Main Logo

Friday 15 April 2022

කවුද හොරා

 කවුද හොරා

 

ජනතාවකට ලැබෙන්නේ ඔවුන්ට සුදුසු පාලකයන් කියා කියමනක් තියෙනවා. ජනතාවට ලැබෙන්නේ ඔවුන්ට සුදුසු උගතුන් කියා මෙය වෙනස් කරන්න පුළුවන්. සිංහලයන් ද්වයංගුල පඤ්ඤා ඇත්තන්. ඇඟිලි දෙකේ ප්‍රඥාව ඇඟිලි දෙකේ දුරට වඩා පේන්නෙ නැහැ කියන එකයි ඒකෙ තේරුම. සිංහලයන්ට ලැබෙන්නෙ ද්වයංගුල පඤ්ඤා පුරුක් උගතුන්. උගතුන්ට පේන්නේ ඇඟිලි දෙකක හා පුරුකක දුර පමණයි. අවුරුදු හැටකට කිට්ටු කාලයක් තිස්සෙ මා මේ පුරුක් උගතුන් ගැන දන්නවා. ඔවුන් ඉදිරිපත් කර ඇති අලුත් මතයක් කතන්දරයක් සංකල්පයක් නැහැ. අර පොතේ මෙහෙම තියෙනව මේ පොතේ අරෙහෙම තියෙනවා කියන්න විතරයි ඔවුන් දන්නෙ.

 

අර ආතල්ගමේ නාගරිකයන් අවුරුද්දට ගමේ ගිහින් නැහැ ඔවුන් කියාවි ආතල්ගම තමයි ගම කියලා. ඒකත් ගමක් තමයි. වටේට හොඳ හෝටල් තියෙනවා. හොඳ කෑම බීම ලැබෙනවා. හලාල් කෑම ද කියා මා දන්නෙ නැහැ. ආතල්ගමේ නාගරිකයන් පඬි කතා කියනවා. සිංහල දෙමළ මුස්ලිම් සමගියක් ගැන කියනවා. අපි හැමෝම එකයි කියනවා. මිනිසුන් හැමෝම එකයි කියන එක පරණ කතාවක්. ආතල්ගම පිටුපස හරි ඉස්සරහ හරි කවුරු හිටියත් එහි දුරස්ථ පාලකය තියෙන්නෙ මුහුදෙන් ඈත ලංඩනයේ. ආතල්ගම මුහුද අයිනෙ තියෙන එකත් හොඳයි. පණිවුඩ ඉක්මනට ලබා ගන්න පුළුවන්. ලංඩනයට ගිහින් ඉංගිරිසි සංස්කෘතියට තියෙන තැන මුස්ලිම් සංස්කෘතියට තබා කතෝලික සංස්කෘතියටවත් ලැබෙනවා ද කියා බලන්න. කාදිනල්තුමාට නරක ද ගිහින් කැන්ටබරියෙ හරි යෝක්හි හරි ආච්බිෂොප්තුමා හමුවන්න.

 

ආතල්ගමේ පිටුපස තියෙන්නෙ ගෝඨාභය එළවීම නො නොවෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය එළවීම. බුද්ධ ගෝ කියන එක තමයි කියන්නෙ. අද කාදිනල්තුමයි මුස්ලිම් මෞලවීලයි බෝන් අගේන් දේශකයනුත් එකට වැඩ කරන බව පේනවා. ඒ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු තැන නොදීමට. නවසිලන්තයේ මුස්ලිම් යාඥාකරුවන්ට වෙඩි තැබීමට විරුද්ධව මුස්ලිමුන් පලිගත්තේ මෙරට කතෝලිකයන්ගෙන්. ඒ දවස්වලත් මා ඒ ගැන කියා ඇති. නවසීලන්තෙ මුස්ලිමුන්ට පහර දුන්නෙ ක්‍රිස්තියානි අයකු. මුස්ලිමුන්ට, සහාරන්ට ක්‍රිස්තියානි ආගම සහ කතෝලික ආගම අතර වෙනස තේරෙන්නෙ නැතුව ඇති. කොහොමටත් අද කාදිනල්තුමා ඒ ප්‍රහාරයෙන් සහාරන් නිදොස් කර නිදහස් කරන්න කටයුතු කරලා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව මුස්ලිමුන් එක්ක එකතු වෙන්න ද කියල අහන්න වෙනවා.  කාදිනල්තුමාත් සිරිල් ගාමිණී දේවගැතිවරයාත් වටින් ගොඩින් කියන්නෙ මෙතන ගෝඨාභය පත් කරන්න කුමන්ත්‍රණයක් තිබුණ කියා.

