Main Logo

Wednesday 13 March 2019

බැසිලිකාව හා පඬියන් සංධානයට වැට බැඳීම


බැසිලිකාව හා පඬියන් සංධානයට වැට බැඳීම



මහා දාර්ශනිකයාටත් තවත් දාර්ශනිකයන්ටත් මහාචාර්යවරුන්ටත් තවත් පඬියන්ටත් වීජ ගණිත ප්‍රශ්නයක් ඇති වෙලා. මා නම් දන්නා විජ ගණිතයක් නැහැ. මහා දාර්ශනිකයා උගන්වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක. ඒකෙ වෛද්‍ය පීඨයක් නැති නිසා කෙකරගාමීන් ඒකට විරුද්ධ ව මොකුත් කරන්නේ නැහැ. මෙරට පෞද්ගලික විශ්වවිිද්‍යාලවලට ඊනියා සමාජවාදීන් විරුද්ධ වන්නේ ඒවාහි බටහිර වෛද්‍ය විද්‍යාව ඉගැන්වුවොත් පමණයි. ඒ විරෝධය පිටුපස ඇත්තේ බටහිර වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරයක් පවත්වා ගෙන යෑම සඳහා වෛද්‍යවරුන් පුහුණු කිරීම සීමා කිරීමයි. බටහිර වෛද්‍යවරුන් ද ඊනියා සමාජවාදීන් ද සිසුන් නේපාලයේ හරි වෙනත් රටක හරි වෛද්‍ය පීඨයක ඉගෙන ඇවිත් මෙහි බටහිර වෛද්‍යවරුන් ලෙස ලියා පදිංචි වීමට විරුද්ධ නැහැ. ඔවුන් විරුද්ධ වන්නේ මෙරට පෞද්ගලික ව සිය ගණනන් බටහිර වෛද්‍යවරුන් පුහුණු කරන්නේ නම් පමණයි.




මගේ ඊයේ ලිපියේ තිබුණේ සරල අංක ගණිතය. එය ඉතාමත් සරලයි. ඉංජිනේරු විද්‍යාව හදාරා ඇති මහා දාර්ශනිකයා සමහර විට එහි වීජ ගණිතයක් දකින්න ඇති. ඒත් මා කී දේ ඉතා සරලයි. මහින්දගේ ඇඹිලිපිටි ප්‍රකාශයත් සමග පළල් සංධානයක් පිළිබඳ බලාපොරොත්තුව තවත් ඈතට යනවා. සංධානයක් නැතිව ඉදිරියේ දී පාර්ලිමේන්තු මැතිවරණයකින්වත් ජනාධිපතිවරණයකින්වත් දිනන්න බැහැ. එ ජා පෙරමුණ තවත් පළල් පෙරමුණක් හදන්නයි යන්නෙ. සංධානයක් නැතිව තුන්කොන් සටනක් ඇති වුණොත් රනිල් දිනනවා. ඒ කියන්නෙ ඔහුට සියයට පනහක ඡන්දයක් ලැබෙන බව නො වෙයි. ඔහු අනෙක් දෙදෙනාට වඩා ඡන්ද ලබා ගන්නවා. එපමණක් නොවෙයි තුන්කොන් සටනේ ගෝඨාභය අපේක්‍ෂකයකු නොවී බැසිල් හරි ඔහුගෙ නියෝජිතකයකු හරි අපේක්‍ෂකයා වුණොත් ඔහුට දෙවැනියා වෙන්නත් බැහැ. මෛත්‍රිපාල වෛරය නිසා රට අගාධයට යනවා. 



මා හිතන්නේ පළල් සංධානයකට අද වන විට ඡන්ද සියයට හැටකට කිට්ටු වෙන්න ගන්න පුළුවන්. එය වීජ ගණිතයක් නො වෙයි, 2018 පෙබරවාරි ප්‍රතිඵලත් පහුගිය ටිකේ දේශපාලනයත් දිහා බලා ලබා ගන්නා අනුමානයක්. දැන් පඬියකු පඬිකමට කියයි ඒක අනුමානයක් මිස නිගමනයක් නො වෙයි කියා. පඬියන්ට මා කියනවා දත්ත අනුව හැකි නම් ඊනියා නිගමනයකට එන්න කියාත් ඊට පළමු නිගමනය හා අනුමානය අතර වෙනස පැහැදිලි කරන ලෙසත්.



මේ ආණ්ඩුව අද පවතින්නේ දෙමළ ජාතික සංධානයේ හා මුස්ලිම් කොංග්‍රසයේ ආධාරයෙන් බව ඊයේ අයවැය ඡන්දයෙන් පැහැදිලි වුණා. ඒත් ඒ පක්‍ෂ අතරත් අභ්‍යන්තරයේත් මතභේද තියෙනවා. දෙමළ ජාතික සංධානය අපට පෙනෙන සජාතීය සංධානයක් නො වෙයි. එහි විශාල මතභේද තියෙනවා. ශිවාජිලිංගම්ලා, සුමන්තිරන්ලා, විග්නේෂ්වරන්ලා ඉන්නේ එක් මතයක නො වෙයි. ඔවුන් ජෙනීවා ගැන වුවත් දරන්නේ එක ම මතයක් නොවෙයි. අප ජෙනීවාහි දී මේ මතභේද උත්සන්න කරන්න ඕන. එහෙත් ඔවුන් අවශ්‍යතාව අනුව එකතු වෙන බවත් අමතක නොකළ යුතුයි.



