Main Logo

Tuesday 19 March 2019

ගෝඨාභයට හා මෛත්‍රිපාලට පැවරෙන වගකීම්


ගෝඨාභයට හා මෛත්‍රිපාලට පැවරෙන වගකීම්



පොදුජන පෙරමුණ හා ශ්‍රී ල නි ප අතර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වෙනවා නම් හොඳයි. ඒත් මට ඒ ගැන එතරම් විශාල බලාපොරොත්තුවක් නැහැ. දෙපැත්තේ නියෝජිත පිරිස්වල ඉන්න අයගෙ සත්භාවය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. පොහොට්ටු පැත්තෙන් ඉන්නෙ ජී එල් පීරිස් (නායක), ඩලස් අලහප්පෙරුම හා ජගත් වැල්ලවත්ත. ඩලස් නියෝජනය කරන්නෙත් පොදුජන පෙරමුණ. ඔහු පොහොට්ටුවේ සාමාජිකයකු නො වෙයි. ඔහු එක්සත් ජනතා නිදහස් සංධානයේ ඉන්න ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයෙක් බව මහින්ද අමරවීරත් දයාසිරි ජයසේකරත් දන්නවා. දයාසිරි තම පක්‍ෂයේ සාම්ජිකයකු අනෙක් පැත්තෙ තියාගෙන සාකච්ඡා කරනවා.




2015 ජනවාරි අටවැනි දාට පසු මාස කිහිපයක් යනතුරු මහින්දට ජී එල්වත් ඩලස්වත් දුරකතනයට සම්බන්ධ කර ගන්න බැරි වුණ බව අප කිහිප දෙනකු සමග පැවසුුවේ මහින්දමයි. ජගත් වැල්ලවත්ත කොළඹ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ ස්වාධීන ශිෂ්‍ය සංගමේ. ඔවුන්ට එකල මතවාදය සැපයුවෙ ශ්‍රී ල නි පක්‍ෂය නො වෙයි. ඔහු තම මතවාද වෙනස් කර ගත් බවක් ප්‍රසිද්ධියේ කියා නැහැ. ඔහු වත්මන් පොහොට්ටුවේ නියෝජිතයකු වීම පුදුමයක් නො වෙයි. ජී එල් චන්ද්‍රිකාගේ පැකේජය සමග මංගලලා එක්ක රට වටේ ගිය අයෙක්. ඩලස්ට ඇති ජාතිකත්වයක් නැහැ. මා ඔහු දන්නේ අනූවේ දශකයේ මුල ලක්මිණ පුවත්පතේ වැඩ කළ කාලයේ සිට. පොහොට්ටුවට ඇති ජාතිකත්වයකුත් නැහැ. මා පොහොට්ටුවේ සාමාජිකයන්ගෙන් හා සාමාජිකයකු නොවී ඒ පක්‍ෂය නියෝජනය කරන ඩලස්ගෙන් අහන්න කැමතියි දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය, අසාධාරණය කුමක් ද කියා. ජී එල්ට ශ්‍රි ල නි පක්‍ෂය සමග සංධානයකට ඒමට අවශ්‍යතාවක් නැහැ. ඔහු දිගින් දිගට ම කියා සිටියේ ශ්‍රී ල නි පක්‍ෂය සමග සංධානයක් අනවශ්‍ය බවයි.



ශ්‍රී ල නි පක්‍ෂය නියෝජනය කරන කණ්ඩායමේ නායකයා දයාසිරි ජයසේකර. ඔහුත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මා ඔහු ගැන දැන සිටියේ ගායන හැකියාවක් ඇති අයකු ලෙස. ඔහු අද මෛත්‍රිපාල ජනාධිපති අපේක්‍ෂකයා බවට පත් කිරීමට කටයුතු කරන්නන් අතර ඉදිරියෙන් ම සිටිනවා. ඔහුගේ අදහස් තමයි වැදගත්. මා නුවර සිටි කාලයේ සිට රෝහණ ලක්‍ෂමන් හඳුනනවා. ඔහු මෛත්‍රිපාලගේ විශ්වාසය දිනා ගත්තෙක්. තිලංග සුමතිපාල ගැන නම් මා එතරම් දෙයක් දන්නේ නැහැ. මෛත්‍රිපාල ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කිරීමට කටයුතු කරන දයාසිරි පොහොට්ටුව සමග සංධාන ගත වීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද?