 

එතැන නොසැලකිල්ලක් තියෙන්න ඇති. ඒත් චේතනාන්විතව මිනිස් ඝාතනයක් බුද්ධි අංශවලින් කෙරුණෙ නැහැ. නොසැලකිල්ලට රනිලුත් වැරදිකාරයෙක්. සමස්ත යහපාලන ආණඩුව ම වැරදි කාරයො. දින පනස්දෙකේ නීත්‍යානුකූල ආණ්ඩුව පෙරළා දැමූ සියල්ලන් වග කියන්න ඕන. දින පනස් දෙකේ ආණ්ඩුව ජෙප්පන් හා සෙප්පන් එකතු වෙලා පෙරළා නොදම්මන්න පාස්කු ප්‍රහාරයක් සිද්ධ වෙන්න තිබුණෙ නැහැ. බුද්ධි අංශ නොසලකා හැරෙන්නෙ නැහැ.

 

අද කතෝලික සභාව මුස්ලිම් බලවතුන් බෝන් අගේන් අය තමන් අතර ඇති සියලු ප්‍රශ්න අමතක කර සිංහල බෞද්ධ සංස්කෘතියට 1505 සිට නැති වුණු විශේෂත්වය තව දුරටත් එලෙසම පවත්වා ගැනීමට එකතු වෙලා තියෙනවා. ඒ සඳහා නිර්පාක්‍ෂික නිර්දේශපාලනික ආදී බොරු කතා ටිකක් කියනවා. ද්වයංගුල පඤ්ඤා අය දුරක් කල්පනා කරන්නෙ නැහැ. පුරුක්වලටත් එච්චර දුරක් පේන්න නැහැ. කුරගල අහිමිවීම මුස්ලිම් බලවතුන්ට දරා ගන්න බැහැ. දෙමළ ත්‍රස්තවාදයට උපකාර කළ පූජකයන් ඉන්න කතෝලික සභාවට නන්දිකඩාල් ජයග්‍රහණය විඳ දරා ගන්න බැහැ. කොටින් ම බෞද්ධයනට හිමි දේ ආපසු දීමට කාදිනල්තුමා, කතෝලික සභාව හා මුස්ලිම් බලවතුන් සූදානම් නැති බවක් පේනවා.

 

රාජපක්‍ෂලා හදිසියේ ම අසාර්ථක වෙලා. අර පුරුක් නිකමටවත් කල්පනා කරනවා ද 2005 සිට 2015 දක්වා රාජපක්‍ෂලාගේ ආණ්ඩු මෙරට තිබුණු බව. ඒ ආණ්ඩු අසාර්ථක වුණෙ නැහැ. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම අසාර්ථක වීමක් දඑහෙනම් මේ අසාර්ථකවීම රාජපක්‍ෂලාගේ අදක්‍ෂකමකට සිදු වුණා කියන්නෙ කොහොම ද? මේ අදක්‍ෂකම අලි හෙම්බිරිස්සාව නිසා ඇති වෙච්ච එකක් බව කියන්න අර පුරුක්වලට බැහැ. ඔවුන්ට පේන්නෙ ඇඟිලි දෙකයි පුරුකයි.

