Main Logo

Sunday 20 March 2022

නේටෝව විසුරුවා හැරීමට උද්ඝෝෂණයක් - ප්‍රවෘත්තියක් නොවෙයි

 නේටෝව විසුරුවා හැරීමට උද්ඝෝෂණයක් - ප්‍රවෘත්තියක් නොවෙයි 

 

මා දෙරණ ශිල්පීන් විවේචනය කරන්නෙ එක ම එක හේතුවක් නිසා. මා සියයට අනූවකට වඩා බලන්නෙ දෙරණ නිසා. ඒකත් දෙරණ අරුණ හා නාට්‍ය තුනකට සීමා වෙනවා. නාට්‍ය තුන ශක්ති ප්‍රවෘත්ති හා ඉස්කෝලෙ.  දේශීය වෙදකම ගැන කියන නිසා ශක්ති බලනවා. ප්‍රවෘත්ති බලල රත් වෙන ලේ සිසිල් කරගන්න ඉස්කෝලෙ බලනවා. මා මහ පොළොවෙ යථාර්ථය වගේ දේවල් දැන ගන්න කිසිවක් බලන්නෙවත් අහන්නෙවත් කියවන්නෙවත් නැහැ. යථාර්ථය කියා එකක් මා දන්නෙ නැහැ. මහා පොළොව යථාර්ථයක් ද කියල මා අහන්නෙ නැහැ. දන්න එක්කෙනෙකු ඉන්නව නම් මට කියල දෙන්න. යථාව යථාර්ථය ආදිය කාටවත් නොතේරෙන හිස් චචන. හැබැයි හැමෝ ම හිතනවා තමන් ඒ දන්නවා කියා. ප්‍රවෘත්ති විතරක් පෙන්වන ව නම් ඇඟේ ලේ රත් වෙන්නෙ නැහැ. ඒත් ප්‍රවෘත්ති විතරක් කියල දෙයක් නැහැ. ප්‍රවෘත්ති හැම තිස්සෙ ම කාගෙ හරි විවරණයක් එක්කයි ප්‍රචාරය වෙන්නෙ. ප්‍රවෘත්ති රචනය පසුබිම් වාර්තා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නාගේ අංග චලන ඉරියවු වචන උච්චාරණයේ සිදුවන වෙනස්කම් ආදී සියල්ල නරඹන්නාට හසු වෙනවා. ප්‍රවෘත්තිත් නාට්‍යයක් තමයි.

 

මා ප්‍රතිපත්තියක් ලෙස සිරස ටී එන් එල් ස්වාධීන සියත බලන්නේ නැහැ. ඉඳහිට ජාතික රූපවාහිනිය චරණ හා ජයමග බලනවා. බලනවා කිවුවට බැලෙනවා. දෙරණ බලන්නෙත් වෙනත් දෙයක් නැති කමට. ගෑස් පෝලිම් තෙල් පෝලිම් කිරි පිටි පෝලිම් නැවු පෝලිම් පෙන්නුවට රිය පෝලිම් පෙන්නන්නෙ නැහැ. තෙල් නැතුව රිය දුවන ක්‍රමයක් තියෙන්න ඕන. නැත්නම් රිය පෝලිම් තියෙන්නෙ කොහොමද? සමහර විට ගීතා කුමාරසිංහ බූලිවලින් තෙල් දෙනව වෙන්නත් පුළුවන්. රටේ වැඩිය තියෙන්නෙ බුලි ද රථ ද කියල දන්න කවුරු හරි ඉන්නවා ද?

 

දැන් කවුරු හරි කියන්න පුළුවන් මට රටේ මිනිසුන්ගෙ අමාරුකම් තේරෙන්නෙ නැහැ කියල. මා ළඟ ආණ්ඩුවට කැහැල ගත්තු සල්ලි තියෙනවා කියල. එහෙමත් නැහැ. අපට ඇත්තෙ අර්ථසාධක මුදලෙන් හා මියන්මා රස්සාවෙන් ලැබුණු මුූදල් ස්ථාවර තැන්පතුවල ආරක්‍ෂා කිරීමෙන් ලැබෙන පොලිය පමණයි. මට එතරම් මුදලක් අර්ථසාධකයෙන් ලැබුණෙ නැහැ. කැලණියෙ හිටපු අවුරුදු නවයට ලැබුණු මුදල පමණයි. භාර්යාව තමයි පවුල නඩත්තු කෙළෙ. දැන් අපේ මාසික ආදායම රුපියල් ලක්‍ෂයක් පමණ. ඩොලර්වලින් නම් අද හාරසීයක්  පමණ. එය පාවෙනවා. මියන්මාහි හිටිය නම් ඊට වඩා ලබා ගන්න තිබුණ. අපේ ආදායමෙන් 25%ක් පමණ අපි වෙනත් අයගේ ලෙඩට දුකට දෙනවා. අපේ බෙහෙත්වලටත් 8%ක් 9%ක් පමණ යනවා. ගෑස් විදුලිය අපටත් අවශ්‍යයයි. කිරි පිටි නම් බීපු කාලයක් මතක නැහැ. අප කිරි බොන්නේ නැහැ. කිරි කනවා. අපට තෙල්වලට වියදම් වෙන්නෙ නැහැ. ඒත් ගමන් බිමන්වලට 10%ක් 15%ක් පමණ වියදම් වෙනවා. විදුලි බිල් වතුර බිල් දුරකතන බිල් අපටත් එනවා. වයිෆයි පියෝ ටීවී අපත් පාවිච්චි කරනවා. අපට අභිඥා නැහැ. ආණ්ඩුවට කැස්ස කියල ටෙලිකොම් සහනයක් දෙන්නෙත් නැහැ. දෙයියන්ගෙ පිහිටෙන් අපට ඉතිරියක් නැහැ.  ඒත් අපි ප්‍රවෘත්ති බලනකම් සතුටින් ජීවත් වෙනවා. ඉන් පසු ඉස්කෝලෙ බලනවා.

