Main Logo

Friday 1 April 2022

ගෝඨාභය ඉවත්කර ජනාධිපති වීමට කැස කවන්නන්ට විසඳුම් තියෙනවා ද

 ගෝඨාභය ඉවත්කර ජනාධිපති වීමට කැස කවන්නන්ට විසඳුම් තියෙනවා ද

 

ඊයේ රාත්‍රියේ අහිංසකයන් පිරිසක් ජනාධිපති නිවසට ඇතුල් වෙන්න උත්සාහ කරලා. යම් පිරිසක් ඒ නිවසට කිට්ටුවෙන් පිහිටි ජුබිලි කණුව අසල රැස්වෙලා. ඔවුන් සාමාන්‍ය මිනිසුන් බවයි කියැවෙන්නේ. ඇතැම් ස්ත්‍රීන් දරුවන් ද වඩා ගෙන පැමිණ තිබෙනවා. ඔවුන් එසේ පැමිණ ඇත්තේ විරෝධය පෑමට පමණක් ම වෙන්න ඇති. එහෙත් එය අසංවිධානාත්මක ව කෙරුණක් වෙන්න බැහැ. අපේ රටේ කිසිවකු අහස බලන් හිටියොත් විශාල පිරිසක් අහස බැලීමට එක් වෙන සිරිතක් තියෙනවා. ජුබිලි කණුවේ විරෝධය එක් අයකුගේ අදහසක් වෙන්න පුළුවන්. එහෙත් එය සංවිධානාත්මක ව හිතා මතා කෙරුණක්. ඔවුන් ආවේ ජනාධිපතිතුමාගේ දුක සැප බැලීමට නො වෙයි.

 

ටික වෙලාවකින් ආරංචියට විවිධ පිරිස් එක් වී තියෙනවා. ඔවුන් අතර කෙකරගාමීන් සිටි බව පැහැදිලියි. පසුව අත්අඩංගුවට ගත් අය අතර කෙකරගාමින් වැඩිය කියා කියනව. ඒක වෙන්න පුළුවන්. කෙකරගාමීන් බලන්නේ ජ වි පෙරමුණට වඩා විප්ලවවාදී වෙන්න. ජ වි පෙ හා එ ජා ප ඊනියා අසංවිධානාත්මක විරෝධතාවලට සහභාගි නොවීමට තීරණය කර ඇති විටෙක කෙකරගාමින්ට අවස්ථාව ලැබෙනවා විප්ලවවාදි පක්‍ෂය ගොඩ නැගීමට. ක්වොන්ටම් ජාගොඩයන් හයිසන්බර්ග්ටත් ක්වොන්ටම් භෞතිකය ඉගන් වූ විද්වතෙක්. විප්ලවවාදියෙක්.

 

මේ උද්ඝොෂණයට ජ වි පෙ පක්‍ෂයක් ලෙස නිල වශයෙන් සහභාගි වී නැහැ. එහෙත් ජන්මෙට වඩා පුරුද්ද ලොකු බව නැවතත් සනාථ කරමින් ජෙප්පන් ද කිහිප දෙනකු අත්අඩංගුවට පත් වී ඇතැයි කියනවා. සජිත්වත් රාජිතවත් රාජිත පුත් චතුරවත් අත්අඩංගුවට පත් වී නැහැ. ඉන් කියැවෙන්නේ ඔවුන් මේ උද්ඝෝෂණයට ප්‍රසිද්ධියේ සහභාගි වී නැති බවයි. ඒ කෙසේ වෙතත් ඉරිදා ඔවුන් පාරට බහිනවා කියනවා. ඒ ගෝඨාභය රාජපක්‍ෂ පාරට බස්සන්න.

 

අද ඩොලර් අර්බූදය හොඳට ම අමාරු තත්වයකට ඇවිත්. ඇතැමුන් කියනවා ආණ්ඩුවට ජනතාවගේ අමාරුව තේරෙන්නේ නැති බවත් ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව උනන්දුවක් නොදක්වන බවත්. ආණ්ඩුව උනන්දුවක් දක්වන්නේ නැත්තන් ආණ්ඩුවට ගෙදර යන්න වෙන බව පැහැදිලියි. ඒ උනන්දු නැති කතාව මෙරට බුද්ධිමතුන්ගේ තවත් ලිඳ ළඟ කතාවක් පමණයි. ආණ්ඩුවට ප්‍රශ්නය නොතේරෙනවාවත් ආණ්ඩුව උනන්දුවක් නොගන්නවාත් නො වෙයි. ආණ්ඩුවට ප්‍රශ්නයට විසඳුමක් නැහැ.

