Main Logo

Sunday 3 March 2019

නැත අන් සරණා මෑණිය සරණා


නැත අන් සරණා මෑණිය සරණා



විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මහින්දටත් රනිල්ටත් අවශ්‍යයි. වෙල්ගම කියන බහුබූත මහින්ද ගණන් නොගන්නා බව පැහැදිලියි. මහින්ද ජනාධිපතිවරණයකට නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළහොත් කිසියම් අවස්ථාවක දී නමුත් එය ප්‍රතික්‍ෂෙප වෙනවා. මැතිවරණ කොමසමේ සභාපති එය පිළිගත්තත්, එයට විරුද්ධ ව පෙත්සම් ඉදිරිපත් වේවි. ඒ පෙත්සම් ප්‍රතික්‍ෂෙප වුණත් මහින්ද ජනාධිපති වුණත් අධිකරණයෙන් ඔහුගේ පත්වීම අවලංගු කරාවි. වෙල්ගම මහින්දට ඉදිරිපත් විය හැකිය යන කතාව කියන්නේ ඔහුට ගෝඨාභය ඉදිරිපත් නොකිරීමට  යම් හේතුවක් කිව යුතු නිසා පමණයි. වෙල්ගමට පෙනෙන දේ වෙනත් කිසිවකුට නොපෙනෙන්නේ ඔහු කුශාග්‍ර බුද්ධිමතකු නිසා ද?




අවාසනාවකට බොහෝ දේශඥපාලනඥයන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට උත්සාහ කරන්නේ පෞද්ගලික හේතු මත. ඔවුන් එසේ කිරීමෙන් රට බෙදීමට දෙමළ ජාතිවාදයට ආධාර කරන බව තේරුම් ගන්නේ නැහැ. දෙමළ ජාතිවාදයේ සම්භවය ගැන අප කියා දශක තුනක් පමණ වෙනවා. එංගලන්තය හා ඕලන්දය හෙවත් අද නෙදර්ලන්තය (අද සිවල් සාමාජිකයන් පඬියන් උපාධි ලබා ගැනීමට වැඩිපුර යන්නේ නෙදර්ලන්තයට) වෙල්ලාලයන් ගෙනැවිත් ඔවුන්ට වරප්‍රසාද දී ඔවුන් රටේ ඊනියා ස්වදේශික නායකත්වයට පත් කිරීම මෙන් ම දෙරණ නොදැන සිටි ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයේ සම්භවයත් අවුරුදු තිහක පමණ කාලයක අප කියනවා. ඊයේ එක් පඬිපෝතකයකු අපට දෙමළ ජාතිවාදය පිටුපස ඇති ක්‍රිස්තියානි බලපෑම් ගැනත් කියා දී තිබුණා. ඔහුගේ අවාසනාවකට අප මේ ක්‍රිස්තියානි කතාවත් පල්ලියේ බලපෑමත් කියන්න වෙලාත් අවුරුදු තිහක් පමණ වෙනවා.



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රනිල්ට මෙන් ම මහින්දටත් අවශ්‍යතාවක් තිබෙනවා. ඒ දෙදෙනාගෙන් කිසිවකුටවත් ජනාධිපති වෙන්න බැහැ. ඔවුන් ගෝඨාභයටත් මෛත්‍රිපාලටත් කැමති නැහැ. අද මහින්ද මෛත්‍රිපාල සමග එකතු වී ඇත්තේ පසුගිය අවුරුද්දේ ඇති වූ නිර්පණ්ඩිත සමාජයේ හා මෛත්‍රිපාල කෙරෙහි වෛරයකින් නොපෙළුණු පිරිසකගේ බලපෑම නිසයි. එහෙත් ඒ එකතුවේ කාලය අවසන් වෙමින් තිබෙනවා. අප එදත් කිවේ ජනාධිපති අපේක්‍ෂක කවුද යන්න සාකච්ඡා නොකර මහින්ද මෛත්‍රිපාල සමගිය ගැන පමණක් අවධානය යොමු කරන ලෙස.



එය සාර්ථක වූවා. ඇතැම් මහාචාර්යවරුන් මයිලෝ මගින් එනර්ජි දීමට කතා කරද්දී ඇතැමුන්ගේ මෛත්‍රිපාල වෛරය පුපුරා දුන්හිඳ මෙන් කඩා හැලෙද්දී පසුගිය ඔක්තෝම්බර් විසිහයවැනි දා මහින්ද අගමැති ධුරයට පත් කෙරුණා. ඒ නිසා රනිල්ගේ බලය අඩු වුණා. අද ඔහුට ආණ්ඩුව ගෙන යෑමට බැරි තත්වයක් උදා වෙලා. දැන් ශක්තිය අවශ්‍ය වන්නේ රනිල්ට. බටහිරයන් හා ඉන්දියාව රනිල්ට ශක්තිය දීමට මහින්ද යොදා ගැනීමට සැලසුම් කරලා. ඔවුන් ගෝඨාභය ජනාධිපති වේය යන ගෝඨා භයෙනුත් පෙළෙණවා.



