Main Logo

Thursday 31 March 2022

සර් අසමත් ව්‍යාපාරය හෙවත් ගෝඨාභය එළවීම

      සර් අසමත් ව්‍යාපාරය හෙවත් ගෝඨාභය එළවීම

 

ඇතැම් ජනමාධ්‍යවේදීන්ට තේරෙන දේ ආණ්ඩුවට නොතේරෙන්නේ ඇයි? ආණ්ඩුව එතරම් අදක්‍ෂ ද? 2005 සිට 2015 දක්වා පැවතියේත් රාජපක්‍ෂ ආණ්ඩු. පරාජය කළ නොහැකි යැයි කී දෙමළ කොටි ත්‍රස්තවාදීන් පරාජය කරනු ලැබුවේත් ඒ ආණ්ඩු විසින් මිස ජනමාධ්‍යවේදීන් විසින් නො වෙයි. ජනමාධ්‍යවේදීන් එකල කුමක් කෙළේ ද? අප නම් කළ දෙයක් නැහැ. අප ටෙලිවලවත් වලිවලත් එතරම් පෙනී ඉන්න නැතුව වෙන්න ඕන. පෙනී හිටියත් බටහිර දැනුම විවේචනය කිරීමෙන් උගත් ජනමාධ්‍යවේදීන්ගේ හා වියතුන්ගේ වෛරයට පාත්‍ර වෙන්න ඇති.

 

2015 දී රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කෙරුණේ ඒ ආණ්ඩුවේ අදක්‍ෂ කමකට ද? එසේත් නැත්නම් ඇතැම් රාජපක්‍ෂවරුන් කළ නොමනා ක්‍රියා නිසා ද? ඒත් කිසිවකු ගෝඨාභය රාජපක්‍ෂගේ අදක්‍ෂකමක්වත් නොමනා ක්‍රියාවක්වත් කිවුවේ නැහැ. සිංහලයන් කිවුවේ ම නැහැ. 2019 දී ගෝඨාභය ජයග්‍රහණය කිරීමේ දී මේ සියල්ල බලපෑවේ ද? ගෝඨාභය ගැන මිනිසුන්ට අවිශ්වාසයක් එදා තිබුණේ ද?

 

එහෙත් අද අප කතා කරන්නේ ගෝඨාභයගේ අදක්‍ෂකම ගැන. ඔහුගේ අසමත්කම ගැන. එසේ වූයේ කෙසේ ද? මට තේරෙන ආකාරයට ගෝඨාභය රාජපක්‍ෂ ජනමාධ්‍යවේදීන් වගේ ම බටහිර විද්‍යාව ගැන විශ්වාසයක් ඇත්තෙක්. ඔහු හෙළ වෙදකම ගැනවත් හෙළ ගොවිතැන ගැනවත් මහින්ද රාජපක්‍ෂ තරම්වත් දන්නේ නැහැ. ගෝඨාභය කාබනික වගාව ගැන විශ්වාසයක් තැබුවේත් එක් පැත්තකින් විද්‍යාත්මක ව. අනෙක් පැත්තෙන් ලොකු බණ්ඩාගේ ගණන් හිලවු විශ්වාස කිරීමෙන්. අද ජයසුන්දර නැහැ. ඒත් ගෝඨාභය බැනුම් අහනවා. ජනමාධ්‍යවේදීන් සිතන්නෙ පතන්නෙත් විද්‍යාත්මක ව.

 

මෙරට උගත් නූගත් බොහෝ දෙනා බටහිර විද්‍යාව විශ්වාස කරනවා. රසායනික ගොවිතැන ඔවුන්ට ප්‍රශ්නයක් නො වෙයි. කාබනික ගොවිතැනත් අපට ලැබෙන්නේ බටහිරින්. හෙළ ගොවිතැන නැත්නම් ස්වාභාවික ගොවිතැන ගැන වැදගත් කිසිවකු කතා කෙළේ නැහැ. ඒ ගැන කතා කෙළේ මා වැනි අප්‍රබුද්ධයන් පමණයි. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණි අයෙක්. ජනමාධ්‍යවේදීන් එසේ නො වෙයි. මට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ නැහැ. එහෙම නැත්නම් ටිකක් පණ්ඩිතමානීව කිවුවොත් ගුරුත්වාකර්ෂණය මට ඉන්ද්‍රිය ගෝචර වන්නේ නැහැ. සකර්බර්ග් අනාථ කඳවුරේ පඬිනැට්ටන්ට කොහොමද කියල දන්නේ නැහැ. කාට හරි කියන්න පුළුවන්ද ගුරුත්වාකර්ෂණයේ පාට ගඳ සුවඳ රස ශබ්දය ඝනකම ආදිය. ඒ කියන ඕනෑම අයකුට නාථ දේව මණ්ඩලයේ සාමාජිකයකු මුණගැස්සීමට මා පොරොන්දු වෙනවා.  

