Main Logo

Wednesday 13 April 2022

විමල් මෛත්‍රිපාල දයාසිරි නන්දා සුනිල් හා සිංහල බුද්ධාගම

 

විමල් මෛත්‍රිපාල දයාසිරි නන්දා සුනිල් හා සිංහල බුද්ධාගම

 

මගේ ලිපිය සකර්බරග් පිටුවේ දැමීමට විරුද්ධ ව පැමිණිලි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා. ඒක තමයි භාෂණ නිදහස. ඊනියා සිවල් සමිති භාෂණ නිදහස මානව අයිතිවාසිකම් කියන්නෙ තමන්ට විතරක් තියෙන්න ඕන දෙයකට. ඔවුන් විරුද්ධ මතයකට ඉඩ දෙන්නෙ නැහැ. ටික කලකට ලිපිය සකර්බර්ග් පිටුවේ පළ වන්නේ නැහැ. ඒත් ලිපිය දිගට ම කාලය වෙබ් අඩවියේ පළවේවි.

 

අද වන විට විමල් වීරවංශත් වසන්ත බණ්ඩාරත් තරමක් ප්‍රමාද වී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වන බවත් ගෝඨාභය විරෝධය බෞද්ධ විරෝධයක් බවට පත්වන බවත් කියන්න පටන් අරන්. ගුණදාස අමරසේකරටත් ඒ බව වැටහිලා වගෙයි. ඒ බව කලින් ම තේරුම් ගත්ත නම් එහි ඉතිහාසය විශ්ලේෂණය කර තිබුණ නම් වීරවංශලා සුවාදීන වන්නේ නැහැ. විරවංශට දැන් දේශපාලන අනාගතයක් නැහැ. ගම්මන්පිල හීන් සීරුවේ මාරුවෙන්න ඉඩ තියෙනවා.

 

දයාසිරි හා මෛත්‍රිපාල ගැනත් කියන්න තියෙන්නෙ ඒ වගේ කතාවක්. මෛත්‍රිපාල කියල ශාන්ත බණ්ඩාර ආණ්ඩුවට යන බව තමාටවත් කිවුවෙ නැහැ කියලා. ශාන්ත බණ්ඩාර තම නායකයා අනුගමනය කර තියෙනවා. එපමණයි. මෛත්‍රිපාල යහපාලනයට යද්දි ආප්ප රාත්‍රියේදිවත් මහින්දට කිවුව ද? මෛත්‍රිපාල ශාන්ත බණ්ඩාර ගැන ආඩම්බර වෙන්න ඕන තමා අනුගමනය කිරීමට එක් අයකු හරි ඉඳීම  ගැන. දයාසිරිටත් හොඳට ම කේන්ති ගිහින්. කේන්ති යන්න දෙයක් නැහැ. දයාසිරිත් යහපාලනේට ගිහින් ආපු කෙනෙක්.

 

වීරවංශලා සුවාදීන වීමෙන් සිදු වුණේ බැසිල් ශක්තිමත් වීම පමණයි. ඔවුන්ට දැන් බැසිල්ට විරුද්ධ ව කළ හැකි දෙයක් නැහැ. පුළුවන් නම් සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගනීමට යමක් කරන්න. ඒත් ගුණදාස අමරසේකර නමින් ප්‍රකාශ නිකුත් කිරීම ප්‍රමාණවත් නැහැ. බැසිල් 113 හදා ගනීවි. ඔය අමරවීරලා නිමල් සිරිපාලලා තව කී දොහක් සුවාදීන වෙලා ඉඳියි ද? මෛත්‍රිපාලට මහින්දගෙ පිහිටයි. විමල් දයාසිරි වැන්නන් අගමැති ද අස් වෙන්න ඕන කියන්නෙ සජිත් වෙනුවෙන් ද?

 

ගෝඨාභය අස්වෙන්න අවශ්‍ය නැහැ. ඒත් බැරිවෙලාවත් අස් වුණොත් අගමැතිට ජනාධිපති ලෙස මාසයක් තනතුරේ වැඩ බලන්න පුළුවන්. ඊට පස්සෙ පාර්ලිමේන්තුව  නව ජනාධිපති කෙනකු තෝරා පත් කර ගන්න ඕන. විමල්ලට ඕන සජිත් ජනාධිපති කරන්න ද? පාර්ලිමේන්තුව විමල් ජනාධිපති ලෙස පත් කර ගනීවි ද? එහෙමත් නැත්නම් බැසිල් ජනාධිපති ලෙස පත් කර ගනීවි ද? විමල්ලාත් ද්වයංගුල පඤ්ඤා ඇත්තන්. ගෝඨාභයවත් මහින්දවත් ඉල්ලා අස්විය යුතු නැහැ.

