Main Logo

Monday 14 March 2022

විජය අස්ස වෙළෙන්දෝ හා බැසිල්

 

විජය අස්ස වෙළෙන්දෝ හා බැසිල්

 

අස්ස වෙළෙන්දො දෙන්නෙක් නම් වශයෙන් කියනව නම් සේන ගුත්තික බලය ගත්තු රටක බැසිල් බලය ගත්තු එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. අස්ස වෙළෙන්දට පස්සෙ ආපු එළාරත් වෙළෙන්දෙක්. ඊට ඉස්සර ආපු විජය වෙළෙන්දෙකු බවට ආරංචියක් නැහැ. ඒ කාලෙ රටක් හැටියට එක්සත් වෙලා තිබුණෙ නැහැ කියන්න කොල්ලෑ පඬි නැට්ටන් ඉක්මන් වෙන්න ඕන නැහැ. රටක් නැති වුණත් තම්මැන්නෑව හා අනුරාධපුරය කියල කියමු.

 

ඊට පස්සෙ කාලෙකත් අප රටක් වුණාට පස්සෙත් පිටින් ආපු කී දෙනෙක් මෙරට රජවරු වුණා ද? ධාතුසේන රජු පිටින් ආපු අයකු බව කලාවැවටත් අවුකනටත් ගියා ම පැහැදිලි වෙන්න ඕන. ඒත් අපට එහෙම හිතෙන්නෙ නැහැ. ධාතුසේන කාශ්‍යප ප්‍රශ්නය විජාතික ජාතික ගැටුමක්. මහානාම හාමුදුරුවොත් පිටින් වැඩල මහාවංසෙ ලිවුව නම් නිස්සංක මල්ලල පළමුවැනි පරාක්‍රමබාහුල සපුමල්ලා හයවැනි පරාක්‍රමබාහුල පිටින් ආ අය නම් නායක්කාර්වරුන් ගැන අහන්න  දෙයක් නැත්නම් බැසිල් ගැන මෙතරම් කරදර වෙන්නෙ ඇයි.

 

ඔය බණ්ඩාරනායකල ජයවර්ධනල සේනානායකලා පිටින් ආපු අය. ඒ අය ක්‍ෂත්‍රිය වෙන්නෙ නැතුව ගොයිගම සිංහල වෙලා පාලකයන් වූ අය. දැන් රජවරු නැහැ. ඒක අර පඬි භාෂාවෙන් කියනව නම් පශ්චාත් ඉංගිරිසි ප්‍රපංචයක්. එහෙමත් නැත්නම් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයෙ ප්‍රතිඵලයක්.  තේරෙන්නෙ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. මානව මූලධර්මතා ඔබ නිර්වචනය කරනවා. ඒක තේරෙනව නම් ඒ ඇති. අපට කොච්චර දේවල් තේරෙනවා ද? අච්චරට මෙච්චර නම් එච්චරට කොච්චර ද? මා කියන්නෙ ඩොලරයට රුපියල් ගැන නොවෙයි. තුනෙන් දෙක හොයා ගන්න විධිය ගැනවත් නො වෙයි.

 

මා කතා කරන්නෙ අර අවලස්සන ඇමරිකානුවා කියන එක ගැනයි. අදාළ ඉංගිරිසි පොත ලියා ඇත්තෙ වෙන ම සංදර්භයක. බැසිල් පිටින් ආපු අයෙක් නො වෙයි. ඔහු පිට ගිය අයෙක්. බැසිල් නිර්වචනය වෙන්නෙ මොන මූලධර්මතාවලින් ද? මට මතක් වෙනවා එච් ආර් ජෝතිපාල. කලක් මෙරට උගතුන්ට ඔහු පීචං ගායකයෙක්. අද ඔහු වැදගත් ගායකයෙක්. පීචං කියන එකට අද ප්‍රබුද්ධ කියනවා නො වෙයි. වචනවල තේරුම් වෙනස් වෙන බව කියන්න සෝසියර් කෙනකු අවශ්‍ය නැහැ. කෝට්ටෙ යුගයෙ ඉඟ සුඟ ගත හැකි මිටින කියන තැන සුඟ කියන්නෙ අද සුඟ කියන එකට නොවෙයි. බුදු හාමුදුරුවන්ගෙ ගඳකිළිය කිවුවෙ ගඳ තැනකට නො වෙයි.

 

වචන අනුව පුද්ගලයනුත් වෙනස් වෙනවා. පුද්ගලයන් ගැන ඇති අදහස් ආකල්ප වෙනස් වෙනවා. බැසිල් අවලස්සන වැඩ කරනවා. ඒත් ඔහු ඊනියා ලාංකිකයෙක් ද වෙනවා. ඔහු ද්විත්ව රටවැසියෙක්. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අමෙරිකානුවා කිවුව ම ඇමරිකානුවට ඇති වන හැඟිම අපට ලාංකිකයා කිවුව ම ලැබෙන්නෙ නැහැ. ඒක ගමන් බලපත්‍රයෙ ලියල තියෙන වචනයක් පමණයි. පිටරටක දි පෝර්මයක් පුරවන විට ලියන්න සිිදු වෙන වචනයක් පමණයි. බැසිල් එවැනි අවස්ථාවක දී ලියන්නෙ ලාංකික කියා ද? රටවල් දෙක ම ලියනවා ද? මා දන්නෙ නැහැ.  