 

මෙරට හැම ආණ්ඩුවක් ම වගේ අසාර්ථකයි. ඒ ණය ගැනීම අතින්. අපි ණයට කාපු ජාතියක්. ජෙ ආර් තමයි මෙහි එක් පැත්තකින් මූලිකයා. ඔහු තමයි ඉස්සෙල්ල ම ජාමූලට ගියේ. එදා ඉඳන් අපි තව තවත් පහතට ගියා පමණයි. මා මහා බැංකු වාර්තාවලින් උපුටාගත් දත්ත කිහිපයක් පහත දක්වනවා. විදේශවල ඉන්න ශ්‍රමිකයන්ගෙ ප්‍රේෂණ මෙසේයි. ඒ ඩොලර් මිලියනවලින්. 2018, 2019, 2020, 2021 අවුරුදුවල ඒ පිළිවෙළින් 7015.4, 6717.2, 7103.9, 5491.5 වුණා. 2022 පළමු මාස දෙකේ එය 454.7ක් වුණා. ඉතා පැහැදිලිව 2018, 19, 20 අවුරුදුවල සාමාන්‍යය 7000ක් පමණ වූ ප්‍රේෂණ 2021 දී 5500ක් පමණ වෙලා.

 

සංචාරක ව්‍යාපාරයේ අදාළ අවුරුදුවල  පිළිවෙළින් 4380.6, 3606.9, 682.4, 506.9 වුණා. 2022 මුල් මාස දෙකේ එය 321.6 යි. දැන් එය ශූන්‍ය වෙන්න ඇති. මා දැක්කා ආතල්ගමේ නම් විදේශිකයන් කිහිප දෙනකු ඉන්නවා. සංචාරකයන්ගෙන් ලැබුණු විදේශ විනිමය 2020 දී 3000 කින් පමණ අඩුවෙලා. 2021ට ගණන් බැලුවොත් ප්‍රේෂණ හා සංචාරක ආදායම අඩු තරමෙන් ඩොලර් මිලියන 4500කින් අඩුවෙලා. ඒ කියන්නෙ ඩොලර් බිලියන 4.5කින් අඩු වෙලා. අපේ ඩොලර් සංචිතය අඩු වුණෙ ගෝඨාභය රාජපක්‍ෂගෙ අදක්‍ෂකමකට ද? අප අර අලි වසංගතය පාලනය කර ගත්තෙ ගෝඨාභය රාජපක්‍ෂගෙ අසමත් වීම නිසා ද? එන්නත් ගෙන්වීමටත් ඩොලර් යන්න ඇති. සර් ෆේල් කතාව පටන් ගත්තෙ ගෝඨාභය පත් වෙලා මාස දෙකකින් පමණ!

 

මා ආර්ථික විද්‍යාඥයෙක්වත් භෞතික විද්‍යාඥයෙක්වත් නො වෙයි. ඒ දෙක අතර වෙනස්කමක් තියෙනවා. භෞතික විද්‍යාවෙ තියෙන්නෙ වැඩ කරන පට්ටපල් බොරු. ආර්ථික විද්‍යාවෙ තියෙන්නෙ වැඩ නොකරන පට්ටපල් බොරු. ඊයේ අවුරුදු දා අපේ ගෙදර ශීතකරණය කැඩුණා. ඒකත් හොඳ වැඩ ඇල්ලිලක්. ඔව් ඔව් ජාතික චින්තනයට  ශීතකරණ ප්‍රශ්නයක් නො වෙයි. අපේ ගෙදර වායු සමීකරණ නම් නැහැ. ඒත් මැටිවලින් හදපු කාමරයක් නම් තියෙනවා. කොහොම හරි කාර්මිකයකු පැමිණ අවුරුද්දට වැඩ අල්ලා ශීතකරණය වැඩ කරන තත්වයට ගෙනාවා. ඔහු භෞතික විද්‍යාව හදාරලා නැහැ. එහෙත් එහි ඇතැම් දේ ගැන ප්‍රායෝගික ව ලත් අත්දැකීම් තියෙනවා.

