Main Logo

Wednesday 20 March 2019

රනිල් කාගේ අගමැති ද?


රනිල් කාගේ අගමැති ද?



තවත් ජිනීවා වාරයක් ගෙවී ගෙන යනවා. මේ ඉලව් ජාත්‍යන්තරයට අප කියන්න ඕනෙ අපේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න ඔවුන්ට අයිතියක් නැත යන්නත් මෙරට යුද්ධයක් සිදු වී  නැත යන්නත් පමණයි. නේස්බි වාර්තා ගැන අප සඳහන් කරල අවුරුදු පහළොවක් පමණ වෙනවා. එකල ඒ ගැන උනන්දුවක් තිබුණෙ නැහැ. ඩෙස්මන්ඩ් ද සිල්වා වාර්තා ආදිය අප නිසියාකාරව ඉදිරිපත් කෙළේ නැහැ.




එහෙත් ඒ සියල්ල හරියට කෙරුණත් ජෙනීවාහි එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කොමිසමේ සෑසිවාරවල දී මෙයට වඩා දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ.  එක්සත් ජාතීන්ගෙ සංවිධානය කියන්නෙ අපක්‍ෂපාත යුක්තිය ඉටුකරන සංවිධානයක් නො වෙයි. එය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතියේ ඊනියා ජාත්‍යන්තර සංස්ථාපනයේ තවත් අවයවයක් පමණයි. මේ සංස්ථාපනය අප වැනි රටවල් පාලනය කිරීමට ඇති එකක්. නූතන යටත්විජිතවාදය ක්‍රියාත්මක වන්නේ මේ සංස්ථාපනය මගින්.



අප මොන තරම් හොඳින් කරුණු ඉදිරිපත් කළත් බටහිරයන් තවත් රටවල් සමග එකතු වී අප පරාජය කරනවා.  එහෙත් අප ඔවුන්ට මෙල්ල නොවී සිටිනවා නම් ඔවුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. වැඩිම වුවහොත් කළ හැක්කේ ආර්ථික සම්බාධක පැනවීම පමණයි. එවැනි දේට අප සූදානම් ව සිටිය යුතුයි. එහෙත් වත්මන් පාලකයන් එය කරන්නේ නැහැ.



මා කලින් දිනක කියා ඇති පරිදි අපේ දේශපාලනඥයන් පුංචි මිනිසුන්. ඔවුන්ට ඊනියා ජාත්‍යන්තරය සමග ගැටෙන්න ශක්තියක් නැහැ. අප පුංචි රටක් වන්නේ ප්‍රධාන වශයෙන් ම දේශපාලනඥයන්ගේ පුංචිකම නිසයි. එහෙත් තවත් කාරණයක් ද තියෙනවා. ඒ නොකියා ම බැහැ. ඒ අපේ උගතුන්ගේ අනුකාරක දීන මනස. මෙහි දී උගත් යනුවෙන් කියැවෙන්නේ බටහිර අධ්‍යාපනය සිංහල හෝ ඉංගිරිසි හෝ මාධ්‍යයකින් ලබා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් අය. සාමාන්‍ය පෙළ සමත් වීම අනිවාර්ය නැහැ.



අප වැඩි දෙනකු සිංගප්පූරුව හරි වෙනත් රටක් හරි වගේ වෙන්න දඟලනවා. අප හිතන්නේ බටහිර දැනුම තමයි එක ම දැනුම කියා. අඩු තරමින් එය ඊනියා විද්‍යාත්මක දැනුම කියා හිතනවා. අප දන්නේ බටහිර දියුණුව පමණයි. බටහිර අධ්‍යාපනය විසින් අප කෘෂිකර්මයෙන් ඈත් කෙරී. අප හිතනවා ආර්ථික සම්බාධක ඇති කළොත් අපට ප්‍රශ්න ඇති වේවි කියා. පහුගිය වතාවෙ රාජපක්‍ෂ ආණ්ඩුවට විරුද්ධ ව යුරෝපා සංගමය යම් යම් සම්බාධක පැනෙව්වා. එහෙත් අප ජීවත් වුණා. 



අපට විරුද්ධ මූලික රට එංගලන්තයයි. ඔවුන්ට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්න බැරි වුණා. ඔවුන් ඒ උත්සාහය අත්හැර නැහැ. එංගලන්තය තමයි 1833 දී මෙරට දෙමළ ජාතිවාදය දේශපාලන වශයෙන් බෞතීස්ම කෙළේ. ඊනියා දෙමළ ඩයස්පෝරාව හෙවත් විසුරුණු දෙමළ කතා කරන ජනයා මෙහෙයවනු ලබන්නේ එංගලන්තය විසින්. එහෙත් ඔවුන් පෙන්නන්නේ එංගලන්තයේ ඉන්න දෙමළ කතා කරන ජනයාගේ බලපෑම නිසා ඔවුන්ට ඊනියා මානව අයිතිවාසිකම් පිළිබඳ යම් යම් පියවර ගැනීමට සිදු වත ඇති බවයි. මෙරට උගතුන් ද කිසිම වගවිභාගයක් නැතිව එංගලන්තය කියන කතා පිළිගන්නවා.



