Main Logo

Thursday 28 March 2019

රනිල්ට දඬුවම් කරමු


රනිල්ට දඬුවම් කරමු



ඇතැම් පඬියන්ට, මහා දාර්ශනිකයාට සහ උතුරු මැද පළාතේ වෛද්‍ය මහාචාර්යවරයකුට අනුව තවම අපි තරහයි නාට්‍යය ඉවර නැහැ. ඔවුන් සිතනවා ඇති ඒ නාට්‍යය මෙගා ටෙලි නාට්‍යයක් කියා. එයට කමක් නැහැ. ඔවුන් හිතන්නේ තමන් ඊනියා උගතුන් නිසා මේ සියල්ල ඔවුන්ට මිස අප වැනි මෝඩයන්ට නොතේරෙන බවයි. ඔවුන්ටත් ඇත්තේ ඊනියා උගත්කමක් නොව අනෙක් බොහෝ අයට මෙන් ම මෛත්‍රිපාල වෛරයක්. මෝඩකමට බෙහෙත් තිබුණත් මේ වෛරයට නම් බෙහෙත් නැහැ. ඒ නිසා මොවුන් සුවපත් වේය කියා හිතන්න බැහැ.




අපි තරහයි නාට්‍යය කොහොම වෙතත් අපේ ප්‍රධාන කටයුත්ත විය යුත්තේ මෛත්‍රිපාල මහින්ද සමගිය තවදුරටත් තහචුරු කරන එකයි. දෙපැත්ත ම තවමත් අනෙකා අවිශ්වාස කරනවා. ඉහත කී අයත් තවත් අයත් කරන්නේ මෛත්‍රිපාල මහින්දගෙන් ඉවත් කර නැවතත් රනිල් වෙතට යැවීමටයි. ඔවුන් එයින් බලාපොරොත්තු වන්නේ ඔන්න අපි කිවුව විධියට තිබී ඇත්තේ නාට්‍යයක් පමණයි යැයි කීමට. මුහුණු පොතේ තකතීරු අදහස් ලිවීම හැර වෙනත් දේශපාලනයක් නොදන්නා මේ විවිධ පඬියන්ට අවශ්‍ය රනිල් පරාජය කර බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයෙන් ගැලවීමට උත්සාහ කිරීම නොව පෞද්ගලික විශ්වවිද්‍යාලවල උගන්වා, රජරට පැත්තකට දමා කොළඹ පෞද්ගලික රෝහල්වල මුදලට වෙදකම් කර ජීවත්වීම පමණයි. ඒ අතර පඬි කතා කියමින් තම ඊනියා යටත්විජිත විරෝධය මුහුණු පොතේ රඟ දැක්වීමටයි. එය නම් අපූරු නාට්‍යයක් බව කිව යුතුයි.



මෛත්‍රිපාල ඊයේ කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්නේ දී හොඳ කතාවක් කර තිබුණා. පඬියන් කියාවි එය ගැලරියට කරන ලද කතාවක් කියාත් එයත් අපි තරහයි නාට්‍යයේ ම කොටසක් කියාත්. මෛත්‍රිපාල ඒ කතාවෙන් එයට කලින් උතුරු පළාතේ ආණ්ඩුකාර වූ ද බෞද්ධයකු වූ ද සුරේන් රාඝවන් කියා තිබූ කතාවක් තහවුරු කළා. මේ කතාව අප ද ටික දිනකට පෙර කිවුවා. සුපුරුදු පරිදි ජඩමාධ්‍ය ඒ කතාව නොසලකා හැරියා. ඒ ජෙනීවාහි මෙවර යෝජනාවටත් ලංකාව සම අනුග්‍රහය දැක්වීම සම්බන්ධවයි. 