 

සේන ගුත්තික අස්ස වෙළෙන්දන් අනුරාධපුරයෙ බලයට පත් වෙලා තියෙන්නෙ සුරතිස්ස රජු සමග යුද්ධ කරල කියල මහානාම හාමුදුරුවො කියන්නෙ නැහැ. අසේල රජු අස්ස වෙළෙන්දන් පරාජය කෙරුවා. එළාර අසේල පරාජය කළා. මේ මුටසීව රජුගෙ පුතාලගෙ කාලෙ සිද්ධ වෙච්ච දේ. අප හිතනවාට වඩා මුටසීව කාලය අනුරාධපුරයෙ කලබල තිබිච්ච කාලයක් වෙන්න ඕන. අශෝක රජුත් ඔය කාලෙ තමයි අප යටත් කර ගන්න උත්සාහ කෙළෙ. මහානාම හාමුදුරුවො එච්චර විස්තරයක් කරන්නෙ නැහැ.

 

මා හිතන්නෙ විජයට වගේ ම මෙරට ඇතැම් අය අස්ස වෙළෙන්දන්ට එළාරට උදවු කරන්න ඇති. විජය ගැන අපි දන්නෙ කුවේණිගෙ ආධාරයෙන් තම්මැන්නාවෙ බලයට පත් වුවකු ලෙස. අස්ස වෙළෙන්දන්ට එළාරට බලයට එන්න ආධාර කළ අය ගැන විස්තරයක් මහාවංසයෙ නැහැ. ඒත් කවුරු හරි බලවත් පිරිසක් ඉන්න ඇති. බලයට ආවට පස්සෙ ඔවුන්ට ආධාර කළ අය ඉඳලා තියෙන බව පැහැදිලියි. මෙය පිටින් ආ අයගෙ ප්‍රශ්නයක් ම නො වෙයි. රජකම හිමි නැති අය වෙනත් අයගෙ ආධාරයෙන් රජකම ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් රටේ බලයක් නැති අය වෙනත් ක්‍රමවලින් බලයට පත්වීම පිළිබඳ ප්‍රශ්නයක්.  බෑසිලුත් එවැන්නෙක්.

 

බැසිල් බලයට ආවෙ කොහොම ද? ඔහුට එදා ආධාර කළ අය කවුද? බැසිල්ට මැතිවරණයකට ඉදිරිපත්වෙලා දිනන්න පුළුවන් අයකු නො වෙයි. ඔහු අද මන්ත්‍රී වෙලා ඉන්නෙ ජාතික ලැයිස්තුවෙන්. දැන් මුදල් ඇමති. අගමැති ජනාධිපති වෙන්නත් පුළුවන්. ඒ සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කරන්නත් පුළුවන්. ප්‍රශ්නය තුනෙන් දෙක පමණයි. බැසිල්ට බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවේ. රටේ නො වෙයි. ඒත් රට කරන්නෙ පාර්ලිමේන්තුවෙන්. බැසිල් කිරිඇල්ල කියන විධියට වැඩ කරන්නෙ නැහැ. මුදල් ඇමති මුදල් ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්න ඕනෙ නැහැ. එංගලන්ත ක්‍රමය යටතෙ පාර්ලිමේන්තුවට බලය තියෙනව කිවුවත් බලය තියෙන්නෙ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් හසුරවන්න පුළුවන් පුද්ගලයාට. කිරිඇල්ල දන්න දෙයක් නැහැ. බැසිල් දන්න  හුඟක් දේ තියෙනවා. පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල පිටවෙලා. බැසිල් කිරිඇල්ල ආදීන් ශිෂ්‍යත්වෙට පෙනී ඉන්න නැතුව ඇති. 

 

බැසිල් ඡන්දයෙන් නොවූවත් බලයට පත් කිරීමට කටයුතු කළ අය බොහොමයි. දින පනස්දෙකේ ආණ්ඩුව කඩා දැමූ අය, විස්ස සම්මත කිරීමට උදවු කළ අය එයට වග කියන්න ඕන අය අතර ඉන්නවා. ඒ ඒ පුද්ගලයා මත පදනම් ව දේශපාලනය කරන රටක බැසිල් බලයට පත්වෙන එක සුළු දෙයක්.  බැසිල් වැඩ කාරයකු නැත්නම් වැඩ්ඩකු නො වෙයි. ඔහු වැඩ්ඩකු කෙරී ඇත්තේ වෙනත් අය විසින්. යම් ජාතිකත්වයක් ඇති ආණ්ඩුවක් ජාතිකත්වයක් නැති ආණ්ඩුවක් බවට පත් කිරීමට බටහිරයන් හා ඉන්දියාව ජාතිකත්වයක් නැත්තකු මගින් කටයුතු කරනවා. මේ තමයි ලංකා වසන්තය. ලෝකයේ උතුරට බටහිර තාරකා විද්‍යාවට අනුව වසන්තය ලබන මාර්තු විසි එක වැඩි ඈතක නො වෙයි. ලංකාවේ උතුරටත් වසන්තය උදා කරාවි ද?