 

එක් පඬි නැට්ටකු අසා තිබුණා දූෂණයට අල්ලසට ආදියට විරුද්ධ  වීම සිංහල බෞද්ධකමට විරුද්ධ වීමක් ද කියා. පඬි නැට්ටාගේ බුද්ධියේ තරම ඉන් තේරෙනවා. ඔහු විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. අද අරගලය දුෂණයට අල්ලසට ආදියට විරුද්ධ ව නො වෙයි. ආතල්ගමේ කෑම බෙදන්නේ කවුද? අර කුඩාරම් ඉදී කෙළේ කවුද? ඔය අරගලය ගෝටා ගෝ හෝම් කීමට නොව බුද්ධ ගෝ කියන්නයි. පඬි නැට්ටා කවද ද යමක් තේරුම් ගත්තෙ. සුවාදිනයකු වී පශ්චාත්නූතනවාදයට හා X කණ්ඩායමට ගොස් අවසානයේ දී යහපාලනයට ගිය පඬි නැට්ටන් ගැන කතා කිරීමත් කාලය කා දැමීමක්  කියා හීතනවා.

 

නන්දා මාලිනී සුනිල් ආරියරත්න බුද්ධි ගල්පත්ති වැනි සුපිරි කලාකරුවන් ආතල්ගමට ගිහින්. නන්දා මාලිනීට පවන මතක් වෙලා. වෙන මොනව ද මතක් වණෙ? ජෙ ආර්, ඉන්දියාවට ගිය ගමන චෙන්නායි මතක ද?  පවන අහල විප්ලවයෙන් මත් වුණු තරුණ තරුණියන් නම් කොහෙ ගියා ද කියා දන්නෙ නැහැ. නන්දලාට සුනිල්ලාට මොකො? පවන කැසට් කීයක් විකුණුනා ද?  අද නන්දලා සුනිල්ලා බුද්ධිලා වැනී සුපිරි විප්ලවවාදීන්ට ඊනියා අරගලයට දායක වෙන්න පුළුවන් ජේ ආර් ලා ප්‍රේමදාසලා වැනි ප්‍රජාතන්තරවාදීන් නැති නිසා. හිටිය නම් නැවතත් චෙන්නායි යන්න තිබුණා.  

 

ඒත් මේක ජෙප්පන් මෙහෙයවන අරගලයක් නො වෙයි. ජෙප්පන් සෙප්පන් සජිතන් ආදීන් හදනවා තමන් නායකත්වයෙ ඉන්න බව පෙන්වන්න. ඒත් නායකත්වයෙ ඉන්නෙ බූවුන්රිග්ගෙ මුණුබුරාලා. සර් ෆේල් ගෝ ගෝටා ගෝ මුණුබුරාලගෙ සටන් පාඨ. ඇයි පාස්කු. එතකොට අර මුස්ලිම් කතෝලික සමගිය බිඳලා සිංහල බෞද්ධ ගෝඨාභය ජනාධිපති කරන්න සහරාන් හා තවත් කිහිප දෙනකු ජීවිත පරිත්‍යාග කළ අයුරු. නවසීලන්ත කතාව සහාරාන් කිවුවෙ මැරුණට පස්සෙ නො වෙයි. ඒ දවස්වල මා ලියූ ලිපිවලත් ඒ කතාව ඇති.

 

අද ආතල්ගමේ ඉන්නෙ ජෙප්පන්ගෙ සමාජ මට්ටමේ අය නො වෙයි. හරිණිගෙ සමාජ මට්ටමේ අය. දැන් දැන් හරිණි ජනාධිපතිකමට යෝජනා වෙන්නෙ නිකම් නො වෙයි. කොහොමත් ජෙප්පන් හා සෙප්පන් හැමදාමත් මෙහෙයවුණෙ බටහිරින් කියලයි එන් එම් සහෝදරයා කිවුවෙ.  එදා කොහොම වෙතත් අද නම් එහෙම තමයි.

 

යදමින් බැඳ විලංගුලා අද නැහැ. ඒ වෙනුවට මහින්ද තරුණයන්ට සාකච්ඡා සඳහා ආරාධනා කරලා. කවුද නියෝජිත පිරිස? මේ සිංහල අපගෙ රටයි කියමු ද? ඔය තරුණ තරුණියන් ජාතික කොඩිය වනන්නෙ එයින් සිංහල බෞද්ධ සංස්කෘතියෙ විශේෂත්වය පෙන්නුම් කරන බව නොදැන ද? නන්දා මොකද කියන්නෙ. ඉස්සර ජී එල් පීරිස්ගෙ සීයා එම්සීසී (ගිවිසුම නොවෙයි ක්‍රිකට්) කණ්ඩායම හා ලංකාව අතර තරග බලන්න ගියෙ කාරයේ එක් පැත්තක සිංහ කොඩියත් අනෙක් පැත්තෙ ඉංගිරිසි කුරුස කොඩියත් ප්‍රදර්ශනය කරමින්. ඔය තරුණ තරුණියන්ටත් කුරුස කොඩි ටිකක් ගිහින් දෙමු ද? සුනිල්ට ඒ වැඩේ බාර ගන්න පුළුවන් ද? අපි ඕන නම් සරුංගල් ටිකකුත් ගිහින් දෙමු. ආතල්ගමේ හුළඟ කොහොම ද?