Main Logo

Friday 8 April 2022

කොරියාවෙන් කොරියාවට හෙවත් සිද්ධාර්ථ ගෝ

 

කොරියාවෙන් කොරියාවට හෙවත් සිද්ධාර්ථ ගෝ  

 

 

මේ විද්වතුන්ගේ කාලයයි. අප වැනි ගෝත්‍රවාදීන් මුග්ධයන් සමාජයෙන් ජනමාධ්‍යයෙන් ඉවත් කෙරී සිටින කාලයයි. මේ පසුගාමී සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවත් කෙරී කොරියන් ක්‍රිස්තියානි සංස්කෘතියක් මෙරට තහවුරු කිරීමේ කාලයයි. අප දියුණුවේ මගට අවතීර්ණ වන කාලයයි. සියලු සිංහල බෞද්ධ රොඩූ බොඩු අතුගා දමන කාලයයි. එවන් කාලයක ඉපදීමට ලැබීම ම මොන තරම් දෙයක් ද? අප කුඩා කල කොරියාව කිවුවේ පැල්පත් වැඩි ප්‍රදේශවලට. අද කොරියාව බටහිර මිනුම් දඬු අනුව ක්‍රිස්තියානි වී දියුණු වූ රටක්. අප අද ඉන්නේ එදා කොරියාව හිටපු තත්වයේ වෙන්න පුළුවන්. එහෙත් අපටත් ගෝටා ගෙදර යවා වත්මන් කොරියාවක් වෙන්න පුළුවන්. 

 

ඊයේ සරත් නන්ද ද සිල්වා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා විජේදාස රාජපක්‍ෂ යෝජනාව අනුව යමින් ඊනියා අන්තර්වාර පාලනයක් ඇති කරන්න පුළුවන් කියා. ඒ සඳහා ව්‍යවස්ථාවේ 74 වැනි හා 43 වැනි වගන්ති ඉදිරිපත් කර තිබුණා. සරත් නන්ද ද සිල්වා මෙරට අගවිනිසුරු ධුරය දෑරූවෙක්. මා ඔහු ඉදිරියේ කොළඹ විශ්වවිද්‍යාලයට විරුද්ධ ව නඩු කී විද්‍යාඥයකු වීමට නොහැකි වූ අප්‍රබුද්ධයෙක්. මා නීතිය තබා විද්‍යාවවත් ගණිතයවත් දන්නේ නැහැ. සාමාන්‍ය පෙළට පමණක් විද්‍යාව හදාරා ඇති ජඩමාධ්‍යවේදීනුත් මට වඩා විද්‍යාව දන්නවා. ඔවුන් මට විද්‍යාත්මක විධි ක්‍රමය කියා දෙනවා. මා විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කී විට ඔවුන් මට හිනහ වෙනවා. ඒත් ඔවුන් තමන්ට ගුරුත්වාකර්ෂණ බලය දැනෙන්නේ මොන ඉන්ද්‍රියට ද කියා කියන්නේ නැහැ. මගේ පිහිටට හාමුදුරුනමක්වත් එන්නේ නැහැ. හාමුදුරුවන්ටත් බුදුහමට වඩා විද්‍යාව හා තර්කය ඉහළයි. උන්වහන්සේ මගේ ලෝකය ප්‍රතික්‍ෂෙප කරනවා. බුදුදහම විද්‍යාත්මක බව හා තර්කානුකූල බව දේශනා කරනවා. මා අසමත් බව මට පෙන්වා දෙනවා.

 

ඒ වුණත් මා ගණිතය දන්නේ නැති වුණත් මට සාමාන්‍ය පෙළට රසායන විිද්‍යාව ඉගැන්වු ක්‍රිස්ටි ගුණසේකර ගුරුතුමා අර්ථදැක්වීම නැත්නම් නිර්වචනය කිරීම ගැන හොඳ පාඩමක් වයස අවුරුදු දහහතරේදී කියා දුන්නා. අවුරුදු හැටතුනකට පසුවත් එතුමා අපට ඒ කියා දුන් ආකාරය මැවී පේනවා. සාමාන්‍ය පෙළ උසස් ගණිතය (Advanced Mathematics) ඉගැන්වූ අරසරත්නම් ගුරුතුමා මට අවකල සංගුණකය අර්ථදක්වන්න කිවුවා. ඒ අනෙක් සිසුන්ට එය හරියට කර ගන්න බැරුව තියෙන විට.  ඒ අවුරුදු පහළොවේ දී. අද ගණිතය බැරි වුණත් එදා එය අර්ථදැක්වීමේ හැකියාව මට තිබුණා. එ අවුරුද්දේ පාසලේ උසස් ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලැබුණේ මට පමණයි. 

 

අර්ථදැක්වීම් හෙවත් නිර්වචනය කිරීම් ගැන මා සැලකිල්ලක් දක්වනවා. ඒ ඇරිස්ගේ න්‍යාය අනුව නිර්වචනවලින් පටන් ගන්න ඕන බැවින්. නිර්වචනය නිර්වචනය කරන්නේ මොන වචනයෙන් ද කියා ඇසූ විට ඇරිස් මුණ එල්ල ගන්නවා. කාන්ට් දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ ම නිර්මාණයක් කියා ආරම්භයේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න හෑදුවා. මා දාර්ශනිකයෙක් නො වෙයි. ඒත් මා ආරම්භයට විරුද්ධයි. මා රේඛීය චින්තනයෙන් පිට ගිය අයෙක්.

