Main Logo

Monday 25 April 2022

හාමුදුුරුවරුන්ගේ ඉරණම

 

හාමුදුුරුවරුන්ගේ ඉරණම

 

මේ සමග ඇති ඡායාරූපය කෘත්‍රීම, සකස් කරන ලද ව්‍යාජ (fake)  එකක් බව පැහැදිලි ය. එහෙත් ඒ වර්තමානයෙහි ය. අනාගතයෙහි ද එවැනි ඡායාරූපයක් ගත හැකි අවස්ථාවක් උදා වේ යැයි සිතන්න බැහැ. එහෙත් ඡායාරූපයෙන් සංකේතවත් වන්නේ අනාගතයෙහි සිංහල බෞද්ධ සංස්කෘතියට උදා විය හැකි ඉරණමයි. අද විමල් උදය ආදී ඊනියා ජාතිකවාදීන් ද ක්‍රියා කරන්නේ ඒ අනාගතය උදෙසායි.

 

විමල් පසුගිය දා කියා සිටියේ අද ගෝඨාභය ඉවත් කිරීමට ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ නැති බව ය. එහෙත් මහින්ද අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රතිපාදන තියෙනවා. උදය කියන්නේ මේ ආණ්ඩුව පෙරළීමට ස ජ බ සමග වුවත් එකතු වෙන බව ය. ස ජ බ හා සජිත් මහින්දට හා ගෝඨාභයට වඩා රටට වැඩදායක ද? ඔවුන්ට අවශ්‍ය ඩලස් අගමැති කිරීමට ද? ඩලස් ද මහින්ද ද ලිපිය කියවන්න.

 

අද පවතින දේශපාලන අර්බුදයට ආසන්න ම හේතුව විමල්ලා හා උදයලා ඊනියා ස්වාධීන වීමයි. එය ආසන්න හේතුව මිස එක ම හේතුවවත් ප්‍රධාන හේතුවවත් නො වෙයි. මා නිතර අවධාරණය කරන්නේ බෞද්ධයන් ඒක හේතුවාදීන් නොවන බවයි. බටහිර විිද්‍යාව ඒක හේතුවාදය මත පදනම් වූ පට්ටපල් බොරුවලින් සමන්විතයි. ඒ පට්ටපල් බොරු සමහරවිට යම් සීමා තුළ හරියනවා, වැඩ කරනවා. බටහිර භෞතික විද්‍යාවේ මෙය තරමක් දුරට සාර්ථක ව ක්‍රියාත්මක වෙනවා. එහෙත් බටහිර භෞතික විද්‍යාවෙන් ඈත්වත් ම එහි සාර්ථකත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. ඊනියා සමාජයීය විද්‍යාවන් කියන්නේ වැඩ නොකරන පට්ටපල් බොරුවලට.

 

බටහිර නූතනත්ව ක්‍රිස්තියානි සංස්කෘතිය පදනම් වන්නේ බොරුව හා රැවටීම මතයි. රේඛීය චින්තනය මත යැපෙන එයට කිසිදාක ආරම්භය තේරුම් ගන්න බැහැ. යමක් තේරුම් ගන්නවා කියන්නේ එය වෙනත් සංකල්පවලින් විස්තර කිරීමයි. ආරම්භය විස්තර කරන්නේ කෙසේ ද? ආරම්භයක් ඇති බව කියන්නේ කෙසේ ද? එය හුදෙක් උපකල්පනයක් පමණයි.

 

වත්මන් ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය එකක් නොව දෙකක්. ආර්ථික අර්බුදයට හේතුව මේ ආණ්ඩුව ය කියන බොරුව  ඇතැම් හාමුදුරුවරුන් මත ද පැටවීමට ක්‍රිස්තියානි නූතනත්වය සමත් වී තියෙනවා. ක්‍රිස්තියානි නූතනත්වයට අවශ්‍ය රාජපක්‍ෂලා ඉවත් කිරීම ම නොවෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවත් කිරීමයි. ඔවුන්ට හැකි නම් එක් පියවරකින් ගෝඨාභයත් මහින්දත් ඉවත් කරනවා. එහෙත් අද ව්‍යවස්ථානුකූල ව ගෝඨාභය ඉවත් කිරීමට බැහැ.