 

අද අපට ඩොලර් අර්බුදයක් තියෙනවා. ණයට කෑම තවදුරටත් කරන්න බැරි බවක් අලි හෙම්බිරිස්සා වසංගතයන් කියැවෙන බවක් බැලූ බැල්මට පේන්න තියෙනවා. දැන් ඔය ආර්ථික ප්‍රශ්නය විසඳන්න සමත් කාර්මිකයකු, ඊනියා ආර්ථික විද්‍යාඥයකු ඉන්නවා ද? ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාවෙ තියෙන්නෙ වැඩ නොකරන පට්ටපල් බොරු.

 

අපට දළ වශයෙන් ගත්ත ම ඩොලර් ලැබෙන්නෙ අපනයනවලින් ප්‍රේෂණවලින් හා සංචාරක ව්‍යාපාරයෙන්. අප වියදම් කරන්නෙ ආනයනවලට.  මහා බැංකු වාර්තාවල මා පුදුම දෙයක් දැක්කා. ඔය විදුලිය නැති වෙලාවට මහා බැංකු වාර්තා කියවන එක හොඳයි. එක එක දේ පේනවා. 2020 දී අපේ ප්‍රේෂණ 7103.9යි සංචාරක ව්‍යාපාරයෙන් 682.4යි. අපනයන 10047.4යි. එය එකතු කළාම ඩොලර් මිලියන 17833.7ක් වෙනවා. ඒ කියන්නෙ 2020 දි අපට ඩොලර් මිලියන 17833.7ක් ලැබිල තියෙනවා. ඒ අවුරුද්දෙ අපේ ආනයන සඳහා ගිහින් තියෙන්නෙ ඩොලර් මිලියන 16055.3ක් පමණ. ඒ අනුව බැලුව ම අපේ ආදායම වියදමට වැඩියි. එහෙනම් අපි ණය වෙන්නෙ ඇයි?

 

මා ආර්ථික විද්‍යාඥයකුවත් භෞතික විිද්‍යාඥයකුවත් නො වෙයි. මා දන්නෙ එකතු කරන්න අඩු කරන්න වගේ දේ. ඉහත එකතු කිරීම හරිද දන්නෙ නැහැ. අනෙක් අතට එකතු කරන්න ඕන ඔහොම නොවෙයි ද කියල දන්නෙත් නැහැ. තවත් දේ එකතු කරන්න අඩු කරන්න තියෙනවා ද දන්නෙ නැහැ. ඔය භාරය වගේ දෙයින් වැඩි කරල එකතු කරන්න ඕන ද කියා දන්නෙත් නැහැ. මට වැඩි කිරීම එතරම් බැහැ. මා කුඩාකල දශම වැඩි කිරීම තේරුම් ගන්න බැරුව ඇඬුව. තේරුම් ගන්නවා කියන්නෙ දැන ගන්නවා කියන එක නො වෙයි. ඒ කොහොම වුණත් මට මෙය තේරෙන්නෙ නැහැ. 2020දි සංචාරක ව්‍යාපාරයෙන් ලැබීම අඩුවෙලා තියෙද්දිත් අපේ ආදායම වියදමට වැඩියි. 2020 අසාමාන්‍ය අවුරුද්දක් ද දන්නෙත් නැහැ.

 

මට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපනයනවලින් ලැබෙන මුදලින් රටට එන්නෙ 40%ක පමණ ප්‍රමාණයක් ද? ආනයනවල දි අප උණ්ඩියල් ක්‍රමය යොදා ගන්නවා ද? අප කිවුවට ව්‍යාපාරිකයන්. සමහරව විට ආතල්ගම නඩත්තු කරන ව්‍යාපාරිකයන්. මට සිගිවෙන්නෙ හොරා වෙන අයකුට හොරා කියමින් ඒ තැනැත්තා පසුපස දුව යන අයුරුත් හොරා පසුපස ද්වයංගුල පඤ්ඤා පුරුක් හා තවත් අය දුවන අයුරුත්.