Main Logo

Saturday 2 March 2019

ඇත් පැටවා හා ෆ්‍රැන්සිස් පියතුමා


ඇත් පැටවා හා ෆ්‍රැන්සිස් පියතුමා


පසුගිය දිනෙක දෙරණ රූපවාහිනියෙහි ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා කළ කතාවක් ප්‍රචාරය වුණා. මට හරියට මතක නැහැ වැඩ  සටහන මොකක් ද කියා. සමහරවිට ප්‍රවෘත්ති වෙන්න ඇති. එහෙම නැත්නම් දෙරණ අරුණ වෙන්න ඇති. එහෙමත් නැත්නම් වෙන වැඩ සටහනක් වෙන්න ඇති. ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා ලංකා සභාවේ (පැරණි ඇංග්ලිකන් සභාවේ) දෙමළ කතාකරන පූජකතුමෙක්. එතුමා මෙරට ඒ සභාවෙහි වැදගත් තනතුරු දරා තිබෙනවා.  


ෆ්‍රැන්සිස් පියතුමා කිව්වෙ 2012 දි එතුමා එංගලන්තයේ ඇංග්ලිකන් සභාවේ ඉහළ නිලයක් දරණ පූජකතුමකුගේ පදවිප්‍රාප්ත උත්සවයකට ගිය අවස්ථාවක දී සිදු වූ දෙයක්. සමහරවිට ඒ වත්මන් කැන්ටබරියේ ආච් බිෂොප්තුමාගේ පදවිප්‍රාප්තිය වෙන්න ඇති. කැන්ටබරියේ ආච් බිෂොප් තමයි එංගලන්තයේ ඇංග්ලිකන් සභාවේ ප්‍රධාන පූජකවරයා. එංගලන්තයේ රාජකීය උත්සව එතුමාගේ සහභාගීත්වයෙන් තමයි කෙරෙන්නේ.  

කෙසේ නමුත් ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා ඒ උත්සවයට එංගලන්තයට ගිය අවස්ථාවේ කිසිවකු එතුමන්ගෙන් අසා තිබෙනවා රහස් සාකච්ඡාවකට සහභාගි වීමට කැමති ද කියා. එතුමා එයට කැමැත්ත පළ කිරීමෙන් පසු ඒ සාකච්ඡාවට සහභාගි වීමට ආරාධනයක් ලැබී තිබෙනවා. ඒ අනුව එහි ගිය පියතුමාට එංගලන්තයේ ඇංගලිකන් සභාවේ පූජකතුමකු මූලසුන දැරූ සාකච්ඡාවකට සහභාගි වීමට අවස්ථාව ලැබී තිබෙනවා. 

මුලසුනේ සිටි ඉංගිරිසි පූජකතුමා පවසා ඇත්තේ තව මොහොතකින් ලංකාව පිළිබඳ විස්තරයක් එක් ප්‍රසිද්ධ පුද්ගලයකු කරන බවයි. ඒ අනුව ලංකාවේ නමගිය පුද්ගලයකු පැමිණ ලංකාවේ දෙමළ කතාකරන ජනයාට සිිදුවන ඊනියා අසාධාරණකම් ගැන කතාවක් කර තිබෙනවා. එහි සුපුරුදු පරිදි විකෘතීන් ගණනාවක් ම කෙරී තිබෙනවා. ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා මේ පුද්ගලයා කවුදැයි අනාවරණය කරන්නේ නැහැ. එතුමා කියන්නේ පසුව ඔහු කවුදැයි හෙළිදරවු කරන බවයි.  

එහෙත් අර පුද්ගලයාගේ කතාවෙන් පසු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා නැගිට ඒ විකෘතීන් බව පෙන්වා දී තිබෙනවා. එතුමා වැදගත් ප්‍රශ්නයක් අර මුලසුනේ සිටි ඉංගිරිසි ජාතික පූජකතුමන්ගෙන් අසා තිබෙනවා. එංගලන්තයේ තැපැල් කන්තෝරුවකින් ඉංගිරිසි නොවන බසකින් විදුලි පණිවුඩයක් යැවිය හැකි ද කියා. එවිට මුලසුනේ සිටි පූජකතුමා පවසා ඇත්තේ එරට ඉංගිරිසින්ගේ රට බවත් වෙනත් බසකින් විදුලි පණිවුඩ යැවීමට නොහැකි බවත්. ෆ්‍රැන්සිස් පියතුමා එවිට පවසා ඇත්තේ ලංකාවේ දෙමළ බසින් ද ආණ්ඩුවේ සියළුම ලිපි ලේඛන තිබෙන බවයි. 