 

මට පේන විධියට ගෝඨාභයත් අද බොරුවකට අහුවෙලා. ඒ ඊනියා අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම. අන්තර්වාර ආණ්ඩුවක් ව්‍යවස්ථාවේ නිර්වචනය වන්නේ නැහැ. එහෙත් මේ බොරුව අද අර ආර්ථික අර්බුදයට හේතුව මේ ආණ්ඩුව කියන බොරුව වගේ ම සමාජගත වෙලා.  ඊනියා අන්තර්වාර ආණ්ඩු පිහිටුවීමේ අරමුණ ම මහින්ද ඉවත් කිරීමයි. එය පිටුපස ඉන්නා අයට අද අවශ්‍ය මහින්ද ඉවත් කිරීමයි. ව්‍යවස්ථාවේ 74 වගන්තිය උපුටා දක්වමින් මා පෙන්වා දී ඇති අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රතිපාදන නැති බව. 74 වගන්තිය තේරුම් ගැනීමට ජනාධිපති නීතිඥයකු වීම අවශ්‍ය නැහැ. අපේ පාසල් වියේ දී අටවැනි පංතියේ ඉගෙන ගත් වාක්‍යාංශ විශ්ලේෂණය (clause analysis) එයට හොඳට ම ප්‍රමාණවත්.

 

මහින්ද පුතුන්ගේ බලය නැති කිරීමට මහින්ද අගමැති ධුරයෙන් ඉවත් කිරීම අවශ්‍ය වන්නේ ඔහු අගමැති කමේ සිටිය දී ම පුතුන්ගේ බලය නැති කරන්න බැරි නම් පමණයි. එහෙත් එවැනි අවස්ථාවක දී වුවත් මහින්ද වෙනුවට අගමැති ධුරයට පත්කර ගන්නා පුද්ගලයා ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඩලස් ඒ සඳහා කිසිසේත් ම සුදුසු පුද්ගලයෙක් නො වෙයි. ඔහු ඒකීය රට ආරක්‍ෂා කරන බවටත් බෞද්ධ සංස්කෘතියට හිමි තැන දීමටත් එකඟ වෙනවා ද? පොලිස් හා ඉඩම් බලතල බෙදීමට ඉඩ නො දෙන බවට පොරොන්දු වෙනවා ද?

 

ගෝඨාභය අද අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වන්නේ විවිධ බොරු පොරොන්දු විශ්වාස කිරීමෙන් බව පැහැදිලියි. එහෙත් මහින්ද ඉවත් කෙරී වැඩිකල් නොගොස් ගෝඨාභය යමකුගේ හරි යම් පිරිසකගේ හරි සිරකරුවකු බවට පත් වෙනවා. දේශපාලන අර්බුදය විසඳෙන්නේ ඒ අයුරින්. ආර්ථික අර්බුදය විසඳන්න සමත් අයකු නැහැ. කවුරුන් ආවත් අද කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ ජාමුලට ගිහින් අනේ මහතුනේ මට වන් දුක බලලා සෙනෙහෙ සිතින් අනුකම්පා උපදවලා කවිය කියමින් ඩොලර් ණයට ගැනීමත් ඉන්දියාවට යට වී ඔවුන්ට අවශ්‍ය දේ දී (විකුණා නොවේ) ආධාර ලබා ගැනීමත් පමණයි. අද මෙරට ඉන්න ව්‍යාපාරිකයන් මෙරට උගතුන් මෙන් ම ඉතා ක්‍ෂුද්‍ර ගණයේ අය. අප රට කුඩා වී තියෙන්නෙ භූගෝලිය වශයෙන් නො වෙයි. ඊනියා උගතුන් හා ව්‍යපාරිකයන් වශයෙන්. එංගලන්තය ලංකාවට වඩා මහා විශාල රටක් නො වෙයි. එහෙත් ඔවුන් හා ඔවුන්ගේ ඥාතින් අදත් ලෝකය පාලනය කරනවා.

 

ගෝඨාභය ඊනියා අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වීම මහානායක හාමුදුරුවන්ගේ අනුශාසනා පිළිපැදීමක් පමණක් නො වෙයි. එය එක් සැලැස්මක පියවරක් පමණයි. මහානායක හාමුදුරුවන් ප්‍රකාශ නිකුත් කිරීමට පෙර හොඳින් අධ්‍යයනය කරන්න කියා ඉල්ලන්න මට බැහැ. එහෙත් මා දන්නා දෙයක් තියෙනවා. මේ ඡායාරූපයෙන් සංකේතවත් වන අනාගතයක් අපට ළඟ දී ම උදාවෙන්න පුළුවන්.  1505 දී පෘතුගීසීන් ඇරඹූ ව්‍යාපෘතිය එසේ කෙළවර වීමට ඉඩ තියෙනවා. 

 

 





මට ලැබුණු තවත් ඡායාරූපයක්, දැන් හඳුනාගන්න පුළුවන්!