමීමට කටයුතු කිරීමයි. මන්නාරමේ ඝාතන ගැන ලිඛිත ව ඉහත සඳහන් කරුණු තියෙද්දි ඉතිහාසඥයන් නිහඬ වන්නෙ සංහිඳියාව වෙනුවෙන් වෙන්න පුළුවන්. 



ඉහත සඳහන් විස්තරය ලියල තියෙන්නෙ පෘතුගීසි හා රාසනායගම් ලිපි ඈසුරෙන්. ඒකෙන් කියන්නෙ නැහැ ඔවුන් කියන අනෙක් සියල්ලත් හරි කියල. පෘතුගීසීන් තමන් සිංහල බෞද්ධයන් මරා දැමූ හැටි කියන එකක් නැහැ. මන්නාරම් ඇටකටු කාගෙ ද කියන්න ඉහත සපහන් විස්තරයෙන් උපකාරයක් ලෑැබනවා. ඒ පෘතුගීසීන් මුතු කර්මාන්තය සඳහා ගෙනා පරවර කතෝලික ජනයාගෙ කියන එකත් ඝාතකයා සංකිලි බවත් තමයි වෙනත් සාක්‍ෂි නැත්නම් දැනට පිළිගන්න වෙන්නෙ. වෙනත් සාක්‍ෂි තියෙනව නම් ඒ විභාග කරන්න පුළුවන්. ජනප්‍රවාද වුනත් ප්‍රශ්නයක් නැහැ. මොන ප්‍රවාදයක් වුණත් කතන්දරයක් පමණයි. අවශ්‍ය වන්නේ සංගත කතන්දරයක්. ඉහත විස්තරය සංගතයි