Main Logo

Friday 29 April 2022

දෙවැනි පාණදුරා වාදයක්

 

දෙවැනි පාණදුරා වාදයක්

 

සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඇති සහනශීලීත්වය අද බොහෝ දෙනාට ඒ සංස්කෘතියට අපහාස උපහාස කිරීමට තෝතැන්නක් වෙලා. අද ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන ම හේතුව අප සිංහල බෞද්ධ සංස්කෘතියේ මධ්‍යම ප්‍රතිපදාවෙන් හා නිවන් මගින් බැහැරව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම හා සංස්කෘතිය පසුපස හඹා යෑමයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි පුද්ගලිකත්වය තුරන් කිරීමට වෑයම් කෙරෙනවා. ආත්මයක් ඇතැයි අප කියන්නේ නැහැ. ආත්මයක් ඇතැයි කීම විශ්වාසයකින් කෙරෙන්නක්. ආගම්වල ආත්මයක් ගැන කියැවෙනවා. එහෙත් එය විශ්වාසයක් පමණයි.

 

බටහිර විද්‍යාව ද ආත්මයක් ගැන කියනවා. ආත්මය ජෛවියකු  හරි ප්‍රාණියකු හරි සමග සම්බන්ධ විය යුතු ම නැහැ. අංශුවක් ඇතැයි කීම ම ආත්මවාදයක් වෙනවා. වෙනස්වීම ගැන බටහිර විද්‍යාවේ කියන්නේ යම් වස්තුවක වෙනස්වීම ගැනයි. අපේ රටේ භික්‍ෂූන් වහන්සේ වෙනස්වීම වෙනස් වන්නකු හරි වෙනස් වන දෙයක් හරි නැතුව සිදුවන බව පෙන්වා දී ඇති බව වයි කරුණාදාස මහතා පවසනවා. මා නමින් අයකු නැතුව ම වෙනස්වීමක් ගැන කතා කරන්න සිංහල බෞද්ධයනට පුළුවන්.

 

එහෙත් දහනවවැනි සියවසේ මුල සිට අපට ලැබුණු ක්‍රිස්තියානි නූතනත්ව දැනුම නිසා සංස්කෘතියෙහි ද වෙනසක් සිදුවෙලා තියෙනවා. සංස්කෘතිය ආදී වශයෙන් නාම පදවලින් කියැවෙන්නේ සම්මුති දැනුමක් බව පැහැදිලි විය යුතුයි. ඒ කෙසේ වෙතත් අප සිංහල බෞද්ධ සංස්කෘතියෙත් නූතනත්ව ක්‍රිස්තියානි සංස්කෘතියෙත් නැති පිරිසක් බවට පත් වෙලා. අද ඇති ප්‍රශ්න බොහොමයකට මුල එතැනයි.

 

ඒ අර්බුදය ඇති වී තියෙන්නේ අප නිවන් මගින් ඈත් වී අධිපරිභෝජනයට බොරු ෂෝක්වලට හා බොරු උගත්කමකට ඇදී ගොස් ඇති බැවින්. බොරු උගත්කමේ පට්ටපල් බොරු විද්‍යාව ද තියෙනවා. මට තවම ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර ව දැනගත් එක් පුද්ගලයකු පමණයි හමු වී ඇත්තේ. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව උගන්වනවා. එහෙත් ඔහු ඒ අනර්ඝ ඉන්ද්‍රිය මට පෙන්වීමට කැමති වුණේ නැහැ. ඊනියා සමාජවාදී අදහස් සුභසාධන රාජ්‍යයකට යොමු කර තියෙනවා. මේ ඒ රාජ්‍යයේ අවසාන කාලයයි. ඊනියා සිස්ටම් චේන්ජ් යන්න සුභසාධන රාජ්‍යය වෙනස් කිරීමක් වනු ඇති.

 

අද ඒ ඒ අය තම තමන්ට සාපේක්‍ෂව සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. කාදිනල්තුමා තමන්ට ආවේණික ආකාරයකට මුස්ලිම් අන්තවාදීන් පාස්කු ප්‍රහාරයෙන් නිදොස් කර නිදහස් කර වරද සිංහල බෞද්ධ පැත්තට හරවන්න උත්සාහ කරනවා. ආතල්ගම මුළුමනින් ම සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කෙරෙන්නක්. අර්බුදය දඩමීමා කරගෙන සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නැති කිරීමයි එහි කෙරෙන්නෙ. 

 

ඒ අතර ඇතැම් භික්‍ෂුන් වහන්සේත් සිංහල බෞද්ධ සංස්කෘතියට උන්වහන්සේලාට ආවේණික ආකාරයෙන් අපහාස කරනවා. මේ භික්‍ෂූන් වහන්සේ දේශපාලනිකයි. උන්වහන්සේ දේශපාලනික පක්‍ෂවලට අයත් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. එහෙත් යම්කිසි දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටිනවා. අර ගිහි ස්ත්‍රීන් පාමුල සිවුරු ඇතුරුවේ එවන් හාමුදුරුනමක්.

