Main Logo

Sunday 24 March 2019

සුමන්තිරන්ගෙ බලාපොරොත්තුව


සුමන්තිරන්ගෙ බලාපොරොත්තුව



ලංකාව සම්බන්ධයෙන් ගත් කල තවත් ජෙනීවා වාරයක් අවසන්. මා හිතන්නේ ලංකාවෙන් එහි ගිය නිල, නිල නොවන කණ්ඩායම් දැන් ජෙනීවා නගරයෙන් පිට වී ගොස් කියා. ඔවුන් ලංකාවෙන් පමණක් නොව වෙනත් රටවලිනුත් එහි ගොස් සිටියා. ශිවාජිලිංගම් හා සුමන්තිරන් ආපහු ආව ද කියා දන්නේ නැහැ. ඔවුන් නැත්නම් ජෙනීවා කුමකට ද කියලත් හිතනවා.




ශිවාජිලිංගම් හා සුමන්තිරන් කතා කෙළේ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ ප්‍රධාන හතළිස්වැනි සැසිවාරයට නො වෙයි. ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. ශිවාජිලිංගම් උතුරු පළාතේ  හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්. සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණක් නො වෙයි රනිල් සුමන්තිරන් ආණ්ඩුවේ සාමාජිකයෙක්. ඔහු අර දින පනහේ ආණ්ඩුව කාලෙ  අමාත්‍ය මණ්ඩල ඇමති කිරිඇල්ලට පාර්ලිමේන්තුවේ දි කතා කළ ආකාරය අනුව ඔහු අගමැති ද කියලත් හිතුණ.  කිරිඇල්ල, කිරිඇල්ල නොවේ නම් මෙලහට අස් වෙලා තමන්ට කළ නිග්‍රහයට.



ශිවාජිලිංගම් දිවුරල ඇති රට බෙදන්නෙ නැහැ කියල. ඒත් කාට හරි තර්ක කරන්න පුළුවන් ශිවාජිලිංගම් ජෙනීවාහි රට බෙදන්න කතා කෙළේ නැහැ කියල. ඔහු කියල තියෙන්නෙ රට දෙකට බැරි නම් හතරට කඩනව කියල මිසක් රට බෙදනවා කියල නො වෙයි. දැන් බෙදනව කියන්නෙ මොකක් ද කඩනව කියන්නෙ මොකක් ද කියල නිර්වචන කරන්න වෙයි. ඒවා අර්ථ නිරූපණ ද? ප්‍රභාකරන්ට රට බෙදන්න හරි කඩන්න හරි බැරි වුණා. ප්‍රභාකරන්ගෙ මස්සිනාට ඒක කරන්න පුළුවන් ද?



සුමන්තිරන් කියන්නෙ රනිල් සුමන්තිරන් ආණ්ඩුවෙ ඇමතිවරයකුට අමතර ව නීතිඥයෙක්. ඔහුට ශිවාජිලිංගම්ට වඩා නීතිය ගැන දැනුමක් ඇති. ඔහු කියල තියෙන්නෙ ආණ්ඩුව ඊනියා දෙමුහුන් අධිකරණ පිහිටුවන්නෙ නැත්නම් ඔවුන් ජාත්‍යන්තර අධිකරණ පිහිටුවනවා කියල. ඒ බටහිරයන්ගෙ ආධාරයෙන්. රනිල් සුමන්තිරන් ආණ්ඩුව 2015 දි ඊනියා දෙමුහුන් අධිකරණ පිහිටුවන්න එකඟ වුණා. මංගල ස්වෛරි ලංකාවෙ අවමංගලය එලෙස ප්‍රකාශ කළා. ඒ රනිල්ගෙ අනුමැතියෙන්. එහෙම නැත්නම් මංගල තමන්ගෙ පමණක් ඕනෑකමට එසේ කරන්නේ නැහැ. ඒ දවස්වල මනෝ තිත්තවෙල හිටියෙ කොහෙද?



ඒත් රනිල් පහුගිය දා පාර්ලිමේන්තුවෙ දි ප්‍රකාශ කෙළේ ආණ්ඩුව එවැනි පොරොන්දුවක් දීල නැහැ කියල. මා කියන්නෙ නැහැ රනිල් බොරු කියනව කියලා. ඔහු ඇත්ත කියන්නෙ නැහැ. කිරිඇල්ලගෙන් අහල බලන්න. අද තිලක් මාරපන මහත්මයාට ජෙනීවා හි කියන්න සිද්ධ වෙලා ආණ්ඩුව ඊනියා දෙමුහුන් අධිකරණ පිහිටුවන්නෙ නැහැ කියලා. ඒකට හේතුව හැටියට ඒ මහතා කියන්නෙ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැනි දෙමුහුන් අධිකරණ පිහිටුවන්න බැහැ කියල. ඒකත් හේතුවක් තමයි. ඒත් ඇත්ත හේතුව රනිල් සුමන්තිරන් ආණ්ඩුව ඊනියා දෙමුහුන් අධිකරණ පිහිටුවන්න එකඟ වුවත්, රනිල්ගෙ වචනවලින් ම බන්දේසියක තබා දෙන්න හැදුවත්, මෛත්‍රිපාල ආණ්ඩුව එයට විරුද්ධ වීම. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියෙ ශක්තිය.



ඊනියා දෙමුහුන් අධිකරණ පිහිටුවන්න ව්‍යවස්ථාව අනුව බැරි බව රනිල් හා සුමන්තිරන් දැන සිටියෙ නැහැ කියල හිතන්න බැහැ. තිලක් මාරපන මහතා ඒ දවස්වලත් එ ජා පක්‍ෂයේ. ඒ විතරක් නො වෙයි ජනාධිපති නීතිඥයෙක්. ඔහු සහ තවත් අය දෙමුහුන් අධිකරණ පිහිටුවන්න බැරි බව කිව්වෙ නැද්ද? නොකියා හිටිය කියල හිතන්න අමාරුයි.



