Main Logo

Friday 22 April 2022

සිංහල බෞද්ධ ඉරණම හා මහානායක හිමි ප්‍රකාශය

 සිංහල බෞද්ධ ඉරණම හා මහානායක හිමි ප්‍රකාශය

 

අද මෙරටින් සිංහල බෞද්ධ සංස්කෘතිය අතුගා දැමීමේ ව්‍යාපාරයක් ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. ඒ පිළිබඳ ව මට තේරුණු දවසේ සිට මා ඒ ගැන ලියනවා. මා කාදිනල්තුමා ගැන ලියන්න වෙලා බොහෝ කල්. ගිහි බෞද්ධයන් පමණක් නොව හාමුදුරුවරුන් ද එතුමාට රැවටී ඉන්න කාලයේත් මා ලිවුවා. මා කාදිනල්තුමා ගැන විපරමින් ඉන්නේ වතිකානුව රත්නපුරේ පදවියක් ඇති කර එතුමා එහි යැවීමටත් පෙර සිට.  කල් ගත වී ඒ තේරුම් ගත් අය මට දැන් කියනවා මොනව හරි කරන්න කියා හරියට මා කා බී විශ්‍රාම සුවයෙන් නිදා ගෙන ඉන්නවා කියා හිතාගෙන. මා දිනපතා ලිපියක් ලියන බවවත් ඇතැමුන් දන්නෙ නැහැ. ලිපි කියවන අයගෙන් කිහිප දෙනෙකු ඇහුවා ඊයේ ලිපියේ මා මහින්ද රාජපක්‍ෂ අස් වෙන්න ඕන කියා ලිවුවෙ ඇයි කියා.

 

ඒ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය පවත්වාගෙන යෑමේ අරමුණෙන්. මට වෙනත් අරමුණු නැහැ. දරුමුණුබුරන්ගේ සොයුරු සොයුරියන්ගේ හා හිතවතුන්ගේ දුක සැප සොයා බැලීම පමණයි වෙනත් කාර්යයක් හැටියට මගෙන් කෙරෙන්නේ. මට ව්‍යාපාරික හරි ඊනියා ශාස්ත්‍රීය හරි අරමුණු නැහැ. මගේ හිතට එන අදහස් ශාස්ත්‍රීය කියන සංකල්පය ඉවත දමා මා ලියනවා. 

 

මහින්දට අස්වෙන්න කියන අයට විවිධ අරමුණු තියෙනවා. මහින්ද කියන්නෙ මෙරට යුග පුරුෂයෙක්. අද කලාලකරුවන්ටත් යුග පුරුෂයන් කියනවා. මා මහින්ද යුග පුරුෂයකු කියා කියන්නේ ඔහු බටහිර හා ඉන්දීය විජාතිකයන්ගෙන් මෙරට ස්වෛරීභාවය රැකගත් තැනැත්තා වීමත් බටහිර හා ඉන්දීය අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දී සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගත් තැනැත්තා වීමත් නිසා. ඔහුගේ නම ඉතිහාසගත වී ඉවරයි. 

 

එහෙත්  ඔහුගේ පුතුන් තුන් බෑ ජටිලයන් සිංහල බෞද්ධ සංස්කෘතියට පටහැනිව ක්‍රියා කරනවා. අද පවත්නා ආර්ථික අර්බුදයට හේතුව ඔවුන් යැයි ජනතාවට කියා දී ඇතත් ජනතාව එය විශ්වාස කරතත් ඔවුන්ගෙන් ඒ සඳහා වූ දායකත්වය සුළු එකක්. ආර්ථික අර්බුදයට හේතු මා නැවත සාකච්ඡා කිරීමට අදහස් කරන්නෙ නැහැ. ඒත් තුන් බෑයන් සමාජයේ දක්වා ඇති විස්කම් වුවමනාවටත් වැඩියි. අද ආණ්ඩුව අප්‍රසාදයට ලක්වීමට ඔවුන් ප්‍රධාන හේතුවක්. 2015 ආණ්ඩුව පෙරළීමට ඔවුන් හා බාප්පා විශාල වශයෙන් දායක වුණා.