දෙරණේ සුරතලා වූ ජ වි පෙරමුණ අද මෛත්‍රිපාල අවුරුදු හතරක් වැඩක් නොකර මේ මැතිවරණ වසරේදී ඡන්දය ලබා ගැනීමේ අරමුණෙන් විවිධ දේ කරන බවට මැසිවිළි නගනවා. එහෙත් ජ වි පෙ කරන්නේ කුමක් ද? ඔවුන් අවුරුදු හතරක් රනිල්ට පක්‍ෂපාත ව කටයුතු කර දැන් මැතිවරණවලට මුහුණ දීම සඳහා ආණ්ඩුව විවේචනය කරනවා. දාසනායකට පමණක් නොව උමා ඔය වීරයාටත් දෙරණ තැන දෙනවා. දැන් උමා ඔයේ කාන්දුව නැවතිලා ද? මට තව ටිකෙන් අමතක වෙනවා. සේනා දළඹුවාගේ තත්වය කොහොම ද? ඌ (සලබයා) පියාඹා ගියේ කොහාට ද?  



ජනාධිපති අපේක්‍ෂක කවුද යන්න කතා කිරීම පසුගිය වසරේ කල් දැම්මට දිගින් දිගට ම කල් දාන්න බැහැ. තව මාස පහකින් පමණ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ දිනය එළඹෙනවා. පොදුජන එක්සත් පෙරමුණේ ඇතැමුන් ගෝඨාභයට කැමති වුණාට නායකත්වය ඔහුට කැමති නැහැ. මහින්දත් කැමති නැහැ. ඒ අය කැමති නම් කළ යුත්තේ වහාම තීරණයක් ගෙන මෛත්‍රිපාල හමු වී යම් එකඟත්වයකට පැමිණීමයි. මෛත්‍රිපාලත් එයට කැමති ද යන්න පශ්නයක්. සෝභිත හාමුදුරුවන්ට මොන පොරොන්දු දුන්නත් මෛත්‍රිපාලට නැවත ජනාධිපති වීමට කැමැත්තක් තියෙන බව පැහැදිලියි. ත්‍රිවිධ රත්නය තෙවරක් සරණ ගොස් පන්සිල් රැකීමට පොරොන්දු වී ඒ කඩන රටක සෝභිත හාමුදුරුවන්ට දුන් පොරොන්දුව මොකක් ද? අනෙක් අතට සෝභිත හාමුදුරුවන් අවසාන කාලයේ දී අසෙවනාච බාලානං මංගල කරුණක් බව පිළිගත්තේ ද?



මහින්දටත් රනිල්ටත් ඕන නැහැ වෙන කවුරුන්වත් ජනාධිපති කරන්න. රනිල් දෙවතාවක් ම පොදු අපේක්‍ෂකයන්  ඉදිරිපත් කරල හෙම්බත් වෙලා. ඒ දෙනොට ම අවශ්‍ය හැකි නම් ජනාධිපති ධුරය අහෝසි කරන්න. ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවදයක් වෙනුවෙන් නො වෙයි. අප නොදන්න ප්‍රජාතන්ත්‍රවාදය!  ඒත් මෛත්‍රිපාලට ඕන නැවත ජනාධිපති වෙන්න. ඔහු ජනාධිපති ධුරය අහෝසි කරන්න කතා කරන්නෙ මාධ්‍යයට. අද මේ අවුල ඇති වෙලා. රනිල් හා මහින්ද එකතුවෙලා. ඇතැම් ජාතික සංවිධානත් යම් යම් කොන්දේසි මත ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟ වෙලා මහින්දට ලියුමකුත් දීලා.



එහෙත් විමල් හා ගම්මන්පිළ වාසුදේවත් සමග එකතු වී ගෝඨාභය ජනාධිපති කරන්න උත්සාහ කරනවා. මෛත්‍රිපාලගේ සහායට කිසිවකු නැත්නම් ඔහුත් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ වෙයි ද? විමලධර්මසූරිය රජුගෙන් පසු අපට තමන් හා පවුල ගැන නොසිතා රට ගැන පමණක් සිතා තීරණ ගන්නා ප්‍රබල නායකයකු බිහි වී නැහැ.



රනිල් හා මහින්ද එකතු වුණෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාවි. තමන්ට ජනාධිපති වීමට වුවමනා මෛත්‍රිපාල එයට පෙර කුමක් කරාවි ද? රනිල් හා මහින්ද මෛත්‍රිපාලට පෙර කුමක් කරාවි ද? මහින්දවත් මෛත්‍රිපාලවත් තීරණ ගැනීමේ දී දෙමළ ජාතිවාදය ගැන හිතන්නේ නැහැ. එහෙත් දොන් ජුවන් රනිල් ඒ ගැන හිතනවා. ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යන්නේ සුමන්තිරන්ට වැඩි බලයක් ලබා දී දෙමළ ජාතිවාදයට රට බෙදීමට පාර කපන්න. 



අප ඉන්නේ ඉතාමත් බැරෑරුම් අවස්ථාවක. ඒ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී යන්නට වඩා බරපතළ තත්වයක්. මග හිටියත් ගෙදර ගියත් තෝත් නසි අඹුත් නසී තත්වයෙ අපි ඉන්නෙ. අද අනුරාධපුරේ මෑණියො තමයි හැමෝට ම උපදෙස් දෙන්නෙ.