ශ්‍රී ල නි ප හා පොදුජන පෙරමුණ සංධානගත වී රනිල් පරාජය කරනු දැකීමයි මගේ බලාපොරොත්තුව. යහපාලන කාලයේත් මා කීවේ මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබා දීය යුතු ය කියා. එය ඔක්තෝම්බර් විසිහයවැනි දා මහින්ද අගමැති කිරීමට තුඩු දුන්නා. එය කිසිසේත් ම ව්‍යවස්ථා විරෝධී වැඩක් නො වෙයි. මන්ත්‍රීවරුන් 122 දෙදෙනකු මහින්දගේ පත්වීමට එරෙහි ව පැවරූ නඩුව පහුගිය දා ඉල්ලා අස්කර ගත්තා. එය ඉදිරියට ගෙන යන්න බැහැ. ඔක්තෝම්බර් විසිහය නොවන්නට මේ වන විට රනිල් සුමන්තිරන් තමන්ට අවශ්‍ය ව්‍යවස්ථාව සම්මත කර ගෙන. රනිල් ඉන්පසු දුර්වල වුණා. ඔහුට අදත් ආත්ම විශ්වාසයක් නැහැ. ඔහු අද අන්දරේගේ චරිතය රඟපාන්න හදන්නේ තම පාවාදීම් වසා ගන්න. එහෙත් අන්දරේ කියන්නේ හුදු කවටයෙක් නො වෙයි. ඔහු බුද්ධිමතෙක්.



අද නම් පොහොට්ටුවත් ශ්‍රී ල නි පක්‍ෂයත් කරන්නේ රනිල් ශක්තිමත් කිරීමයි. රනිල් මෙවර එ ජා පෙරමුණේ හරි ඔවුන්ගේ පළල් පෙරමුණේ හරි ජනාධිපති අපේක්‍ෂකයා වීමට බොහෝ ඉඩකඩ තියෙනවා. මෛත්‍රිපාලත් රනිලුත් තම ජනාධිපතිවරණ ව්‍යාපාර දැනටමත් ආරම්භ කරලා. පසුගිය වතාවේ ජනාධිපතිවරණයේ දී ඒ ඒ අපේක්‍ෂකයාට ලැබුණු ඡන්ද අනුව මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද ලැබේවි යැයි කිව හැක්කේ කිසි දා ප්‍රායෝගික දේශපාලනයක නොයෙදුණු මුහුණු පොත් වීරයන්ට පමණයි. මහින්දට ලැබුණු ඡන්ද යම් ප්‍රමාණයක් මෙන් ම හංසයාට ලැබුණු ඡන්ද යම් ප්‍රමාණයක් ද මෛත්‍රිපාලට ලැබෙනවා. ඒත් මෛත්‍රිපාලට දිනීමට ඇති ඉඩකඩ අඩුයි. එසේ වුවත් පොහොට්ටුවෙන් ගෝඨාභය නැතිව වෙනත් අයකු ඉදිරිපත් වුවහොත් තුන්කොන් සටනක දී මෛත්‍රිපාල දෙවැනි තැන ගනීවි. තුන්කොන් සටනක දී ගෝඨාභයටවත් දිනන්න බැහැ.