 

අද අප දකින්නේ ලංකා වසන්තය. මා කලින් කියා ඇති පරිදි මෙය ආරම්භ වුණේ සර් ෆේල් ව්‍යාපාරයෙන්. ඉන් පසු කාදිනල්තුමා වැඩේ අතට ගත්තා. ඊනියා මහා මොළකරු සෙවීමේ මුවාවෙන් එතුමා කරන්නේ සහරාන් සහ මුස්ලිම් අන්තවාදීන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිදොස් කර නිදහස් කර ප්‍රහාරය ගෝඨාභය බලයට පත් කිරීමට කරන ලද්දක් බවට සැකයක් ජනතාව අතර පැතිරවීමයි. එහි දී ඔහුගේ සහායට එන්නේ පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බව කී දප්පුල ද ලිවේරායි. ඔහු නීතිපති වූ පළමු අබෞද්ධයා නො වෙයි. ඒ කුමක් වුවත් දැන් සියල්ල පැහැදිලියි.

 

2019 බලයට ඒමට ගෝඨාභය පාස්කු පාස්කු පාස්කු ප්‍රහාරයක් කළ යුතුව තිබුණේ නැහැ. 2018ත් පොදු ජන පෙරමුණු අපේක්‍ෂකයන් මැතිවරණ ජයග්‍රහණ ලබා තිබුණෙ. දින පනස් දෙකේ ආණ්ඩුවත් එය තහවුරු කළා. ඒ ආණ්ඩුව බලයේ සිටියා නම් පාස්කු ප්‍රහාරයක් සිදු වන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනෙ මෛත්‍රිපාල නොව දින පනස් දෙකේ ආණ්ඩුව බිඳ දැමීමට කටයුතු කළ සියල්ලන් ම. එහි දී තමන් ජාතික කඳවුරේ ඉන්න බව අඟවන අයත් දායක වෙලා. ඒ තම පෞද්ගලික අපේක්‍ෂා වෙනුවෙන්.

 

පාස්කු ප්‍රහාරය ගැන දුක්ඛප්‍රාප්ත වී ඉන්න කාදිනල්තුමා දෙමළ ත්‍රස්තවාදීන් ඝාතනය කළ නයාරු කෝකිලායි කතෝලික ධීවරයන් වෙනුවෙන් කෙළේ කුමක් ද? මෙරට සිංහල කතෝලික ජනතාව ඒ ගැන සිතා බලන්න ඕන. කාදිනල්තුමා කරන්නේ මුස්ලිම් අන්තවාදීන් නිදොස්කර නිදහස් කර කතෝලික මුස්ලිම් සමගියක් ඇති කිරීමයි. සමගිය හොඳයි. ඒත් එය සිිදුවන්නේ බ්‍රවුන්රිග්ගේ මුණුබුරන්ගේ සැලැස්මකට අනුවයි.

 

ඕමල්පේ සෝභිත හිමියන් ඊයේ පාස්කු පින්කමක් පවත්තල. උන්වහන්සේ රත්තරන් පොලු භාණ්ඩාගාරයට යැවීමට කටයුතු කළ බවක් දැන ගන්න නැහැ. චම්පක වෙනුවෙන් මන්ත්‍රී ධුරය අත්හැරි උන්වහන්සේ කර ඇත්තේ දේශපාලන පින්කමක්. චම්පක කලක් ජාතික සළුපිළි පොරවා ගත් අයකු පමණයි. ඔහු කලක් සෑඟ වී සිටියේ කතෝලික පූජකවරුන්ගේ සහායෙන්. සෝභිත හාමුදුරුවන් හා කතෝලික කන්‍යා සොහොයුරියන් එකතු වී ඝාතනය වුණු  නයාරු කෝකිලායි ධීවරයන් වෙනුවෙන් පින්කමක් කරන තුරු අප බලා සිටිනවා.

 