වාසනාවකට ඒ සභාවේ පඬියකු සිට නැහැ. සිටියා නම් දැන් කිසිවකු විදුලි පණිවුඩ නොයවන බව ප්‍රකාශ කිරීමට ඉඩ තිබුණා. මෙරට පඬියන් තරම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට යට වූ පුද්ගලයන් ලෝකයේ වෙනත් රටක නැති වන්න පුළුවන්. මෙහි දී ලංකාව වෙනුවෙන් කතා කර තිබෙන්නේ දෙමළ කතාකරන ලංකා ක්‍රිස්තියානි සභාවේ (පැරණි ඇංග්ලිකන් නැත්නම් එංගලන්ත සභාවේ) පූජකතුමකු වීම වැදගත්.  

ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා කලක සිට ප්‍රවෘත්ති ලබා දී ඇති නමුත් ජඩමාධ්‍යයට එය එතරම් වැදගත් වී නැහැ. රන්ජන් රාමනායක ආදී දේශපාලනඥයන් පමණක් නොව විවිධ විද්වතුන් උගතුන් බුද්ධිමතුන් කලාකරුවන් කුඩුකාරයන් පාතාලයන් අපරාධකරුවන් ආදීන් ඉන්නේ එතුමාට ගව් ගණනක් ඉදිරියෙන්. ජඩමාධ්‍යයට ඒ අය වැදගත්. කෙසේ වෙතත් ෆ්‍රැන්සිස් පියතුමා ගෙනෙන ප්‍රවෘත්ති ජඩමාධ්‍ය දරණ අදහස්වලට විරුද්ධයි. ජඩමාධ්‍ය කුමක් පෙන්නුම් කරන්න උත්සාහ කරත් ඔවුන් ඊනියා අධිරාජ්‍ය විරෝධී බයිලා කිවුවත් ඔවුන් බටහිරට විශේෂයෙන් ම එංගලන්තයට විරුද්ධව කතා කරන්න ලියන්න කැමති නැහැ. ඔවුන් ඊනියා ඩයස්පෝර්වට තඩිබාවි. එහෙත් ඊනියා ඩයස්පෝරාව හෙවත් විසිරුණු දෙමළ ජනයා මෙහෙයවනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ම එංගලන්තය විසින් බව පිළිගන්නේ නැහැ. 

ෆ්‍රැන්සිස් පියතුමාට ලැබෙන ප්‍රසිද්ධියවත් ජඩමාධ්‍ය මගේ අදහස්වලට දෙන්නේ නැහැ. ඊනියා ඩයස්පෝරාව යන වචනය බයිබල් වචනයක් බවත් ඉන් ගම්‍යවන්නේ රටක් ඇතිව සිට රටින් පන්නනු ලැබූ පිරිසක් බව කොතෙකුත් කීවත් ජඩමාධ්‍යවේදීන් තම පඬි බව පෙන්වීමට ඩයස්පෝරාව යන වචනය යොදා ගන්නවා. පඬියන් කී දෙනකු සිනමාව කියවනවා ද? ෂානරය යන්න යොදා ගන්නවා ද? ඉංගිරිසින් යොදන වචනයක් හෝ එහි සිංහල පරිවර්තනය හෝ පුනරුච්චාරණය කිරීම තරම් දෙයක් පඬියන්ට නැහැ.  

අප රටේ දෙමළ ජාතිවාදය නිර්මාණය කෙළේත් පවත්වාගෙන යන්නේත් එංගලන්තය බව පඬියන් හා ජඩමාධ්‍යවේදීන් පිළිගන්නේ නැහැ. ඔවුන්ට මා අන්තවාදියකු පමණයි. මිථ්‍යාමතධාරියකු පමණයි. එහෙත් ඔවුන් මුහුණට එසේ කියන්නේ නැහැ. මා ඔවුන් හඳුනනවා. එංගලන්තය අපේ ප්‍රශ්නය ඇති කෙළේ 1833 තරම් ඈතක බව පඬියන් හා ජඩමාධ්‍යවේදීන් පිළිගන්නේ නැහැ. වැඩිම වුවහොත් ඔවුන් තම පඬි බව ප්‍රදර්ශනය කරමින් කියාවි එංගලන්තය කියා රටක් නැති බව. ඔවුන් පමණක් නොවෙයි බොහෝ ජාතිකවාදීන් ද 1833 කතාව පිළිගන්නේ නැහැ.  

