Main Logo

Sunday 10 April 2022

ඊයේ සහ අද හා නිර්පාක්‍ෂිකත්වය සහ එකොළහ

 

ඊයේ සහ අද හා නිර්පාක්‍ෂිකත්වය සහ එකොළහ

 

ඊයේ හුඟක් දේ පැහැදිලි වුණු දවසක්. මිලියනය කියන්නෙ කොපමණ ද යන්න ගැන නිසි අවබෝධයක් ලැබුණෙ ඊයෙ. නිර්පාක්‍ෂික කියන්නෙ මොකක් ද කියන එකත්  දැන ගත්තා. නිරාගමික කියන එකේ තේරුමත් දැන ගන්න ලැබුණා. පාස්කු ප්‍රහාරය පිටිපස්සෙ ඉන්නෙ කවුද කියන එකත් දැන ගත්තා. පැය විසිහතර කියන්නෙ මිනිත්තු කීයකට ද යන්නත්  පැහැදිලි ව දැන ගත්තා. මෙපමණ දේ ඉතා කෙටි කලක් තුළ ඉගැන්වීමට සැලැස්වීමට කිසවකුට බැහැ කියා කාට හරි හිතෙන්න පුළුවන්. එපමණක් නම් මදැයි. ඇල්ලෙ ගුණවංශ හාමුදුරුවන් මේ ආණ්ඩුවට පක්‍ෂය කියා අපට කියන විට ඉන් අදහස් කරන්නෙ ආණ්ඩුව ගෙදර යා යුතු බවත් ඊයේ පුවත්පත් මගින් දැන ගත්තා. ආණ්ඩුව රකින්න නම් ආණ්ඩුව ගෙදර යවන්න ඕන. අර හුණුවටයෙ කියනව වගේ නීති කැඩුවෝ ඒ රැකීමට.

 

ආර්ථික අර්බුදය ගෝඨාභය රාජක්‍ෂගෙ වැඩක් නූණත් එය ඔහු ගෙදර යැවීමට දෙවියන් වහන්සේ එවූ එකක් ලෙස සලකන අයත් ඉන්නවා. ගෝඨාභය ගෙදර යැවීමේ ව්‍යාපෘතියේ මහා මොළකරු කවුද කියා කවුද දන්නෙ? කාදිනල්තුමා දන්නවා ද? අපි නම් දන්නවා. දැනගන්න ඕන ද? ලන්ඩන් එක්කන් ගියොත් පෙන්නන්නම්.

 

අප ඕමල්පෙ සෝභිත හිමියන්ට පින් සිද්ධ වෙන්න රත්තරන් පොලු තියෙන පන්සල් ගැන පමණක් නොවෙයි ආණ්ඩුව කියන්නෙ මොකක් ද කියන එකත් දැන ගත්ත. උන්වහන්සේ චම්පක රණවක වෙනුවෙන් මන්ත්‍රී පදවිය පූජා කළ යතිවරයාණන් වහන්සේ නමක් බව බොහෝ දෙනාට අමතක වෙලා. ඒ පිනෙන් උන්වහන්සේට භාණ්ඩාගාරයට දීම සඳහා තව තවත් රත්තරන් පොලු දෙස් විදෙස්වලින් ලැබෙන බව සැකයක් නැහැ,

 

භාරකාර ආණ්ඩුව කියන්නෙ මොකක් ද කියල අර පක්‍ෂ එකොළහෙ කණ්ඩායමේ කවුරු හරි කියල දෙනවා ද? අඩු තරමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දන්නව ඇති. ඔය භාරකාර ආණ්ඩුව දින පනස්දෙකේ ආණ්ඩුවෙන් වෙනස් වෙන්නෙ කොහොම ද? දින පනස්දෙකේ ආණ්ඩුව විශ්වාසභංගයකින් පැරදුණා. නැත්තන් දිගට ම මැතිවරණය වන තෙක් ඉන්න තිබුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සෙ ක්‍රියාත්මක වන භාරකාර අමාත්‍ය මණ්ඩලය කියන එක වගේ ද භාරකාර ආණ්ඩුව. භාරකාර ආණ්ඩුවෙ ඇමතිවරු හැරෙන්න වෙනත් මන්ත්‍රීවරු නැද්ද? මෛත්‍රිපාල  හරි ඕමල්පෙ සෝභිත හිමි හරි ගැත්තාට සමා කර කියා දෙනවා ද?  