 

ඒත් අප ජීවත් වන්නේ පඬිවරුන් සමග. එබැවින් මා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ ඔවුන්ගේ ක්‍රමයට එකඟ ව. මා සියලු පඬිවරුන්ගෙන් ඉල්ලා හිටින්නේ ඔය අන්තර්වාර හරි අන්තර්කාලීන හරි ආණ්ඩුවක් හරි වෙන කෙහෙල්මලක් හරි ව්‍යවස්ථාවේ නිර්වචනය කර ඇත්තේ කොහේ ද කියා. ව්‍යවස්ථාව මුල සිට අගට කියවා ඇති චතුර අල්විස්වත් මට එය කියා දෙනවා ද? පඬිවරුන් අපට කියන්නේ ව්‍යවස්ථාවේ නැති දෙයක් කරන්න ද?

 

සරත් නන්ද ද සිල්වා හා විජේදාස රාජපක්‍ෂ කියන 74 වගන්තිය මෙහි පළවෙනවා.

 

74 (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට යටත් ව

(i)         කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා නියෝජ්‍ය කාරක සභාපතිවරයා තෝරා පත්කිරීම හා ධුරයෙන් ඉවත් වීීම පිළිබඳ ව ද,

(ii)        පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේ පිළිවෙළ විධිමත් කිරීම සඳහා ද, පාර්ලිමේන්තුවේ රැස්වීම්වල දී විනය ආරක්‍ෂා කිරීම සඳහා දආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කොට ඇත්තා වූ හෝ බලය දී ඇත්තා වූ හෝ වෙනත් කාරණා සඳහා ද යෝජනා සම්මතයෙන් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලැස්වීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය. 

 

එහි අන්තර්වාර කතාවක් නැහැ. එහි කියන්නේ  යෝජනා සම්මතයෙන් ව්‍යවස්ථාවෙන් නියම කොට ඇත්තා වූ හෝ බලය දී ඇත්තා වු වෙනත් කාරණා සඳහා විධිවිධාන සැලැස්වීමට පාර්ලිමේන්තුවට බලය ඇති බව ය. එහි වැදගත් ම කරුණ වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කොට ඇත්තා වූ හෝ බලය දී ඇත්තා වූ කාරණා සඳහා යන්න ය. අන්තර්වාර පාලනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර තියෙනවා ද

 

අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට අගමැති කෙනකු යෝජනා කරන්න පුළුවන්. එය යෝජනා සම්මතයෙන් කරන්න පුළුවන්. ඒ යෝජිතයා අගමැති ලෙස පත් කිරීමට ජනාධිපතිතුමාට 43 වැනි වගන්තියෙන් බලය පැවරෙනවා. එය කළ හැකියි. එහෙත් එය ඊනියා අන්තර්වාර පාලනයක් නො වෙයි. දින පනස්දෙකේ ආණ්ඩුවත් නව අගමැතිවරයකු යටතේ ව්‍යවස්ථානුකූල ව පත් කළ ආණ්ඩුවක්. එය ඊනියා අන්තර්වාර පානයක් වුණේ නැහැ.   අද ප්‍රශ්නය වී ඇත්තේ 113කින් පත් කර ගත හැකි අගමැති කවුද යන්නයි. විමල් වීරවංශලා පත් කර ගන්න කැමති අගමැති කවු ද? එයට අනෙක් අය එකඟ වේ ද? විමල්ලා ද අද අසමත් වෙලා. මේ අසමතුන්ගේ යුගය ද දන්නෙ නැහැ. විද්වතුන්ගෙ යුගයක් අසමතුන්ගෙ යුගයක් වෙන්න පුළුවන් ද?

 

ගෝටා ගෝ හෝම් කියන හාමුදුරුවරුන්ට මා කියන්නේ වැඩි දවසක් ගෙවෙන්න පෙර සිද්ධාර්ථ ගෝ කියන්න අද ඊනියා ජනතා සටන මෙහෙයවන එංගලන්ත විදේශ අමාත්‍යාංශය කටයුතු කරාවි කියා. එවිට අපට දියුණු කොරියාවක් වෙන්න පුළුවන්. ඩොලර් අර්බුදයට හේතුව සියල්ලන්. මාත් ඇතුලු සියල්ලන්. අපි අපේ ආදායමට වඩා වියදම් කර තියෙනවා.

 

එහෙත් රනිල්දාස කියන්නේ පළමු අනිවාර්ය කොන්දේසිය ජනාධිපති ගෙදර යා යුතු බවයි. එස් බී දිසානායක කිවුවාක් මෙන් ඔවුන් එදා ජේ ආර් මරවු කිවුවා. අද එවැන්නක් කියන්නේ නැහැ. එයට හේතුව එංගලන්තය එවැනි සටන්පාඨ ට්විටර් පණිවුඩයෙන් නොඑවීමයි. බටහිරයන් දන්නවා තමන් විරුද්ධ නායකයන් ඒ ඒ රටවල දී ඉවත් කරන්නේ කෙසේ ද කියා. 

 

 අද ලිපිය සකර්බර්ග් තහනමකට ලක් වී ඇති හෙයින් කරුණාකර  www1.kalaya.org වෙබ් අඩවියෙන් එය  කියවන මෙන් ඉල්ලා සිටින්න. සකර්බර්ග්ට අනුව මෙය ද්වේෂ සහගත කථනයක් (hate speech) !