Main Logo

Thursday 14 March 2019

ජෙනීවා යෝජනා පිටුපස


ජෙනීවා යෝජනා පිටුපස



අයවැය දෙවැනි වර කියවීම පරාද කරන බවටත් කාරක සභා අවස්ථාවේ දී ජනාධිපති ලේකම් වැය ශීර්ෂය පරාද කරන බවටත් වහසි බස් දෙඩූ අය තමයි අවසානයේ දී පරාද වුණෙ. මේ වහසි බස් දෙඩීම් මාධ්‍ය සංදර්ශන පමණයි. රනිල් පසු පෙළ යැයි කියන මන්ත්‍රීන් යොදවා මෛත්‍රිපාලට පහර දී තමන්ට අවශ්‍ය දේ ඉටු කර ගත්තා. ඡන්දයක් ගැනීමට කවුද පසු පෙළ යැයි කියන මන්ත්‍රීවරයකු යෝජනා කළ විට කිරිඇල්ලත් රනිලුත් ඒ වැළැක්වූවා. රනිල් ඒ වන විට තමන්ට අවශ්‍ය දේ කර ගෙන. රනිල් ශක්තිමත් නම් මෙළහකට මෛත්‍රිපාල ඉවත් කරලා. ඔහු දන්නවා මෛත්‍රිපාලට මුදල් වෙන් නොකළොත් අවසානයේ දී ගෙදර යන්නෙ ඔහු කියා.  මේ අයවැයක් ගැන මෙතරම් උනන්දුවක් දක්වන්න අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ දී සති ගණන් අයවැය විවාද පවත්වනවා. අපේ පාසල් අවධියේ මුදල් ඇමති ෆීලික්ස් ඩයස්. අප විවාදවලට කරුණු එකතු කිරීමට ඔහුගේ අයවැය කතා කියෙව්වා. ඔහු දක්‍ෂ කථිකයෙක්. ඛෙමාගේ කොලුවා වගේ නො වෙයි. දැන් අයවැයේ රුපියල් ට්‍රිලියන ගණන්වල කතා ඇසෙනවා. ඒත් මේ සතපහක් නොවටිනා දේ. රට අගාධයට යෑම පමණයි සිදුවන්නේ.




අයවැයට වඩා වැදගත් දේ තියෙනවා. ඒ ජෙනීවා මානව අයිතිවාසිකම් සැසිවාරය නො වෙයි. එහි අපට විරුද්ධව කෙරෙන යෝජනාවලට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ ඊශ්‍රායලය තමන්ට විරුද්ධ යෝජනාවලට ප්‍රතිචාර දක්වන අයුරින්. ඒ කියන්නේ ඒ යෝජනා අලුයම ළු කෙළ පිඬක් සේ සැලකීමෙන්. ඒත් ඒ සඳහා එඩිතර නායකයන් සිටිය යුතුයි. අප ඒ යෝජනා ප්‍රතික්‍ෂෙප කළ යුතුයි. ඒ යෝජනාවලට තරයේ විරුද්ධ විය යුතුයි. එහෙත් අපට ඒ සඳහා නිර්භීත එඩිතර නායකයන් සිටියේ නැහැ. දැනුත් නැහැ. හිටිය නම් නන්දිකඩාල් ජයග්‍රහණය ඉන්දියාවට පාවා දෙන්නේ නැහැ.



ජෙනීවා යෝජනා මෙවර ගේන්නෙ එංගලන්තෙ මූලිකත්වයෙන්. මෙතෙක් කල් ගෙනා යෝජනා පිටුපස හිටියෙත් එංගලන්තෙ. ඔවුන් දේශපාලන වශයෙන් බෞතීස්ම කළ දෙමළ ජාතිවාදය පවත්වාගෙන යෑම තමයි ඔවුන්ගෙ අරමුණ. අවුරුදු තිහක් පමණ මේ කාරණය කිව්වත් ජනමාධ්‍යවත් දේශපාලනඥයන්වත් ඒ ගණන් ගන්නේ නැහැ. ඔවුන්ට වියුක්තය වටහා ගන්න බැහැ. ඒ සිංහලයන්ගෙ පොදු ලක්‍ෂණයක්. සිංහල බෞද්ධ උගතුන් අනිත්‍ය ගැන හිතන්නෙත් සංකල්පයක් හැටියට. අනත්තලක්ඛණ සූත්‍රය කියවන්නේ නැතිව ඔවුන් අනිත්‍ය ගැන ඉංගිරිසියෙන් කතා කරනවා. මෙරට ජනමාධ්‍යවේදීන් අනෙක් අයගෙන් කරුණු අහගෙන තමන් සියල්ල දත් පුද්ගලයන් ලෙස පෙනී සිටිනවා. 



එංගලන්තයට අවශ්‍ය රණ විරුවන්ට දඬුවම් කිරීමයි. ඊනියා ජාත්‍යන්තර අධිකරණ, දෙමුහුන් අධිකරණ ආදී සියල්ල ඒ සඳහායි. 2015 යෝජනාවේත් මෙවර තවත් රටවල් පහක් සමග ගෙනෙන යෝජනාවේත් හරය එයයි. ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කී  කිරිඇල්ලට ඕවා තේරෙන්නේ නැහැ. මෙරට යුද්ධයක් නොතිබූ බවත් තිබුණේ රාජ්‍යයට විරූද්ධ ව අවිගත් ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කිරීමක් පමණක් බවත් දේශපාලනඥයන්ටවත් සියල්ල දත් ජනමාධ්‍යවේදීන්ටවත් තේරෙන්නේ නැහැ. එහෙත් ඔවුන් ජ වි පෙරමුණට විරුද්ධ ව යුද්ධ තිබූ බවක් කියන්නේ නැහැ.