 

එපමණක් නො වෙයි. වෙනත් නිකායක මහානායක හිමියන් වහන්සේ කෙනකුගේ අත්සන ව්‍යාජ ව සකස් කළ භික්‍ෂුන් වහන්සේ නමක් ගැන දැන් ප්‍රසිද්ධයි. උන්වහන්සේත් දේශපාලන පක්‍ෂයක් බලයට පත් කිරීමට කටයුතු කරනවා. උන්වහන්සේට ආගමික පූජකවරුන් හා පූජකවරියන් ඉතා සම්පයි. අදාළ පක්‍ෂයේ නායකයාටත් ඒ අය සමීපයි. අද වන විට එක් දේශපාලන පක්‍ෂයක් උන්වහන්සේගේ අත්සන් ව්‍යාපාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කර තියෙනවා. එහෙත් අදාළ නිකාය දෙකෙන් එකකින්වත් අඩු තරමෙන් විමර්ෂණයක්වත් කර නැහැ. සමාව ගැනීමකින් සියල්ල අමතක කරලා. ඒ තමයි සිංහල බෞද්ධ සංස්කෘතියේ සහනශීලිත්වය.

 

එපමණක් නොව ජනාධිපතිතුමා ද උන්වහන්සේ සමග මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශයක් ගැන සාකච්ඡා කර තියෙනවා. එයත් සිංහල බෞද්ධ සංස්කෘතියේ සහනශීලීත්වයට උදාහරණයක්. ජනාධිපතිතුමා අර ව්‍යාජ අත්සන යෙදූ ප්‍රකාශය ගැන සාකච්ඡා කෙළේ ද යන්න දැන ගැනීමට නැහැ. මා කලින් කිවුවේ අප ඉන්නේ දෙබිඩි සංස්කෘතියක බව. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි උන්වහන්සේට දඬුවමක් නොකළත් ක්‍රිස්තියානි නීතිය යටතේ දඬුවම් කරන්න පුළුවන්.

 

යම්කිසි විධියකින් කාදිනල්තුමාගේ අත්සන ව්‍යාජ ලෙස වෙනත් පූජකවරයකු යෙදුවා කියමු. පැහැදිලි ව ම කාදිනල්තුමා මහ මොළකරු සොයාවි. පවු සමාවක් කරාවිද කියා මා දන්නේ නැහැ. ඔය පවු සමාව සිංහල බෞද්ධ සංස්කෘතියේ නැතත් ඒ යෙදුම නම් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ලබා ගත් එකක් බව පැහැදිලියි. කන්ෆෙෂන් යන්න පවු සමාවක් වුණේ කොහොම ද? සිංහල බෞද්ධ සංස්කෘතියට අගෞරව කරන භික්‍ෂූන් වහන්සේ ආගමිකයන්ට ඒ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීමට උපකාර කරන්නේ කතෝලික පරංගි ප්‍රතිපත්තිය අනුගමනය කරමින්.

 

මා නිවන ගැන කෙටි සටහනක් මුහුණු පොතේ ලියා පසුව සංවාදයකට ඉඩ සැලසුවා. එහෙත් එතැන වූ සංවාදයක් නැහැ. ඇතැමුන් මට උගන්වන්න සූදානම් වුණා. මට ඉගෙන ගන්න බොහේ දේ තියෙනවා. එහෙත් ඒ ඊනියා සිංහල බෞද්ධයන්ගෙන් නොවෙයි.  ඇතැමකු ඇසුවේ මිනිසුන්ට කන්න බොන්න නැති වෙලාවක නිවන ගැන කතා කරන්නේ ඇයි ද කියා. අප නිවන් මගෙන් ඈත්වීම අර්බුදයට බල පා ඇති බව ඔවුන්ට කියා දෙන්න බැහැ.  ඔවුන් සමග කළ හැකි සංවාදයක් නැහැ. මා ඔවුන්ගේ අපහාසවලට ඉඩක් නොදීමට තීරණය කළා.

 

එහෙත් අද වෙනත් තැන්වල සිංහල බෞද්ධ සංස්කෘතියට අපහාස උපහාස කෙරෙනවා. එසේ කරන්නන් පඬියන් පඬි නැට්ටන්. ඔවුන් හිතන්නේ ඔවුන් තාර්කිකය කියා බුද්ධිවාදීය කියා විශ්වාසය මත පදනම් වන්නෙ නැහැ කියා. එහෙත් ඇරිස්ටොටල් යුක්ලිඩ් ආදීන් පටන් ගත්තෙ විශ්වාසයකින්. ඊනියා අභ්‍යුහනයෙන් හෙවත් උද්ගමනයෙන් (induction) . A = B හා B= C නම් A =  C බව දන්නේ කෙසේද? ඒ බව සාධනය කළ හැකි අයකු ඉන්නවා ද?

 

මට වැටහෙන අයුරින් බුදුදහම  විශ්වාසය මත පදනම් වන්නෙ නැහැ. නිවන කියන්නෙ යළි ඉපදීම නැති කිරීම. එය ස්වර්ගයට යෑම වැන්නක් නො වෙයි. නිවන තැනක් නොවෙයි. සසර කෙළවර කිරීමට අප නිවන් සම්මාබෝධය  යැයි කියනවා. යළි ඉපදීම ගැන සාක්‍ෂි තියෙනවා. බටහිරයන් ඒ පිළිගන්නෙ නැත්තෙ එය ඔවුන්ගෙ සංස්කෘතියට පටහැණි නිසා. ඔවුන් දෝලන විශ්වයක් (oscillating universe) නොපිළිගන්නෙත් ඊනියා මහා පිපුරම පිළිගන්නෙත් ආරම්භය පිළබඳ ඔවුන්ගේ විශ්වාසය නිසයි.

 

දහනවවැනි සියවසේ පංච මහා වාද ඇති වුණෙ ආගමිකයන් බුදුදහමට අපහාස කළ නිසා. අද අපහාස කෙරෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට. අපට දෙවැනි පාණදුරා වාදයක අවශ්‍යතාවක් තියෙනවා.