අද පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ඇති ජනතා විරෝධය සිංහල බෞද්ධ සංස්කෘතිය අතුගා දැමීමට බ්‍රවුන්රිග්ගේ මුණුබුරන් යොදා ගන්නවා. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ගෝඨාභය එළවීමයි. ඒ අවසානයේ දී සිංහල බෞද්ධ සංස්කෘතිය එළවා දැමීමටයි. නන්දිකඩාල් පරාජයෙන් වියරු වැටුණු එංගලන්තය ඉන්දියාවත් සමග එකතු වී අද මාරාවේශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව කටයුතු කරනවා. මහින්දගේ පුතුන් හා බැසිල් තම නොමනා හැසිරීමෙන් එයට උපකාර කරනවා. මා කියන්නේ නැහැ පුතුන්ගේ මව අබෞද්ධ නිසා ඔවුනුත් අබෞද්ධ කියා. එහෙත් ඔවුන්ගේ චර්යාව සිංහල බෞද්ධ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. මා කියන්නේ විවිධ කොමිස් ගැන ම නොවෙයි. අද ජනතා විරෝධය රාජපක්‍ෂ විරෝධයක් බවට පත් වී ඇත්තේ ප්‍රධාන වශයෙන් ම ඔවුන් හා බැසිල් නිසා. ඒ විරෝධය බ්‍රවුන්රිග් මුණුබුරන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට යොදා ගන්නවා. 

 

පුතුන්ට බලයක් ලැබෙන්නේ තාත්තා මහින්ද අගමැති ව සිටින නිසා. ඔවුන්ට ඇති බලය නැති කරන්න පුළුවන් නම් මහින්ද අගමැති ව සිටීම මට ප්‍රශ්නයක් නොවෙයි. එසේ කළ හැකි නම් අගමැති කමට වඩාත් ම සුුදුස්සා මහින්දයි. මහින්ද අගමැති කමෙන් අස්විය යුත්තේ අද පවත්නා තත්වය මත සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමටයි. ඒත් අප ප්‍රවේසම් වෙන්න ඕන. මහින්ද අගමැති කමෙන් අස්වෙන්න ඕන මෙරට ප්‍රධාන බටහිර නියෝජිතයා වූ රනිල් අගමැති කිරීමට නො වෙයි. රනිල් අගමැති කිරීමට කටයුතු කරන්නන් අතර දින පනස්දෙකේ ආණ්ඩුව බිඳ දැමීමට රනිල්ලා මංගලලා සමග එකතු වූ අය ද ඉන්නවා. එමෙන් ම ඩලස් වැනි චන්ද්‍රිකාගේ සුදු නෙළුම් හා අවලම් තවලම් ව්‍යාපාරවල සිටි නේකීය (ඒකිය නොවන) රාජ්‍යාපේක්‍ෂකයන් ද අගමැති ධුරයට සුදුසු නැහැ. චම්පක ගැන කතා කරන්නවත් දෙයක් නැහැ.

 

අපේ මහානායක හාමුදුරුවන් ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලමින් නිකුත් කරන ලද ප්‍රකාශය ගැනත් වචනයක් කියන්න ඕන. ඒ ප්‍රකාශය ලිවුවෙ කවුද කියන එක ප්‍රශ්නයක්. විජයදාස රාජපක්‍ෂ ඒ ගැන දන්නවා ද? ව්‍යවස්ථා සංශෝධන කිසිවක් දැන් අවශ්‍ය නැහැ. අපට ඕන නව ව්‍යවස්ථාවක්. ව්‍යවස්ථා සංශෝධනවල දි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙ දි කළ මගෝඩි වැඩ සිද්ධ වෙන්න පුළුවන්. කාරක සභා අවස්ථාවෙදි රනිල්ලට අවශ්‍ය දේ රිංගවන්න පුළුවන්. ඒත් අද තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඔය ප්‍රකාශයට අස්ගිරි මහානායක හාමුදුුරුවන් අත්සන් කළා ද යන්නයි. උන්වහන්සේගේ අත්සන ලෙස ඇත්තේ ඡායා අත්සනක් ද? ඒ ප්‍රකාශය නුවර ගෙන ගියේ කවුද? ඕමල්පේ සෝභිත හාමුදුරුවන් දන්නවා ද?

 

පෘතුගීසීන් පැමිණීමෙන් පසු සිංහල බෞද්ධ සංස්කෘතිය මෙතරම් තර්ජනයකට මුහුණ පෑ අවස්ථාවක් නැහැ. ජනතාව අද ඉන්නෙ ප්‍රකෝපයට පත් කිරීමෙන්. ඔවුන්ට  අප කියන කිසිවක් ඇහෙන්නෙ නැහැ. ඒත් මේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමේ තර්ජනය හමුවේ අප අභීත ව නැගී හිටින්න ඕන. අපට බ්‍රවුන්රිග්ගේ මුණුබුරන් පරාජය කරන්න පුළුවන්.