 

ආණ්ඩුවට පමණක් නොවෙයි කිසිවකුටවත් විසඳුමක් නැහැ. ඔය මිරිහානේ ජනාධිපති නිවසට ගිය අයටත් විසඳුමක් නැහැ. ජනමාධ්‍යවේදීන්ටත් විසඳුමක් නැහැ. ප්‍රශ්නය අප සියලු දෙනා ම ඇතිි කළ එකක්. නිදහස් අධ්‍යාපනය නිසා බිහි වු අරික්කාල් උගතුන් නිසා ඇති වුණු එකක්. ඔවුන්ට අරික්කාල් විසඳුමක්වත් නැහැ. නිකම් කතාව පමණයි. අර විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ ධම්මික පෙරේරා හා නඩය ඉදිරිපත් කළ විසඳුම කුමක් ද? තව තවත් කමිටු පත් කිරීමයි! ජනාධිපතිතුමා ඒ එක් කමිටුවක්වත් පත් කර නැහැ. ඒ උනන්දුවක් නැති කම නිසා නො වෙයි. කමිටු විසඳුමක් නොවන නිසා. මේ නිකම් ෂෝටීස් කමිටු විතරයි.

 

අද ආණ්ඩුවට ඩොලර් නැහැ. සතයක්වත් නැතුවා වගෙයි. ඒත් රටේ ඩොලර් යම් ප්‍රමාණයක් හරි තියෙන්න ඕන. අර උන්ඩියල් ක්‍රමයට මාරු කරපු ඩොලර් තියෙන්නෙ කා ළඟ ද? ඒ ඩොලර් ආණ්ඩුවට ගන්න බැරි මොක ද? නිිකම් නොවෙයි රුපියල් ගෙවලා. මේ රටේ එහෙම කරන්න බැහැ. ඒ සඳහා නීති නැහැ. මුදල් සම්බන්ධ සියලු බලතල තියෙනවා කියන පාර්ලිමේන්තුවට අවශ්‍ය නීති සම්පාදනය කරන්න බැරි ද? හර්ෂ ද සිල්වා හා එරාන් වික්‍රමරත්න අකමැති වුවත් ආණ්ඩුවට ව්‍යවස්ථානුකූල ව ඒ සඳහා පනතක් සම්මත කර ගැනීමට හැකි වෙන්න ඕන. ආණ්ඩුව අද කරන්නේ උන්ඩියල් හොරුන්ට බැගෑපත් වී ඇතැම් අත්‍යවශ්‍ය දේට ඩොලර් මිලියන කිහිපයක් ලබා ගැනීමයි.

 

මෙරට අද ඇඟලුම් කර්මාන්තය විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් බවට පත් වී තියෙනවා. අඟලුම් මගින් යම් විදේශ විනිමයක් උපයා ගන්න පුළුවන්. එහෙත් මෙහි දී සිදුවන්නේ ආණ්ඩුවට අලාභයක්. ඇඟලුම් සඳහා අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පිටින් ආනයනය කරන්න ඕන. ආණ්ඩුව අද නැති වුවත් එකල ඒ අමූද්‍රව්‍ය ආනයනය සඳහා ඩොලර් ලබා දුන්නා. ඇඟලුම් කර්මාන්තයෙන් එකතුවන අගය එතරම් විශාල නැහැ. එබැවින් රටට ලැබෙන ශුද්ධ අපනයන මුදල ඉතා ටිකයි. එහෙත් අපට ඒ මුදලවත් ලැබෙන්නේ නැහැ. අපනයන මුදලාලිලා ලැබෙන ඩොලර් රටට ගේන්නේ නැහැ. ඒ ඩොලර් සිංගප්පූරුවෙ හරි වෙනත් රටක හරි තැන්පත් කරනවා.