එහෙත් අප අමතක කරන කරුණ නම් එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුව, ඒ කාලෙ, ඊනියා යහපාලන ආණ්ඩුව පිහිටුවා ගත්තෙ දෙමළ ජාතිවාදය වෙනුවෙන් ඊළමක් පිහිටුවීමටත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ මහින්දගෝඨාභයහා සෙසු රණවිරුවන්ට දඬුවම් පැමිණවීමටත් කියන එක. හොරකම් දූෂණය නැති කිරීම ආදිය ඒ කරුණු වහා ගැනීමට කරන ලද බොරු කතා පමණයි. ඊනියා යහපාලනය ඇතිවෙලා මාස කිහිපයකින් මහා බැංකු හොරකම සිද්ධ වුණා. කිරිඇල්ල කියනව ඒ පිළිබඳ පත් කරපු ජනාධිපති කොමිසම් වාර්තාවෙ රනිල් ගැන කිසිම චෝදනාවක් නැහැ කියලා. ඒක ඇත්ත. ඒත් ජනාධිපති කොමිසමේ නීතිපති ක්‍රියා කළ ආකාරය කවුරුත් දැක්ක. ප්‍රශ්න පත්‍රය කලින් දීල පිළිතුරු ලියව ගත්ත ම බොහෝ දෙනකුට පරික්‍ෂණවලින් සමත් වෙන්න පුළුවන්. අද වන තුරුත් ඒ සම්බන්ධ ඩිව් ගුණසේකර කෝප් වාර්තාව ප්‍රසිද්ධ කරල නැහැ. ඒක රටේ ආරක්‍ෂාව පිළිබඳ තොරතුරක් ද?



රනිල්ල බලාපොරෙත්තු වුණෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම මගින් රට බෙදන්නත් ඊනියා දෙමුහුන් අධිකරණ පිහිටුවන්නත්. එහෙම කළා නම් ඔය කිව්වට මහින්දත් ගෝඨාභයත් රණවිරුවනුත් විදුලි පුටුවට යන එක වළක්වන්න බැහැ. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ  රනිල් හා සුමන්තිරන් පමණක් නොව පඬියන් ද හිතනවාට වඩා සිංහල බෞද්ධ සංස්කෘතිය බලවත්. ඒ තමයි මහාවංස ව්‍යාපෘතියෙ ශක්තිය. අද රාජ් සෝමදේවලා හා පඬියන් පහර දෙන්නෙ මේ මහානාම හාමුදුරුවන්ගෙ ව්‍යාපෘතියට. අප මහානාම හාමුදුරුවන්ගෙ ව්‍යාපෘතිය තවත් ශක්තිමත් කරල ඉදිරියට ගෙන යනවා.



රනිල්ටත් සුමන්තිරන්ටත් බැරි වුණා ව්‍යවස්ථාව වෙනස් කරන්න. ඇතැම් ජාතිකවාදීන් අපට සිරිජාතිකවාදීන් කියා ජාතික ව්‍යාපාරයෙන් එළවා දමන්න හැදුවත් ව්‍යවස්ථාව වෙනස් කරගන්න බැරි වුණෙ ඔක්තෝම්බර විසිහය නිසා. සුමන්තිරන් තරම් ඔක්තෝම්බර් විසිහයෙන් පරළ වුණු අයකු නැහැ. ඔහු අදත් වියරුවෙන් ඉන්නෙ. ඔහු දැන් ඊනියා ජාත්‍යන්තර අධිකරණ පිහිටුවන්න කතා කරන්නෙ තවමත් ව්‍යවස්ථාව වෙනස් කිරීමෙ අදහස නැති කර ගෙන නැති නිසා. ජනතා විරෝධී පෙරමුණ ඒ සඳහා හැකි සෑම සහායක් ම රනිල් සුමන්තිරන් ආණ්ඩුවට දෙනවා.



ඒ අතර චන්ද්‍රිකා සහ ඇතැම් ශ්‍රි ල නි පාක්‍ෂිකයන් නැවත ඊනියා ජාතික ආණ්ඩුවක් හදන්න කතා කරනවා. ඔය අප්පචිචි මළෝ වගේ චන්ද්‍රිකාවාදීන් අල්ල ගෙන ඒක කරන්න බැහැ. ඔවුන් ශ්‍රී ල නි පාක්‍ෂිකයන් වුණත් ශ්‍රී ල නි පක්‍ෂය එයට එකඟ වුණත් අද පාර්ලිමේන්තුවේ ශ්‍රී ල නි පක්‍ෂයෙන් පත් වුණු මන්ත්‍රීවරුන් නැහැ. ඊනියා ජාතික ආණ්ඩුවක් හදන්න නම් එක්සත් ජනතා නිදහස් සංධානය හා එ ජා පෙරමුණ එකතු වෙන්න ඕන. ඒකට මහින්දල දිනේෂ්ලා කැමති වෙන්න ඕන. ජඩමාධ්‍යවේදීන් ටිකක් හොයල බලල වාර්තා කරනව නම් අනවශ්‍ය ප්‍රශ්න ගැන කතා කරන්න වෙන්නෙ නැහැ. කොහොමටත් අද කළ යුත්තෙ මා ඊයේ කී විධියට අපේ කඳවුර ශක්තිමත් කරන එක.



හෙට ලිපිය පළවන්නේ නැහැ.