Main Logo

Tuesday 26 March 2019

ජෙනීවා ගැන තවදුරටත්


ජෙනීවා ගැන තවදුරටත්



පසුගිය දිනවල ජෙනීවා විගඩම හෙවත් එක්සත් ජාතීන්ගේ ඊනියා මානව හිමිකම් සැසිවාරයේ හතළිස් වැනි සමුළුවේ දී මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට කිසිම සම්බන්ධකමක් නැති මනෝ තිත්වෙලගේ උපදෙස් මත ජෙනීවාහි ලංකා නියෝජිත අසීස් සම අනුග්‍රහ දැක්වු යෝජනාවෙන් කියැවෙන්නේ 2015 දීි මංගල සමරවීර හෙවත් ඛෙමාගේ කොලුවා (ඔහු මාතෘ මූලිකව තම අනන්‍යතාව ගැන කීම පිළිබඳ ව නම් ඔහුට මගේ ගෞරවය හිමි වෙනවා.  එහෙත් ඔහු මහානාමගේ කොලුවා කිව්වා නම් පියා සමග සමානත්වයක් කියන්න තිබුණා. මහානාමත් ශ්‍රී ල නි පක්‍ෂයෙන් එ ජා පක්‍ෂයට ගියේ මංගල ගිය පරිදිමයි. මහානාම දේශපාලන ජීවිතය පටන් ගත්තේ කොමියුනිස්ට් පක්‍ෂයෙන්. ඔහු එ ජා පක්‍ෂයට ගමන් ඇරඹුවේ සී පී ද සිල්වා සමග ලේක්හවුස් ජනසතුවට විරුද්ධව. ඛෙමා පද්මාවතී කලක් රනිල්ගේ තාත්තා එස්මන්ඩ් ලේක්හවුසිය පාලනය කරන කාලයේ එහි වැඩ කළා.) සම අනුග්‍රහය දැක්වූ යෝජනාවෙන් කී කරුණු ඉටු කිරීමට ලංකාණ්ඩුවට තව අවුරුදු දෙකක් දීමටයි.




මේ යෝජනා ඊනියා දෙමුහුන් අධිකරණ හා ජාත්‍යන්තර විනිසුරුවන් හා සම්බන්ධයි. මා යෝජනා කරනවා පොහොට්ටුවටත් ශ්‍රී ල නි පක්‍ෂයටත් ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයටත් ඒකාබද්ධ ප්‍රකාශයක් කරන්න කියා තමන් බලයට පැමිණි විට 2015 යෝජනාවත් 2019 යෝජනාවත් අනුව ක්‍රියා නොකරන බවට. උතුරු පළාතේ ආණ්ඩුකාර සුරේන් රාඝවාන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තියෙනවා 2019 යෝජනාවට අසීස් සම අනුග්‍රහය දක්වා තිබෙන්නේ ජනාධිපතිගේ අනුමැතියකින් තොරව බවට.



අද රටේ ආණ්ඩු දෙකක් තිබෙන බව කවුරුත් දන්නවා. මෛත්‍රිපාලගෙ ආණ්ඩුව එකක්. ඒකෙ වෙන ඇමතිවරු නැහැ. ආණ්ඩුකාරවරු නම් ඉන්නවා. ඒත් ආණ්ඩුකාරවරු අමාත්‍ය මණ්ඩලයේ නැහැ. මෛත්‍රිපාලගෙ ආණ්ඩුව 2019 යෝජනාව අනුමත කරලා නැහැ. ඒ කියන්නෙ ශ්‍රී ල නි පක්‍ෂයත් ඒ යෝජනාව අනුමත කරන්නෙ නැහැ කියන එකයි. පොහොට්ටුවත් අනුමත කරන්නෙ නැහැ. අසීස්ට මනෝ තිත්තවෙල උපදෙස් දෙන්න ඇත්තෙ ඛෙමාගෙ කොලුවගෙයි එස්මන්ඩ්ගෙ කොලුවගෙයි අනුමැතිය නැතිව කියල හිතන්න බැහැ. එහෙම අනුමැතිය නැතිව උපදෙස් දුන්න නම් මනෝ තිත්තවෙලට දඬුවම් කරන්න ඕන. ඒ සියල්ලන් ම ජනාධිපතිගෙ අනුමැතිය නැතිව අමාත්‍ය මණ්ඩලයටත් දන්වන්නෙ නැතිව ඒ සම අනුග්‍රහය දැක්වුවා නම් කොලුවන් දෙන්නට දෙන දඬුවම මොකක් ද?



දෙන්න පුළුවන් එක දඬුවමක් පසුගිය ඔක්තෝම්බර් විසිහය දුන්න. එහෙත් නිසි උපදෙස් නැති නිසා (දුන් උපදෙස් නොපිළි ගත් නිසා) රනිල්ලා මංගලලා කිරිඇල්ලලා නැවත බලයට පත් වුණා. දැන් දෙන්න පුළුවන් හොඳ ම දඬුවම තමයි දයාසිරිලා බැසිල්ලා දිනේෂ්ලා විමල්ල ගම්මන්පිළලා ආදී සියල්ලන් එකතු වෙලා 2015 යෝජනාව අවුරුදු දෙකකින් නොවෙයි විස්සකින්වත් ක්‍රියාත්මක නොකරන බව කීම. මහින්දටත් මෛත්‍රිපාලටත් ගෝඨාභයටත්  ඒ කියමනට ආශිර්වාද කරන්න පුළුවන්. 