 

මෙහි ප්‍රශ්නය එසේ තැන්පත් කරන්නේ එකතු වූ අගය පමණකුත් නොවීමයි. අර අමුද්‍රව්‍ය ආනයනයට ආණ්ඩුව දුන් ඩොලරුත් පිටරටවලට ඇදී යනවා. ආණ්ඩුවට තිබුණු ඩොලරුත් නැහැ. ඉන්දියාවේ එවැනි දේ කරන්න බැහැ. අපේ නීතිවල හිල් බොහොමයි. හිල්වලින් ඩොලර් පිට වෙනවා. අර ඉන්දීය විසූරෙගෙන්වත් අහල බලනව ද එරට අදාළ නීති මොනවා ද කියා. ජී එල් පීරිස්ට ඒක අහන්න පුළුවන් ද?

 

ආණ්ඩුව අර්බුදය විසඳීමට උපදෙස් ගන්නෙත් ඒ හොරුන්ගෙන්මයි. හොරාගෙ අම්මගෙන් නම් තව කමක් නැහැ. මේ ආණ්ඩුව ගෙදර යවා සජිත් රාජිත පත්කර ගත්තත් ප්‍රශ්නය විසඳෙන්නෙ නැහැ. ඔවුන්ට විරුද්ධව ඇති චෝදනා බොහොමයි. මා කියන්නේ මූල්‍යමය වශයෙන් ඇති චෝදනා.  ඒ චෝදනා, චෝදනා පමණක් ලෙසින් ම තියේවි. මොන ආණ්ඩුව බලයට පත් වුණත් දේශපාලනඥයන් වැරදි කර බේරෙනවා. ඇතැමුන් නිදොස් කර නිදහස් කෙරී ගෙදර යනවා. ඇතැමුන්ට චෝදනාවත් ඉදිරිපත් වන්නේ නැහැ. මා රන්ජන් රාමනායකගේ සිනමාවවත් දේශපාලනයවත් අගය කරන්නේ නැහැ. එහෙත් ඔහු පමණක් හිරබත් කෑම කාට කාටත් මදිකමක්. 

 

ඇතැමුන් කියනවා අර්බුදයට හේතුව බැසිල් කියා. මා බැසිල් විවේචනය කරන්නේ අද ඊයේ නොවෙයි. අද ඔහු විවේචනය කරන අය ඔහු පස්සෙන් යද්දිත් මා ඔහු විවේචනය කළා. එහෙත් මා හිතන්නේ නැහැ ඔහු මෙරට විනාශ කර ආපසු ඇමරිකාවට යන්න ඉන්න අවලස්සන ඇමරිකානුවකු කියා. ඔහුටත් බොහෝ දේශපාලනඥයන්ට මෙන් ම වුවමනා බලය හා ධනය. ඔහුත් මොළ හතක් ඇත්තකු නොව ඉතා සාමාන්‍ය පුද්ගලයෙක්. ඔහුටත් ඩොලර් අර්බුදයට විසඳුමක් නැහැ. එහෙත් ඔහුට ජනාධිපති වීමට අවශ්‍යයි. ජනාධිපති සිහිනය ඇති බොහෝ දෙනකු ඉන්නවා. ඔහු හා අනෙක් අය අතර වෙනසක් තියෙනවා. ඔහු දැනටමත් ජනාධිපති කාර්යයන් සමහරක් කරනවා. එමගින් ප්‍රශ්න අවුල් කරනවා. 

 

ඩොලර් අර්බුදයට විසඳුම් නැතුවා නො වෙයි. එහෙත් ඒ සම්මත ආර්ථික විද්‍යාවේ නො වෙයි. මෙරට බලවතුන් දන්නේ තමන් සමග ඩිනර්වලට (රාත්‍රී භෝජන සංග්‍රහ) සහභාගි වන අයගේ සිතුම් පැතුම් පමණයි. මෙරට සිිටින බටහිර දැනුමට යට නොවුණු අය ඩිනර්වලට ආරාධනා ලබන්නේ නැහැ. ඔවුන් කියන දේට කිසිම දේශපාලනඥයකු සවන් දෙන්නෙත් නැහැ. මා කියන්නේ මා ගැන නො වෙයි. මා දන්නා දෙයක් නැහැ. එහෙත් මෙරට පාරම්පරික දැනුම දන්නා අය ඉන්නවා. ජනාධිපතිතුමාට වුවමනා නම් ඔවුන් මුණ ගස්සන්න පුළුවන්.  මෙරට ප්‍රශ්නවලට විසඳුම් ඇත්තේ ඊනියා උගතුන්ට නොව නූගතුන් බයියන් ගොඩයන් ආදී වශයෙන් කොන් කරන්නන්ටයි.