බොහෝ දෙනා සිතන්නේ විසිරුණු දෙමළ ජනයාට එංගලන්තයේ විශාල බලපෑමක් කළ හැකි බැවින් එංගලන්ත දේශපාලනඥයන් ඔවුන් ගැන සැලකිලිමත් වන බවයි. එහෙත් තත්වය එසේ නොවෙයි. ලන්ඩනයේ ටූටින් ප්‍රදේශයෙහි පමණක් දෙමළ කතාකරන ජනයා කිහිප දෙනකු සංකේන්ද්‍රගත වී ඉන්නවා. මා ටූටින් ප්‍රදේශය හොඳින් දන්නවා. එය කැනඩාවේ ටොරොන්ටෝ තරම් නැති වුවත් දෙමළ කඩ ඇති ප්‍රදේශයක්. අනෙක් පෙදෙස්වල ඔවුන් ඉන්නේ විසිරිලා. ඔවුන්ට මැතිවරණයක දී බලපෑමක් කරන්න බැහැ. මේ දෙමළ විසිරුණු ජනයා නඩත්තු කෙරෙන්නේ එංගලන්තය විසින්. එංගලන්තය සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව අද විසිරුණු දෙමළ ජනයා යොදා ගන්නවා. අපේ ප්‍රධාන ම සතුරන් එංගලන්තය හා ඉන්දියාවයි. 

එංගලන්තයේ ඇංග්ලිකන් සභාව සිංහල බෞද්ධයන්ට එදත් අදත් විරුද්ධයි. අර ෆ්‍රැන්සිස් පියතුමාට ද ආරාධනය කෙරුණු සාකච්ඡාව ඇංග්ලිකන් පල්ලියෙන් සංවිධානය කෙරුණක් වෙන්න ඕන. එහි ගොස් විකෘත කරුණු ඉදිරිපත් කළ ප්‍රභූවරයා කවුද? ජඩමාධ්‍යයට ඒ දැන ගැනීමට අවශ්‍යතාවක් නැහැ. ඔවුන්ට මධුෂ් ගැන රන්ජන් රාමනායක ගැන තව කොපමණ දේ දැන ගැනීමට තිබෙනවා ද? සිස්ටම් චේන්ජ් කාරයන්ට තව ප්‍රසිද්ධිය දිමට තියෙනවා. සිස්ටම් චේන්ජ් කාරයන් මත්පැන් බී රිය පදවනවා. මොන තරම් ආදර්ශයක් ද?  

මෙරට ඇංග්ලිකන් පල්ලියේ (ලංකා සභාවේ) කෙනත් ප්‍රනාන්දු ප්‍රභාකරන් හැඳින්වූයේ මානුෂික පුද්ගලයකු ලෙස. එහෙත් අපේ ඇතැම් ජාතිකවාදීන්ට ද මා මිනිස්කමක් නැති අයෙක්. අනේ කාලේ වනේ වාසේ! මාස කිහිපයකට පෙර ලංකා සභාවේ ත්‍රිත්ව විදහලේ සිදු වූ යම් යම් දේ පිළිබඳ ව එහි ආදි ශිෂ්‍යයකු වූ නිශාන්ත නමැත්තකු කරුණු ඉදිරිපත් කළා. එහි දී ඉන්දීය සම්භවයක් ඇති ගිල්බට් නම් විදුහල්පති කෙනකු දෙමළ ජාතිවාදීන් සමග ගණුදෙනු කළ ආකාරය හෙළි වුණා. 2018 සැප්තැම්බර් 28 හා 30 කාලය (http://www1.kalaya.org/2018/09/blog-post_28.html),(http://www1.kalaya.org/2018/09/blog-post_30.html),      ලිපිවලින් ද අප මේ ගැන කතා කළා. දි අයිලන්ඩ් පූවත්පතෙත් යම් සඳහනක් කෙරී තිබුණා. මේ කතාවලට බොහෝ විට ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමාගේ නමත් සම්බන්ධ වෙනවා. ඒ දෙමළ ජාතිවාදයට විරුද්ධ ව. ජඩමාධ්‍ය මෙරට ලංකා සභාවේ දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් ඊනියා ගවේෂණාත්මක ලිපියක් පළ කරන එකක් නැහැ. උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලේ හිටි ඇත්පැටවාට ලැබුණු ප්‍රසිද්ධිය ලංකා සභාවට ලැබෙන්නේ නැහැ.