පොහොට්ටුවේ මතය බැසිල්ගේ මතයයි. නැහැ බැසිල්ගේ මතය පොහොට්ටුවේ මතයයි. ජී එල් නියෝජනය කරන්නේ බැසිල් මතයයි. වාර්තාවන අන්දමට රාජපක්‍ෂ පවුල තීරණය කරලා ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක කරන්න. මේ වාර්තාව නිවැරදි ද යන්න ප්‍රශ්නයක්. එසේ තීරණයක් ගෙන ඇත්නම් එයින් කියැවෙන්නේ පොදුජන පෙරමුණ පක්‍ෂයක් ලෙස වැදගත් නොවන බවයි. එය පක්‍ෂයක් ලෙස වැදගත් වන්නේ එහි ඇතැමුන්ට තම ආසන සංවිධායකකම් වෙන් කර ගැනීමට පමණයි. පක්‍ෂයෙන් විමසන්නේ නැතිව ජනාධිපති අපේක්‍ෂක තෝරන්න පුළුවන් නම් පක්‍ෂයේ කර්තව්‍යය සීමිත වෙනවා. පොදුජන පෙරමුණ ජනතාවගේ පක්‍ෂයක් ලෙසයි  ඇරඹුණේ. එය බොහෝ දෙනා මහින්ද කෙරෙහි දැක් වූ ප්‍රසාදය නියෝජනය වූ එකක්. එය කිසිසේත් ම බැසිල්ගේ නිර්මාණයක් නො වෙයි. අද එය ගෝඨාභයගේ පක්‍ෂය වෙලා. රනිල්ට විරුද්ධ ජාතිකත්වයක් ඇති මධ්‍යම පංතික (මාක්ස්ගේ අර්ථයෙන් නො වෙයි) බහුතරය ඉල්ලන්නේ ගෝඨාභය. ඒ නිසා රාජපක්‍ෂ පවුලට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි තීරණය කරන්න වෙනව ගෝඨාභය ඉදිරිපත් කරන්න.  පොහොට්ටුවේ බොහෝ දෙනා කුඩා පක්‍ෂ සමග සම්බන්ධකම් ඇති කරගන්න කැමති නැහැ. කුඩා පක්‍ෂ එළවන්නයි ඔවුන්ගේ සූදානම. ඒ ආසන සංවිධායකකම් වෙනුවෙන්. එහෙත් ගෝඨාභය වෙනුවෙන් වඩාත් ඉදිරිපත් වුණේ ඒ පක්‍ෂ. පොදුජන පෙරමුණ නො වෙයි.



අනෙක් අතට අද මෛත්‍රිපාලටත් ජනතාව අතර ප්‍රසාදයක් තියෙනවා. ඒ බව නොපෙනෙන්නේ මෛත්‍රිපාල වෛරයෙන් අන්ධ වූවන්ට පමණයි. ආලය අන්ධ යැයි කියන්නේ බටහිර කියමනක්. අපට ආදරය වගේ වචන ඒ ආකාරයෙන් තිබුණේ නැහැ. අද නිවේදක නිවේදිකාවන් නම් ගායකයන්ට ගායිකාවන්ට ගීතවලට නළුවන්ට නිළියන්ට හැම දෙයකට ම ආදරය කරනවා. වැඩිකල් යන්න ඉස්සර බුදුහාමුදුරුවන්ටත් ධර්මයටත් ආදරය කරාවි. අපේ සෙනෙහසට වෙලා තියෙන්නෙ මොකක් ද? ආලය අන්ධ වුණත් සෙනෙහස අන්ධ නැහැ. ආලය ආදරය වෙනුවෙන් මිනී මරා ගත්තත් සෙනෙහස වෙනුවෙන් එසේ කරන්නේ නැහැ. එහෙත් අපට වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන පාඨය තියෙනවා. අද පොහොට්ටුවේ  බොහෝ දෙනාට මෛත්‍රිපාල වෛරයක් තියෙනවා. එය ඉවත් කර ගන්න ඕන.



මෛත්‍රිපාලට තියෙන ජනතා ප්‍රසාදයෙන් කියන්නෙ ඔහුට සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් තියෙන බවයි. ඔහුට ඡන්ද නැහැ කියන්නෙ මෛත්‍රිපාල වෛරයෙන් අන්ධ වූවන්. මා කලින් දවසක කියා ඇති පරිදි අද කළ යුත්තේ මෛත්‍රිපාලට ගෞරවාන්විත ව ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට ක්‍රමයක් සකස් කර දෙන එකයි. සංධානයක් අවශ්‍ය වන්නේ එවැනි දේ ද කතා කර ගන්න. මෛත්‍රිපාලගෙ ඡන්ද අමතක කරල ගෝඨාභයට වුණත් දිනන්න බැහැ. ගෝඨාභය සහ මෛත්‍රිපාල අතර සාකච්ඡා ආරම්භ කළ යුතු යැයි මා ගෝඨාභයට ඉතා හිතවත් ව්‍යාපාරිකයකුට කියා තරමක් කල්. එහෙත් එයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ කොහොම වුණත් ගෝඨාභය දැන් නායකත්වය අතට ගන්න ඕන. ඔහු පොදුජන පෙරමුණත් ශ්‍රී ල නි පක්‍ෂයත් එකතු වී හදන සංධානයක් ජාතිකත්වයේ පක්‍ෂය බවට පත් කරන්න ඕන. මෛත්‍රිපාලට ගෞරවාන්විත ඉවත් වීමක් ලබා දෙන්න ඕන. මෛත්‍රිපාලත් ඒ ඉවත්වීම ලබා ගන්න ඕන.