ජෙනීවා නියෝජිත පිරිස් එකක් බවට පත් කර ගෙන තියෙනවා. ජනාධිපතිගේ නියෝජිත පිරිසක් නිකම් ජෙනීවා ගොස් එනවාට වඩා එය හොඳයි. එහෙත් ඔවුන්ට 2015 යෝජනාව ප්‍රතික්‍ෂෙප කිරීමට තරම් ශක්තියක් නැහැ. නියෝජිත පිරිසෙන් මහින්ද සමරසිංහ අස් වී ඇති බවයි පෙනෙන්නේ. ඔහුගේ කිල්ලෝටයේත් හුණු තියෙන්න පුළුවන්. පේරාදෙණියේ මගේ රසායන විද්‍යා නිබන්ධක පංති මෙහෙය වූ තිලක් මාරපන මහතා නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරනවා. ඔවුන්ට 2015 යෝජනාව 30/1 යම් පමණකටවත් වෙනස් කරන්න පුළුවන් නම් හොඳයි. එය පමණක් නොව මෙවර එංගලන්ත යෝජනාවටත් ලංකාව සම අනුග්‍රහකත්වය දක්වන බව ආරංචියි. රනිල් එසේ නොකළා නම් තමයි පුදුම වෙන්න ඕන.  ඒ සම අනුග්‍රහකත්ව අස් කර ගත යුතුයි.       



අපට වැදගත් වන එක් කරුණක් නම් 2015 යෝජනාවල ඛෙමාගේ කොලුවාගේ දායකත්වය සොයාගැනීමයි. 2015 සම්මත වූ යෝජනාවට ලංකාව සම අනුග්‍රහය දැක් වූවා. ඒ සම අනුග්‍රහය දක්වා ඇත්තේ ඛෙමාගේ කොලුවාගේ තනි කැමැත්තට ද? එයට එස්මන්ඩ්ගේ කොලුවාගේ සහභාගීත්වයක් නො තිබිණි ද? මේ කොලු කතා පැත්තකින් තබා අපි ඔවුන් සාමාන්‍යයෙන් දන්නා නම්වලින් හඳුන්වමු. මංගලට එකී යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට රනිල් අනුමැතිය දුන්නේ ද?



මංගලට අමාත්‍ය මණ්ඩලයේ  අනුමැතියක් ලැබී නැති බවට කියන කතා විශ්වාස කරන්න පුළුවන්. එසේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් ලැබිණි නම් මෙලහකට කිරිඇල්ල වලිගය පාගා ගෙන. රනිල් පාර්ලිමේන්තුවේ නැගිටලා කියාවි වලිගය පාග ගන්න තම සභානායකට වලිගයක් නැහැ කියලා. එහෙත් ඔහු කතා කරන විට එස් බී මතක් වෙනවා. මේ අපේ ඇමතිවරු. එවිට අර පසු පෙළ මන්ත්‍රීන් ගැන කවර කතා ද?



මෙවර යෝජනාවට ජෙනීවාහි ලංකා නියෝජිතයා දැනටමත් අත්සන් කර අවසාන ද? ඒ එසේ නම් ඒ සිදු වූයේ කෙසේ ද? මෙවරත් අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවක් නැතිව එය සිදු වී ද?  ජෙනීවාහි ලංකා නියෝජිතයාට ඒ සම්බන්ධ උපදෙස් දුන්නේ විදේශ ඇමති ද? නැත්නම් ලේකම් රවිනාථ ආර්යසිංහ ද? ඒ දෙදෙනා ම මෙවර නියෝජිත මණ්ඩලයේ ඉන්නවා. යම්කිසි අයුරකින් මෙවර යෝජනාවටත් ලංකාවේ සම අනුග්‍රහය ලැබී ඇත්නම් ඔවුන් දෙදෙනාත් අමුණුගමත් රාඝවානුත් එයට විරුද්ධ වෙනවා ද? මේ යෝජනාවට සම අනුග්‍රහ දක්වන ලෙස ජෙනීවාහි අප නියෝජිතයාට දැන් වුයේ මුදල් අමාත්‍යංශයේ සිට යැවූ විද්‍යුත් ලිපියකින් ද? ඒ ලිපිය පිටුපස මංගලත් රනිලුත් ඉන්නවා ද?



මේ ප්‍රශ්නවලට රනිල් පාර්ලිමේන්තුවේ නැගිට නැහැ කීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ පිළිබඳ යම් පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි. ඒ සඳහා ඊනියා අපක්‍ෂපාත ස්වාධීන කමිටුවක් පත් කරන්න කියා මා ඉල්ලන්නේ නැහැ. එවැනි කමිටු ලෝකයේ නැහැ. අර ඊනියා ස්වාධීන ව්‍යවස්ථා සභාවට සම්බන්ධන් හා රනිල් යෝජනා කළ වැදගත් මහතුන් වූ ජයන්ත ධනපාල වැන්නන් තවමත් අස් වී නැහැ. දැන් විපක්‍ෂ නායක සම්බන්ධන් නො වෙයි. ඒ කුමක් වුවත් ජෙනීවා නියෝජිතයාට විද්‍යුත් ලිපියක් යවා ඇත්නම් එසේ කෙළේ කාගේ උපදෙස් මත කවුරුන් බලා සිටය දී කවුරුන් විසින් ද? ඒ පිළිබඳ ඵලකයක් විදේශ අමාත්‍යංශයේ සවි කරන්න ඕන.