 

එකොළහෙ කණ්ඩායම අද ගලේ පහරපු බළලාගේ තත්වයට වැටිලා. ඔය කණ්ඩායම පිටුපස නොදත් දොස්තරලා ඉන්නවා. ඔවුන් තමන් පඬියන් ලෙස හිතමිනුයි ක්‍රියා කරන්නෙ. එකොළහටත් චම්පක වැන්නන්ටත් ඕන කරන්නේ ඊනියා භාරකාර ආණ්ඩුව නමින් නව ආණ්ඩුවක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නෙ නැතුව ම පිහිටුවන්න. ඔය ටිකිරි මොළවලට ජනාධිපතිතුමා අහුවෙන එකක් නැහැ.

 

චම්පක හිතන්නෙ තමාට ප්‍රථම පංතියෙ උපාධියක් තියෙන බව ඒ ඒ අය කිවුව ම ජනතාව පිළිගන්න ආකාරයට ජනාධිපතිතුමා භාරකාර ආණ්ඩු කෙප්පය පිළිගනීවි කියල ද? චම්පක කියල තිබුණ තමන්ට ආණ්ඩුව භාරදුන්නොත් ඒ භාර ගන්නව කියල. ව්‍යවස්ථාවෙ මොන වගන්තිය යටතෙ ද ආණ්ඩු භාර දෙන්න ආණ්ඩු භාර ගන්න පුළුවන්. ජනාධිපතිතුමා ඉතා පැහැදිලි ව කියල තියෙනව 113ක් ඉන්නව නම් අගමැති කෙනකු නම් කරන්න පුළුවන් නම් ඔහු අගමැති කරනවා කියල. ඒක තමයි ව්‍යවස්ථාව අනුව කරන්න පුළුවන්. චම්පකටවත් සජිත්ටවත් කිරිඇල්ලටවත් විමල්ටවත් මෛත්‍රීපාලටවත් අනුරටවත් අගමැති කෙනකු නම් කරනවා තබා 113 දෙනකු හොයා ගන්නවත් බැහැ. බැරි ද ඔක්කොට ම එකතු වෙලා රනිල් අගමැති කරන්න. ඒක තමයි අර ඉංගිරිසින්ට ඕන.

 

අද දවසෙ මහින්ද රාජපක්‍ෂට අගමැති කමෙන් අස්වෙන්න කිසිම හේතුවක් නැහැ. මේ අර්බුදය ඇති කෙළෙ අපි හැමෝ ම. වැඩියෙන්ම එ ජා ප ආණ්ඩු. අපේ අධිපරිභෝජනය, අල්ලපු ගෙදරට වඩා ඉහළින් ඉන්න ණය වීම නිෂ්පාදනය නැති කිරීම, ජාමුලට ගිහින් නැති වීම ආදී කරුණු ගණනාවක් තියෙනවා. මේ සමග ඇති ප්‍රස්තාරයෙන් 2015 -2019 යහපාලන කාලයෙ දළ ගෘහස්ථ නිෂ්පාදිතය ගැන ජාමුල ප්‍රක්‍ෂිප්තයත් ලබාගත් ප්‍රතිඵලයත් දැන ගන්න පුළුවන්. 2015-2019 කාලයෙහි ආර්ථිකය කඩා වැටුණ බව ඉතා පැහැදිලියි. අද ඇති අර්බුදයට කවුරු හරි අස්වෙනව නම් ඒ සජිත්ලා රනිල්ලා චම්පකලා අනුරලා මෛත්‍රිපාලලා කියන යහපාලන නඩය මිස අන් අයකු නො වෙයි. අපි අද ක්‍ෂණික විකල්පයක් නැති කමට ජාමුලට යමු. එහෙත් දැන ගෙන යමු.