 

මා මෙරට ආණ්ඩු ගැන හිතන්නේ ප්‍රධාන වශයෙන් ම ජාතිකත්වය සම්බන්ධ කරගෙන. එහෙත් එය එකම කාරණය නොවෙයි. බෞද්ධ අප ඒක හේතුවාදීන් නො වෙයි. එ ජා ප ප්‍රධාන ආණ්ඩු මූලික වශයෙන් විජාතිකයි. ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවන තෙක් මෙරට ජාතිකවාදී දේශපාලන පක්‍ෂයක් තිබුණේ නැහැ. බටහිරයන්ටවත් ඉන්දියාවටවත් මෙරට ජාතිකවාදී ආණ්ඩුවක් රුස්සන්නේ නැහැ. ඉන්දියාවේ ජාතිකවාදී ආණ්ඩුවක් වුණත් මෙරට ජාතිකවාදී ආණ්ඩුවකට කැමති නැහැ. ඉන්දියාවේ ජාතිකවාදී ආණ්ඩු හින්දු සංස්කෘතියක පදනම් වෙනවා. ඔවුන් බුදුදහමට තරයේ විරුද්ධයි. මෙරට ජාතිකවාදී ආණ්ඩු බෞද්ධ සංස්කෘතිය මත පදනම් වෙනවා. අද ඉන්දියාවට අවශ්‍ය ලංකාව එහි ප්‍රාන්තයක් කර ගැනීමට. විසූරේ ආපහු ඉන්දියාවට ගියා ද?

 

ඉන්දීය ජාතිකවාදී ආණ්ඩුවක් එ ජා ප ආණ්ඩුවලටත් කැමති නැහැ. එ ජා ප ආණ්ඩු බටහිර ගැතියි. ඉන්දියාවේ ජාතිකවාදී ආණ්ඩුවක් චීනය නොවන්නට බටහිරට කැමති වන්නේ නැහැ. බටහිරවත් ඉන්දියාවවත් ශ්‍රී ල නි ප ප්‍රධාන ආණ්ඩුවලට කැමති නැහැ. ඉන්දියාවේ බණ්ඩාරනායක ආණ්ඩු සමග යම් සුහදත්වයක් ඇති කර ගත්තේ නේරුලා නොව ශාස්ත්‍රි පමණයි. නේරුලා බණ්ඩාරනායකල පෞද්ගලික මිතුරන් වුවත් දේශපාලන වශයෙන් මිතුරන් වුණේ නැහැ.

 

බටහිර රටවල් දින පනස්දෙකේ ආණ්ඩුව කෙරෙහි දැක් වූ ආකල්පය ගැන කල්පනා කරන්න. එය පරාජය කිරීමට විවිධ පුද්ගලයන් එකතු වුණා. මංගල සමරවීරලා එකතු වී කෙටුම්පත් කළ විශ්වාස භංගය යටත්විජිත ලවා ඉදිරිපත් කෙරි ජයග්‍රහණය කළ දින බටහිර තානාපතිවරුන් කිසිම ලජ්ජාවක් බයක් නැතුව සියලු ජත්‍යන්තර ගිවිසුම් පැත්තකට දමා පාර්ලිමේන්තුවේ ප්‍රීති වුණා.

 

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වී මාස කිහිපයකින් සර් අසමත් ව්‍යාපාරය පටන් ගත්තා. අර අලි හෙම්බිරිස්සා වසංගතයට එරෙහිව සාර්ථක ව කටයුතු කරද්දිත් සර් අසමත්  බව කිවුවා. එකල බටහිර වෙද හාමිනේලා රට වහන්න කියා උද්ඝෝෂණය කළා. රට වැහීමෙන් අපනයන ආදායම නැති වුවත් වෙද හාමිනේලාගේ කීමට (ඔවුන් දන්න උගත් අය නොවැ)අවසානයේ දී රට වැහුවා. අද ඒ ගැන කිසිවකු මතක් කරන්නේ නැහැ. අපට ඩොලර් නැති වුණා. රවි කුමුදේශ් හා උපුල් රෝහණ හැමදාමත් කෑ ගැහුවේ අප කී දේ කළා නම් කියා. ඔවුන් ඉතාමත් ඉහළ ගණයේ බුද්ධිමතුන්. කාටත් අවශ්‍ය වුණේ ගෝඨාභය ඉවත් කරන්න. සර ෆේල්. වසංගතය මැඩ පැවැත්තුවත් සර් ෆේල්.