 

මේ ඊයේ අහන්න ලැබුණු ප්‍රවෘත්තියක්. බටහිර රටවල් දහතුනක් (ජපානය ද ඇතුළුව) හා යුරෝපා සංගමය ලංකාවෙන් ඉල්ලල රුසියන් ආක්‍රමණය හෙළා දකින්න කියා. ඒක රුසියන් ආක්‍රමණයක් ද නේටෝ ආක්‍රමණයෙන් ආරක්‍ෂා වීමට රුසියාව කරන මෙහෙයුමක් ද? අප දන්නේ බටහිර මාධ්‍ය අපට කියන එක පමණයි. මෙරට මාධ්‍යවේදීන් ද ප්‍රවෘත්ති හොයා ගන්නෙ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් හා  ජාත්‍යන්තර වාර්තාකරුවන්ගෙන්. මෙරට මාධ්‍ය හරි ධනවත්. ඔවුන්ට ජාත්‍යන්තර වාර්තාකරුවන් ඉන්නවා. ජාත්‍යන්තර කිවුවත් බටහිර. ඔය බටහිරයන් අපට නොමිලේ ලබා දෙන්නෙ ඔවුන්ගෙ ප්‍රවෘත්ති විතරයි. ඒකටත් වක්‍ර ව ගෙවන්න වෙනව ද කියල මා දන්නේ නැහැ.

 

මා හිතනවා අප වහාම ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන කියල. ඒ නේටෝව වහාම විසුරුවා හරින්න කියා. අවාසනාවකට අපට එහෙම කරන්න ශක්තියක් නැහැ. එහෙම කළොත් සම්බාධක පනවාවි. යුරෝපා සංගමය බලන් ඉන්නෙ සම්බාධක පනවන්න. ඒක රටක් නො වෙයි. රටවල් සමූහයක්. මා නේටෝව විසුරුවා හරින්න කියන්න අද යුක්‍රේන ප්‍රශ්නයට මුල නේටෝව නිසා ම නො වෙයි. නේටෝව කියන්නෙ යුරෝපිය රටවල් විසිඅටක් හා උතුරු ඇමරිකානු රටවල් දෙකක්  අතර ඇති යුද සංධානයක්. ඔය යුද සංධාන කාරයන් කට ඇරියොත් කතා කරන්නෙ සාමය ගැන.

 

මේ යුද සංධානය ඊනියා ධනපති ක්‍රමය රැක ගැනීම සඳහා පමණක් නොවෙයි. ඔවුන්ගෙ චින්තනය සංස්කෘතිය රැක ගැනීමට හා චින්තන සංස්කෘතික ආධිපත්‍යය තහවුරු කිරීමටත්. වමාලට පේන්නෙ ධනවාදය පමණයි.ධනවාදය කියන්නෙ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙ අර්ථ ක්‍රමය පමණයි. ඒ අරථ ක්‍රමය ඔවුන් තනා ගත්තෙ අදාළ චින්තනය ඇති වෙලා සියවස් දෙකකටත් පස්සෙ. නිවුටන්ටත් පස්සෙ. ගුරුත්වාකර්ෂණයටත් පස්සෙ. වමාලත් අර්ථ ක්‍රමය හැරුණු විට චින්තනයෙන් නේටෝව එක්ක ඉන්නවා.

 

නේටෝවට අවශ්‍ය යුක්‍රේනය ඈඳා ගන්න. ඔවුන් ඒ සඳහා ක්‍රියා කරන්නෙ අද ඊයේ නො වෙයි. 2010 සිට 2014 දක්වා යුක්‍රේනයේ අගමැති වූ වික්ටර් ෆෙඩොරොවිච් යනුකොවිච් බලයෙන් පහකෙරුණේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් ඊනියා ගරුත්වයේ විප්ලවයකින් (revolution of dignity).  යනුකොවිච් පුටින්ට පක්‍ෂපාත වූ නිසා. නේටෝවට අවශ්‍ය යුක්‍රේනය තමන්ට නතු කර ගැනීමට සුදුසු නායකයකු පත් කර ගන්න. නේටෝවට රුසියාව වටා කඳවුරු බැඳීමේ අවශ්‍යතාව තියෙනවා. එහෙත් එය හරියට කර ගන්න බැහැ. එසේ වුණත් නේටෝව යුක්‍රේනයට යුද්ධාධර දෙන බව පැහැදිලියි.

 

අද කළ යුත්තේ නේටෝව විසුරුවා හරින ලෙස ඉල්ලමින් ප්‍රකාශයක් කිරීම මිස ඊනියා රුසියන් ආක්‍රමණයක් හෙළා දැකීම නො වෙයි.