ඒ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම ගැන ජනාධිපති ලෙස තමාවත් විදේශ ඇමති තිලක් මාරපන මහතාවත් විදේශ ලේකම්වත් කිසිම දෙයක් නොදැන සිටි බවත් එය හුදෙක් වෙනත් අයකුගේ උපදෙස් මත ජෙනීවාහි ලංකා තානාපති කළ දෙයක් බවත් මෛත්‍රිපාල කියා සිටියා. එමෙන් ම මාරපන මහතා ජෙනීවාහි කළ කතාවේ පිටපත තමා දැනුවත් ව ලියූ එකක් බවත් කියවීමට සිටි පිටපත වෙනත් ම එකක් බවත් ඔහු කියා සිටියා. තිලක් මාරපන මහතා කළ කතාවේ පිටපතෙහි ඊනියා දෙමුහුන් ජාත්‍යන්තර විනිසුරුවන් පත් කිරීම ප්‍රතික්‍ෂෙප කර තිබූ බවත් මෛත්‍රිපාල මතක් කර සිටියා.



ඊනියා ජාත්‍යන්තර විනිසුරුවන් පත් කිරීම රටේ ස්වෛරිභාවයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි. ජෙනීවා හි මානව අයිතිවාසිකම් අයිතිකාරියට වුවමනා එංගලන්තයට අවශ්‍ය ආකාරයට අපේ නිදහස නැති කිරීමටයි. 1948 දී අපට ඊනියා නිදහසක් දුන් එංගලන්තයට තවමත් අප සෘජුව ම පාලනය කිරීමට අවශ්‍යයයි. රනිල් කියන්නේ මෙරට එංගලන්තයේ නියෝජිතයා. දැන් ප්‍රශ්නය වන්නේ මෙරට ස්වෛරිභාවය නැති කිරීමට කටයුතු කළේ කවුද කියන එක.



ජෙනීවාහි මෙරට තානාපතිට අර උපදෙස් යවා ඇත්තේ මනෝ තිත්තවැල්ල කියන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට කිසිම සම්බන්ධයක් නැති අයකු බව දැන් ප්‍රසිද්ධ රහසක්. ඊනියා සංහිඳියාව යනු අවසාන වශයෙන් ගත් කල රටේ ස්වෛරිභාවය නැති කිරීමක්. රටක ස්වෛරිභාවය නැති කිරීමට කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තදබල වරදක්. මනෝ තිත්තවැල්ලට විරුද්ධව නීති ප්‍රකාරව කටයුතු කරන්නේ නැත්තේ ඇයි? එයට පිළිතුර ඉතා පැහැදිලියි. මෙරට ඇති අනෙක් ආණ්ඩුව එනම් රනිල්ගේ ආණ්ඩුව මනෝ තිත්තවැල්ල ආරක්‍ෂා කරනවා. මහා බැංකු කොල්ලය පිළිබඳ අර්ජුන් ඇලෝෂියස්ගේ පියා අත් අඩංගුවට ගෙන. එයට අවුරුදු හතරක් ගත වුණත් මේ මොහොතේ නමුත් අලෝෂියස්ගේ පියා අත් අඩංගුවට ගැනීම හොඳයි. එහෙත් රනිල්ගේ ආණ්ඩුව තියෙන තාක් ප්‍රශ්නයට විසඳුමක් වරදකරුවන්ට දඬුවම් ලැබේවි ද?



මෙරට සිටින එංගලන්තයේ නියෝජිත බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතියේ රනිල් වික්‍රමසිංහ නම් ආසියා ශාන්තිකර කලාපයේ ලිබරල්වාදී පක්‍ෂවල එකමුතුවේ ප්‍රධානියා මෙරට අගමැති ව සිටින තාක් අපට ස්වෛරීභාවය ආරක්‍ෂා කර ගත හැකි ද? රට බෙදීමත් රනිල් සුමන්තිරන් ව්‍යාපෘතියේ එංගලන්තයේ අනුග්‍රහයෙන් කෙරෙන තවත් කාර්යයක් පමණයි. අප රනිල් ඉවත් කිරීමට මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතු බව කියන්නේ අවුරුදු හතරක පමණ කාලයක සිට. පසුගිය ඔක්තෝම්බර විසිහය එය ඉටු වුණා. එහෙත් පඬියන්ගේ ඊනියා සිවල් සමාජයේ පමණක් නොව මෛත්‍රිපාල වෛරයෙන් පෙළෙන මහා දාර්ශනිකයන්ගේ මහාචාර්යවරුන්ගේ අනුග්‍රහයෙන් රනිල් නැවතත් අගමැති වුණා. රනිල් අගමැති බවට නැවත පත් වීමේ දී සිදු වූ දේශපාලන ගණු දෙනු තවමත් හරියට එළිදරවු වී නැහැ. මේ අවස්ථාවේ මා එය සාකච්ඡා කරන්නේ නැත්තේ රනිල් එළවීමට එය බාධාවක් වන බැවින්. මහාචාර්යවරුන් නම් මෛත්‍රිපාලට ශක්තිය දීම යන්න අවඥාවෙන් බැහැර කළේ ඒ සඳහා මයිලෝ දිය යුතු යැයි කියමින්.