 

ඊයේ එක් දුම්රියකට මැදිරි දෙකක් අඩුවෙන් සවි කරලා. ගෝඨාභය ඒක බලලා නැහැ. දිලිත් ජයවීර  දෙරණේ කියන කරන දේ බලන්නේ නැහැ. ගෝඨාභය යන්න ඕන. දිලිතුත් යන්න ඕන ද? අද පැහැදිලිව ම ගෝඨාභය විරෝධී  නිලධාරි පිරිසක් ඉන්නවා. ඔවුන් වැඩ වුවමනාවෙන් අවුල් කරන බව පේනවා. තෙල් ගෙන්වීම බෙදා හැරීම නැවුවලට ගෙවීම ආදිය සම්බන්ධයෙන් අවුලක් ඇති බව පැහැදිලියි. යම් කඩාකප්පල්කාරී වැඩක් ද කෙරෙනවා. එහි අරමුණ ගෝඨා ගෙදර යැවීමයි. අර බෝනී එම් කියන සිංදුවක් ද උච්චාරණය හඳුනාගැනීමට නොහැකිව හරි වෙනත් කරුණක් නිසා හරි ගෝඨා ගෝ හෝම් වුණා. සියල්ලට ම වැරදිකරුවා ගෝඨාභය.

 

විමල් වීරවංශලාගේ බැසිල් විරෝධයත් අවසාන වශයෙන් යන්නේ ගෝඨාභය පිටින්. මට මතක් වෙන්නෙ විද්දෙ හාවට වැදුණෙ පඳුරට කතාව. ගෝඨාභය ගියත් බැසිල් යන්නෙ නැහැ. හෙට අනිද්දා ගෝඨාභය එළවා හැරීමේ තවත් ව්‍යාපාරයක දියත් වෙනවා. එය සංවිධායකයකු නැති ව්‍යාපාරයක්. සජිත් ද එයට එකතු වෙලා. ඔහු තමන් කරන්නේ කුමක් දැයි නොදන්නා අයෙක්. ඔහු ගෝඨාභයට වඩා දක්‍ෂ ද? රනිල් දක්‍ෂ ද? රනිල්දාස දක්‍ෂ ද? ඔවුන් සමත් ද? යහපාලන කාලයේ ආර්ථිකය කඩා වැටීම ගැන හර්ෂ ද සිල්වා කියන්නේ කුමක් ද? ඔහු මහජන බැංකුව කඩා වැටීමක් ගැන ලිඳ ළඟ  ඕපාදුප රූපවාහිනියේ කියවනවා.

 

කාදිනල්තුමා පාස්කු කතාව ගත්තේ හරියට ගෝඨාභය ජනාධිපති කිරීමට සහරාන් බෝම්බ පිපිරුවා වැනි අරුතකින්.  එය පිටුපස අවසානයේ දී සිටි රාජ්‍ය නොවන සංවිධාන ජෙනීවා හි දී අප දැක්කා. අර ඕවල් පිටියේ කේන්දරකාරයන් හැමදාමත් ජාතිකත්වයට විරුද්ධයි. ඔවුන් ගෝඨාභයට විරුද්ධ වන එක පුදුමයක් නො වෙයි.  

 

ඉරිදා ව්‍යාපාරය මිනිස් බිල්ලක් ඉල්ලන බව පේන්න තියෙනවා. සංවිධායකයකු නැති ව්‍යාපාරවල පිටුපස ඉන්නේ කවුද? ඔවුන් ගෝඨාභය ඉවත් කිරීම සඳහා මිනිස් බිලි දෙන්න සූදානම්. මේ ලංකා වසන්තය බව ඉතා පැහැදිලියි. වසන්තය බටහිරට හේමන්තයක් කරමු කියා අප කියා ඇති බව මා කියන්නේ මං පොර වීම සඳහා නො වෙයි. එසේ කිරීමට නොහැකි වීම ගැන කණගාටුවෙන්. බටහිරයන් වසන්ත හැම රටක ම එක ම විධියට ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඇතැම් විට යුක්‍රේනයත් පුටින් එළවන්න කරපු වසන්තයක් වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් දැන් සූූර්යයා තම වාර්ෂික ගමනේ උතුරු අඩට ඇවිත්. බටහිර රටවල දවාල එන්න එන්න වැඩි වෙනවා. රාත්‍රීය නැත්නම් අඳුර කෙටි වෙනවා. බටහිරයන් අපේ අඳුර දික් කරන බව පැහැදිලියි. ඔවුන්ට අවශ්‍ය ගෝඨාභය ඉවත් කර අපේ අඳුර නැති කිරීමට නම් නො වෙයි.