එක්සත් ජනපද ද යුරෝපා සංගමය ද අපට විරුද්ධ ව මෙහෙයවනු ලැබුයේ එංගලන්තය විසින්. 2015 අපට විරුද්ධව ගෙනා 30/1 යෝජනාව එක්සත් ජනපද විසින් ගෙනෙනු ලැබුවත් ඒ පිටුපස සිටියේ එංගලන්තයයි. අද එක්සත් ජනපද ඊනියා මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වෙලා. ඒ ට්‍රම්ප්ගේ ජාතිකවාදී ප්‍රතිපත්ති නිසා. මෙරට ආණ්ඩු ට්‍රම්ප් සමග සම්බන්ධකම් ගොඩ නගා ගත්තේ නැහැ. එක්සත් ජනපද කොමිසමෙන් ඉවත් වුණත් එංගලන්තය තම දුෂ්ට ප්‍රතිපත්ති අත්හැර නැහැ.



යාපනයේ කුල ප්‍රශ්නය දැඩි ව තියෙනවා. එහෙත් දෙමළ කතාකරන ජනයාගේ ජාතිවාදය කුලවාදය නිසා ඇති වූවක් නො වෙයි. අද ඇතැම් ජනමාධ්‍යවේදීන් මෛත්‍රිපාලගේ ප්‍රකාශයක් අල්ලා ගෙන උතුරේ ජාතිවාදය කුලවාදයකට ඌනනය කරන්න හදනවා. මෙයට පෙරත් මෙල්බර්න් නුවර සිටින ඉංගිරිසියෙන් ලියන එක්තරා ජනමාධ්‍යවේදියකුත් දෙමළ ජාතිවාදය කුලවාදයට ඌනනය කරන්න සූදානම් වුණා. දෙමළ ජාතිවාදයේ ඉතිහාසය ගැන අප කොතෙකුත් ලියා ඇති. ජනමාධ්‍ය ඒ අදහස්වලට ප්‍රසිද්ධියක් දෙන්නේ නැහැ. 



2015 යෝජනාවට ලංකාව සම අනුග්‍රහය දැක්වූවා. හෙට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවටත් සම අනුග්‍රහය දක්වනවා. මේ සම අනුග්‍රහවලට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී නැහැ. ජනාධිපති මේ ගැන දන්නේ නැති බව පිළිගන්න පුළුවන්. අඩුම තරමෙන් ඒ බව අමුණුගම, රාඝවන් අදීන් ප්‍රකාශ කරන්න ඕන. එහෙම නැත්නම් ජනාධිපති ඒ බව ප්‍රසිද්ධියේ විදේශ මාධ්‍යවලට කියන්න ඕන. එයින් රටට වන හානියක් නැහැ. මෙරට ආණ්ඩු දෙකක් ඇති බව දැන් කවුරුත් දන්නවා. මා ඒ බව කියන්නේ පසුගිය සතියේ එක්තරා සතිඅග පුවත්පතක් ඒ පිළිබඳ ලිපියක් පළ කිරීමට බොහෝ කලකට පෙර සිට. එහෙත් එහි සංස්කාරකවරයා අප අදහස්වලට ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ නැහැ.



මෙරට විදේශ ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ජනාධිපතිවත් අමාත්‍ය මණ්ඩලයවත් විදේශ ඇමතිවත් නොව අගමැතියි. මුදල් ඇමති කියන්නේ අගමැතිගේ බළල් අතක් පමණයි. විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව මනෝ තිත්තවැල්ලගේ නමත් කියැවෙනවා. සම අනුග්‍රහ යෝජනාවක් හෙටත් ඉදිරිපත් වෙනවා. එයට උපදෙස් යවා ඇත්තේ මුදල් අමාත්‍යංශයෙන් විද්‍යුත් තැපෑලෙන් බව අද ප්‍රසිද්ධ රහසක්. රනිල් ජනාධිපතිට පාර්ලිමේන්තුවට නොදන්වා එකල ද කටයුතු කළා. 2002 ආණ්ඩුව තියෙන සමයේ රනිල් චන්ද්‍රිකාටවත් පාර්ලිමේන්තුවටවත් දන්වන්නෙ නැතිව ප්‍රභාකරන් සමග ගිවිසුමක් අත්සන් කළා. අද ඔහු කිසිවකුට නොදන්වා ඊනියා මානව අයිතිවාසිකම් යෝජනාවලට සම අනුග්‍රහය දක්වනවා. ඔහු ලංකාවේ අගමැති ද? ඊනියා ඊළමක අගමැති ද? සුමන්තිරන් මනෝ තිත්තවැල්ල මංගල ආදීන් මේ ඊනියා ඊළමේ ඇමතිවරුන් ද?