සිංහලයන් එසේ එකතු වන්නේ නැහැ.  මහා දාර්ශනිකයාටත් චරිතවත් අයකුටත් තවත් අයටත් විශේෂයෙන් ම මුහුණු පොතේ පඬි පෝතකයන්ටත්  අනුව මට දේශපාලනය තේරෙන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන්. මට තේරෙනවා කියන එකවත් තේරෙන්නේ නැහැ. කාට හරි කියල දෙන්න පුළුවන් ද තේරෙනවා කියන්නේ මොකක් ද කියලා. අවබෝධය කියන්නෙ කුමක් ද කියලා. ඊයේ අයවැයේ දී ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රී ල නි පක්‍ෂය කටයුතු කෙළේ දෙවිධියකට. ඒකාබද්ධ විපක්‍ෂය අයවැයට විරුද්ධ ව ඡන්දය දුන්නා. ශ්‍රී ල නි ප මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකුණා. කාට හරි හිතෙයි එකතුවක් නැහැ කියල. ඒ විතරක් නොවෙයි බැසිලිකාව උත්සාහ ගනීවි ඒ වෙනස උළුප්පලා සංධානයට වැට බඳින්න.



ජනාධිපති ආණ්ඩුවේ ඉන්නවා. ඔහු අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා මෙන් ම ශී ල නි පක්‍ෂයේ ද සභාපති. ඒ සභාපතිකම ඔහුට දුන්නෙ මහින්ද. සභාපතිකම එහෙම දෙන්න පුළුවන් එකක් නො වෙයි.  මහින්ද ඒ වෙලාවෙත් කෙළෙ වරදක්. ඒක මහින්දගෙ බෝසත් ගුණයක් හින්ද කළ එකක් නො වෙයි. චන්ද්‍රිකා නම් මහින්දට සභාපතිකම දුන්නෙ නැහැ.  සභාපති තෝරා ගන්න ඕන. ඒක දෙන එකක් නො වෙයි. ජනාධිපති ආණ්ඩුවෙ ඉන්න විට අයවැයට විරුද්ධ ව ඡන්දය දීම ශ්‍රී ල නි පක්‍ෂයට ප්‍රශ්නයක් වෙන්න ඇති. අයවැයට විරුද්ධ වීම ජනාධිපති වැය ශීර්ෂයටත් විරුද්ධ වීමක් ලෙස ඔවුන්ට හිතෙන්න ඇති. මොකක් ද වුණෙ කියන එක නිශ්චිත ව කියන්න බැහැ. අයවැයට පෙර අයවැය පරද්දනවා වගේ බොරු පතුරවලා මිනිසුන්ට බොරු බලාපොරොත්තු දීල ආණ්ඩුවට 113 අහිමි කරන්න බැහැ. ඒ කොහොම වුණත් මෙතන නම් වීජ ගණිත නැතත් න්‍යායික (ලොජිකල්) ප්‍රශ්නයක් නම් ඇති වෙනවා. සමස්තයට විරුද්ධ වෙලා එහි කොටසකට පක්‍ෂ වෙන්න පුළුවන් ද? ඒ ද්විකෝටිකයෙ ප්‍රශ්නයක් ද? මහා දාර්ශනිකයා මේ සම්බන්ධයෙන් හා වෙනත් කරුණු ද සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සංවාදයකට සූදානම් ද? ඔහුට ඇත්තේ නොසන්සිඳෙන වෛරයක්. ඔහුට අනුව මා සිරිජාතිකවාදියෙක්. ඔහු මොන වාදියකු ද කියා මා කියන්නේ නැහැ.



බැසිල් කියන නිසා හරි වෙනත් කරුණක් නිසා හරි මහින්ද ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් කියා කියන විට ඔහු අඩු තරමෙන් දැනට ගෝඨාභයටත් දොර වහලා. ගෝඨාභය තවමත් පොහොට්ටුවෙ සාමාජිකයෙක් නො වෙයි. ඔහුට පසුව ඕන නම් එහි සාමාජිකයකු වන්න පුළුවන්. පළල් සංධානයක් ඇති කරල ඒකෙන් ජනාධිපති අපේක්‍ෂකයා නම් කෙළේ නම් තමයි සුදුසු. පළල් සංධානයට නායකයකු සිටීම අවශ්‍ය නැහැ. එහි නායකත්ව මණ්ඩලයක් තියෙන්න පුළුවන්. ලංකාවෙ පක්‍ෂවල නායකයාට අනවශ්‍ය තැනක් තියෙනවා. පක්‍ෂයෙ සභාපති සමහරවිට නායකයා නොවන්නත් පුළුවන්. නායකයා මහා බලතල ඇති අයෙක්.



ලංකාවෙ කිසිම පක්‍ෂෙක ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. මධ්‍යම කාරක සභා, කෘත්‍යාධිකාර සභා, දේශපාලන මණ්ඩල ආදිය තිබුණත් එහි දී කෙරෙන්නෙ නායකයා කියන දේ අනුමත කිරීමයි. මණ්ඩලයෙ තීරණ ක්‍රියාත්මක කිරීමයි නායකයා කළ යුත්තෙ. ඔහු නායකත්වය දෙන්න ඕන. නායකත්වය දෙනව කියන එක අපට තාම තේරෙන්නෙ නැහැ. අප කියන පළල් සංධානයට ආදර්ශයක් හැටියට නායකත්ව මණ්ඩලයක් යටතේ කටයුතු කරන්න පුළුවන්. ඕන නම් ගෝඨාභයත් නායකත්ව මණ්ඩලයට පත් කර ගන්න පුළුවන්. ඒත් සියල්ලට පළමු පළල් සංධානයකට ඇති ඉඩකඩ ඇහිරිය නොයුතුයි.