මේ අතර අද දි අයිලන්ඩ් පුවත්පතේ ජෙහාන් පෙරේරා කියා තියෙනවා ඊනියා දෙමුහුන් අධිකරණ ජාත්‍යන්තර විනිසුරුවන් අවශ්‍ය බව. ඔහු ඉදිරිපත් කරන්නේ කිසිම වැදගැම්මකට නැති වැරදි තර්කයක්. ඔහු කියන්නේ ඊනියා යුද්ධාපරාධ කර තිබෙන්නේ රාජ්‍යයේ නියෝජිතයන් නිසා ඒ අපරාධ ගැන විභාග කිරීමට මෙරට අධිකරණයට බැරි බව. ජෙහාන් පෙරේරා ඊනියා ජාතික සාම මණ්ඩලයේ සභාපති. මේ සාම කාරයො අවසාන වශයෙන් පෙනී සිටියෙ හමුදා මෙහෙයුම් නතර කර ඊනියා සාකච්ඡා මගින් කොටි සංවිධානයට රට බෙදීමට උපකාර කිරීමට. ඔහු එකහෙළා කියයි ඔහුට රට බෙදීමේ අවශ්‍යතාවක් නැහැ කියලා. සුමන්තිරන් කියන්නෙත් එයයි. සමහරවිට ශිවාජිලිංගම් පවා එසේ කියන්න පුළුවන්. එහෙත් මතක තියා ගන්න මේ ඊනියා සංහිඳියාවත් අවසන් වන්නේ රට බෙදීිමකින් බව. ජෙහාන් පෙරේරා අපට පළමුව කියන්න ඕන දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා පමණක් ඇති අසාධාරණය, ප්‍රශ්නය කුමක් ද කියා. එමෙන් ම ඔහු අපට කියන්න ඕනෙ ප්‍රශ්නයෙ ආරම්භය කුමක් ද කියා. ජෙහාන් පෙරේරා ක්‍රිස්තියානි සංවිධානයකත් බලවත් පුද්ගලයෙක්. බලවත් ක්‍රිස්තියානින් මේ තරම් දෙමළ ජාතිවාදය වෙනුවෙන් කටයුතු කරන්නේ ඇයි ද කියන එක ක්‍රිස්තියානි එංගලන්තය සමග බැඳී තිබෙනවා.



ජෙහාන් පෙරේරා  අන්තිම සටකපට විධියට රාජ්‍යය දෙමළ කතාකරන ජනතාවට විරුද්ධව වැඩ කර ඇති බව කියන්න හදනවා. මෙරට යුද්ධයක් නොතිබූ බව ජෙහාන් පෙරේරා දැනගත යුතුයි. ජ වි පෙරමුණට විරුද්ධ යුද්ධයක් තිබුණ ද? රාජ්‍යයට විරුද්ධව අවිගත් ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීම පොලීසියේ හා හමුදාවේ වගකීම. රාජ්‍යයේ නියෝජිතයන් කළ යුද්ධ අපරාධයක් නැහැ. ඇතැම් හමුදා භටයකු අතින් පෞද්ගලික ව වරදක් වී ඇත්නම් ඒ සඳහා කටයුතු කිරීමට මෙරට අධිකරණයත් හමුදා නීතියත් තියෙනවා. ජෙහාන් පෙරේරා ගොඩ පෙරකදෝරුකම් කරන්න ඕන නැහැ. එසේ පෞද්ගලික වරදක් වී ඇත්නම් එය රාජ්‍යයේ වැඩක් වෙන්නෙ කොහොම ද? ත්‍රිත්ව විද්‍යාලයේ සිදු වූ ඇතැම් දෙමළ ත්‍රස්තවාදී හිතවාදී වැඩ ගැන වරද කරු කවුද කියා ජෙහාන් පෙරෝරා කියනවා ද?



අනෙක් පැත්තෙන් ජෙහාන් පෙරේරා මෙරට අධිකරණය අවිශ්වාස කරනවා. අපි හිතමු රාජ්‍යයේ  වරදක් නිසා ඊනියා යුද්ධාපරාධ වෙලා තියෙනවා කියා. ජෙහාන් පෙරේරා කියන්නේ එවිට මෙරට අධිකරණයට ඒ ගැන කටයුතු කරන්න බැහැ කියා. ඔහු කියන්නේ අධිකරණය හමුදාවේ කොටසක් කියා ද? එහෙමත් නැත්නම් අධිකරණය රාජ්‍යයේ කොටසක් කියා ද? ජනතාවගේ පරමාධිපත්‍යයේ අධිකරණ කටයුතු ක්‍රියාත්මක  කෙරෙන්නේත් පාර්ලිමේන්තුවෙන් බව සැබෑව. එහෙත් ජෙහාන් පෙරේරා කියන්නේ ඊට වැඩි දෙයක්. ඔහු අධිකරණයට අපහාස කරනවාවත් ද? අධිකරණය සමන්විත වෙන්නෙ පාර්ලිමේන්තුව පිහිටුවපු ආයතනවලින්.



අනෙක් අතට එංගලන්තයට මේ සම්බන්ධයෙන් යෝජනා ගෙන ඒමට ඇති අයිතිය කුමක් ද? ජෙහාන් පෙරේරා නොදන්නවා ට ප්‍රශ්නයේ මුල ම ඇත්තේ ක්‍රිස්තියානි එංගලන්තයයි. ජෙහාන් පෙරේරා කියන අන්දමට නම් ප්‍රශ්නය බෞතීස්ම කළ එංගලන්තය ප්‍රශ්නයෙන් ඈත් විය යුතුයි, අවශ්‍ය නම් තව මාස දෙකකින් මේ සියලු කරුණු ගැන ජෙහාන් පෙරේරාට මා සමග විවාදයකට එළඹෙන්න පුළුවන්. මා දැන් ජනමාධ්‍යයෙන් කොන් කෙරී ඇති බැවින් මා ඔහුට පුවත්පතකට පිළිතුරු ලියන්නේ නැහැ.