 

ඊයෙ මිලියනයෙ උද්ඝෝෂණය ගැන වෙන ම කතා කරන්න ඕන. ඒත් සිද්ධි ගලා ගෙන යෑමේ වේගය අනුව එයට ඉඩක් ලැබේවි ද දන්නෙ නැහැ. බැලූ බැල්මට ම එය සිංහල බෞද්ධ විරෝධීන් මෙහෙයවපු එකක් බව පේන්න තිබුණා. මුස්ලිමුන් තොග ගණනෙ ඇවිත් යාඥා කළා. කතෝලික පූජකතුමන්ලා හිටියා. ජාතික කොඩිත් තිබුණා. ඒක හොඳයි. බෝන් අගේන් කලාකරුවන් ක්‍රිකට් ක්‍රීඩකයන් හා ඉංගිරිසි කියමනක් අනුව ඔවුන්ගෙ වඩා හොඳ අඩවල් (better halves) හිටියා. පොඩි බිග් මැච් ගතියකුත් තිබුණා. 

 

එහි සිංහල බෞද්ධ තරුණ තරුණියන් ඉන්න ඇති. ඔවුන් සිංහල බෞද්ධ පවුල්වල ඉපදුණාට 87-90 කාලය ගැන තබා 2009ට පෙර කාලය ගැනවත් එතරම් හැඟීමක් නැති අය. එවැනි එක් අයකු මගෙන් අහල තිබුණ මහින්දගෙයි ගෝඨාභයගෙයි ඇති අනෙක් අයට නැති ජාතිකත්වය මොකක් ද කියල. එක් වාක්‍යයකින් කියනව නම් දෙමළ ත්‍රස්තවාදය නන්දිකඩාල් හි පරාජය කිරීම. චන්ද්‍රිකා රනිල් ආදීන් නෝර්වේ තානාපති කාර්යාලයට අවශ්‍ය අන්දමට ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කර තිබිය දී මහින්ද හා ගෝඨාභය රාජපක්‍ෂලා සරත් ෆොන්සේකා ද සමග කොටි පරාජය කළා. ඒත් ඒ සරත් පසුව වෙන සරත් කෙනකු බවට පත් වුණා.

 

අද මුස්ලිමුන් පාස්කු ප්‍රහාරය ගැන අමුතු කතා කියනවා. කාදිනල්තුමාත් හොඳ කතා කියනවා. ඒ කතා අපි පසුව විශ්ලේෂණය කරමු. අද බෝන් අගේන් කට්ටිය බෞද්ධයනට විරුද්ධව කතෝලිකයන් සමග එකතු වෙලා ද? නන්දිකඩාල් පරාජය ඉංගිරිසින්ට කොතරම් රිදිල ද කියන එක මේ සියල්ලෙන් තේරෙනවා. ඉංගිරිසින් තමන් විරුද්ධ ඉම්රාන් ඉවත් කරලා. ඔවුන් යහපාලනය දිනෙව්ව. ඒ මෛත්‍රිපාල අරගෙන. පස්සෙ ජාතික කඳවරුට පුළුවන් වුණා දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටුවන්න. ඒත් බටහිර තානාපතිලගෙ ආශිර්වාදයෙන් ඒ විශ්වාසභංගයකින් පරාජය කළා. ජාතික කඳවුර ගෝඨාභය සිංහල ඡන්දවලින පමණක් දිනෙව්ව. අද ඔවුන්ට ගෝඨාභය ගෙදර යවන්න අවශ්‍ය වෙලා. බැසිල් එක්ක තියෙන තරහට එකොළහ නැවතත් යහපාලන මගේ යන්න හදනවා ද