මනෝ තිත්තවැල්ල රටෙහි ස්වෛරීභාවයට එරෙහි ව ක්‍රියා කර ඇත්තේ රනිල්ගේ අනුග්‍රහයෙන් වෙන්න ඕන. අර්ජුන් මහේන්ද්‍රන් තනියම කළ හොරකමකුත් නැහැ. මේ සියල්ල මැද රනිල්ටත් රනිල්ගේ ආණ්ඩුව ආරක්‍ෂා කළවුන් සොයා ඔවුන්ටත් දඬුවම් දිය යුතුයි. දඬුවම් උසාවි මගින් මෙන් ම මැතිවරණ හරහා ජනතා අධිකරණයෙනුත් දිය යුතුයි.



මෛත්‍රිපාල ඔක්තෝම්බර් විසිහයවැනි දා රනිල් ඉවත් කර මහින්ද අගමැති කළ අවස්ථාවේ එයට විරුද්ධ වූවන් සහ මහින්ද අගමැති ලෙස තබා ගැනීමට ක්‍රියා නොකළ අය හඳුනාගත යුතුයි. අද වුවත් මෛත්‍රිපාල නැවතත් මහින්ද අගමැති කළහොත් කුමක් සිදු වේවි ද? මහින්දට විරුද්ධ ව පසුගිය ඔක්තෝම්බරයේ කටයුතු කළ අය අතර ජනතා විරෝධී පෙරමුණෙ පෙරමුණේ ම ඉන්නවා. අද ඔවුන් ජනතාව රැවටීමට රනිල් විවේචනය කළත් එදා රනිල් ආරක්‍ෂා කරනු ලැබුයේ ඔවුන් විසිනුයි. ඔවුන්ට ඒ පිළිබඳ නිසි දඬුවම් ජනතා අධිකරණයෙන් මැතිවරණවල දී ලබා දෙන බවට සැකයක් නැහැ. රනිල් ආරක්‍ෂා කළ අනෙක් අය වූයේ දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් පක්‍ෂ. එහි දී සුමන්තිරන් කැපී පෙනෙන චරිතය වුණා. ඔවුන්ට විරුද්ධව අපට කළ හැක්කේ උතුරු හා නැගෙනහිර පළාත්වල ඊනියා අඩුකුල ජනයාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්‍ෂ ගොඩ නැගීමයි.



එහෙත් රනිල්ට දඬුවම් කරන්නේ කෙසේ ද? රනිල් හැකි ඉක්මණින් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි. ඒ සඳහා අයවැය තුන්වැනි වර කියවීම යොදා ගත හැකි නම් සියලු වාද භේද සැක සංකා අමතක කර ඒ කළ යුතුයි. ඒ අතර නීති මාර්ගයෙන් දඬුවම් කිරීම ගැන දක්‍ෂ නීතිඥයන්ගේ උපදෙස් ලබා ගත යුතුයි. රනිල් මෙරට අගමැති වශයෙන් ඉන්න සෑම මොහොතක් ම රටේ ස්වෛරිභාවයට හා සිංහල බෞද්ධ සංස්කෘතියට තර්ජනයක්. ඒ තර්ජනය හමුවේ මහින්ද හා මෛත්‍රිපාල සමගිය තවදුරටත් තහවුරු කරන්න ඕන. එසේ නොකරන්නන්ට ද දඬුවම් කරන ක්‍රමයක් සොයා ගත යුතුයි.