Main Logo

Friday 4 March 2022

උදය විමල් හා බැසිල්

 

උදය විමල් හා බැසිල්

 

මා මේ ලිපිය ලියන්නේ තරමක කණගාටුවකින්. ඒ විමල්ට හා ගම්මන්පිලට ඇමතිකම් අහිමි වීම ගැන නොවෙයි. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වුණා.  මට කණගාටුවක් වී ඇත්තේ අපට ලක්‍ෂ හැටනවයක බලකායක් අනාථ කිරීමට සිදුවීම පිළිබඳ ව. එයට මටත් වරද පටවන්න ඕන. එමෙන් ම ජනමාධ්‍යයටත් වරද පටවන්න ඕන. අද අපට ජාතිකත්වයට නැඹුරු වූ ජනමාධ්‍යයක් නැහැ. එඩ්මන්ඩ් රණසිංහ දිවයිනෙන් යෑමත් සමග ජනමාධ්‍යයෙන් ජාතිකත්වයත් ගියා.

 

අද උදේ මට පාරම්පරික වෙද මහතකු කතා කළා. ඔහු මට පාරම්පරික වෙදකම ගැන පොඩි ඇල්මක් තියෙන බව තමන් දන්නා බව කියා මා දැන් නිහඬ ඇයි ද කියා ඇසුවා. මට තරමක් කේන්ති ගිය බව දැන ගැනීම පඬි නැට්ටන්ගේ අමන්දානන්දයට හේතු වනු ඇති. ඔවුන් මා ගැන දන්නේ කේන්ති යෑම හා  ඊනියා මිථ්‍යා මත දැරීම සම්බන්ධයෙන් පමණයි. ඔවුන් ඉහළ ම ගණයේ නූතනත්ව බුද්ධිමතුන්. ඒ කුමක් වුවත් දිනපතා වචන 800-1000 ක ලිපියක් ලියන අයකු නිහඬ ව සිටින බව කියන්නේ කිනම් පදනමකින් ද යන්න මට වැටහුණා. ජනමාධ්‍ය අපේ අදහස්වලට කිසි ම තැනක් දෙන්නේ නැහැ.  අනෙක් අතට මට පාරම්පරික වෙදකම ගැන ඇත්තේ පොඩි ඇල්මක් නො වෙයි. දැන් පඬි නැට්ටකු අහයි මා හදවත් සැත්කමක් කර ගත්තේ පාරම්පරික වෙදකමට ඇති ඇල්ම නිසා ද කියා. ඔවුන් තවමත් හිතන්නේ අප අර කොළඹ සුවාදීනයන් කීවාක් මෙන් ආපසු බරකරත්තයෙන් අනුරාධපුරයට යන පිරිසක් කියා. නර්මාලාප හා නිර්මාලාප දොඩවන්නන්ට අප අවුරුදු තිස්පහකටත් වැඩි කාලයක් තිස්සේ කියන්නේ කුමක් ද යන්න ගැන කිසිම වැටහීමක් නැහැ.

 

අවාසනාවකට ජනමාධ්‍යත් අපට ප්‍රචාරයක් දෙන්නේ නැහැ. දෙරණ අරුණ ජාලයවත් අපේ අදහස්වලට දිය හැකි ප්‍රචාරය දෙන්නේ නැහැ. මාධව මඩවල ලක්සිරි වික්‍රමගේ සිට පහතට ඉන්න අය අපට කැමති නැහැ. ඔවුන් ඉතා ඉහළ විද්‍යාඥයන්. චතුර අල්විස් සංඛ අමර්ජිත් වසන්ති නානායක්කාර කතා කරන්නේ විද්‍යාත්මක ක්‍රමය ගැන. අරුණ කතෘ මහින්ද ඉලේපෙරුම ජාතික දැනුමට හිනහවෙන බුද්ධිමතෙක්. ඩිල්කා සමන්මලී හිතන්නේ මා කියන දේ නොකරණ වංචාකාරයකු කියා. අනෙක් ජනමාධ්‍ය ගැන කියනුම කවරේ ද? මෙය හරි පුදුම තත්වයක්. බටහිර දැනුම ගැන විශ්වාසයක් තියෙන අය මා මිථ්‍යා මත ධාරියකු ලෙස දන්නා අතර පාරම්පරික වෙද මහත්තුරු හිතන්නේ මට දේශීය දැනුම ගැන ඇත්තේ පොඩි ඇල්මක් පමණක් කියා. කවුරු මොනවා හිතුවත් මට ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නය ඇත්තේ අර හැටනව ලක්‍ෂය අනාථ නොකිරීමට කිසිවක් කිරීමට ජනමාධ්‍යයෙන් පිහිටක් නොලැබීම ගැනයි.

 

මට මේ වෙලාවෙ මතක් වෙනවා 2005 මහින්දගෙ ආණ්ඩුව පිහිටුවපු අලුත වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලයට උදය ගම්මන්පිල සමග ගිය ගමනක්. මා ඔහු සමග ගමන් බිමන් දෙක තුනකට වඩා ගිහින් නැහැ. එය ඉන් එකක්. අපේ වැඩය නිම වූ පසු උදය එහි වැඩ කරමින් සිටි බැසිල් රාජපක්‍ෂ හමුවීමට ගියා. ඒ වෙලාවෙත් හිරු බැස ගිහින්. බැසිල් වැඩ. ආපසු එන ගමන් උදය මා සමග කිවුවා බැසිල් තමයි ආණ්ඩුවේ නියම වැඩ කාරයා කියා.

 

මා එදත් දැන සිටියා බැසිල් වැඩ කාරයකු නොවන බව. වැඩ කාරයන් නැත්තම් අද කියන  විධියට වැඩ්ඩන් එතරම් වැඩ කරන්නෙ නැහැ. වැඩ්ඩන් වැඩක් කරන්න ලොකු කාලයක් ගන්නෙ නැහැ. ආණ්ඩුවේ එදත් මා දැන සිටි වැඩ්ඩා වූයේ මහින්ද රාජපක්‍ෂයි. ඔහු වැඩ්ඩෙක්. ඔහු එතරම් වැඩක් කරන්නෙ නැහැ. මා හිතන්නෙ නැහැ ඔහු අමාත්‍ය මණ්ඩල පත්‍රිකා තියා පත්තරවත් කියවනවා කියා. ඔහු කොහොමටත් දෙරණ අරුණ බලන්නෙ නැතුව ඇති. ඔහුට චතුරගේ මතය දැන ගැනීමට අවශ්‍ය නැහැ. එහෙත් මහින්දට අවශ්‍ය සියල්ල ගැන යම් අවබෝධයක් තිබුණා. මාත් දෙරණ අරුණ බලන්නෙ තොරතුරක් දැන ගැනීමට මිස කිසිවකුගේ මතයක් දැන ගැනීමට නො වෙයි. ඊනියා තෙරතුරුත් සාපේක්‍ෂ බව මා දන්නවා. අර ගොයම් කපන යන්ත්‍රයට තෙල් නැති වුණෙ ප්‍රාදේශීය වාර්තාකරු කුඹුරට  ගියාට පස්සෙ. එය අහඹු ම වාස්තවික සිදුවීමක් වෙන්න ඕන.

 

මහින්ද වැඩ කාරයාව සිටිය දී බැසිල් වැඩ්ඩා වූයේ කෙසේ ද? උදය පමණක් නොව ගෙවිඳු ද ජාතික ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ ද කලක් බැසිල් වැඩ්ඩකු ලෙස හඳුනා ගෙන හිටියා. මා බැසිල් වැඩ්ඩකු ලෙස ගණන් නොගැනීම ඒ සියලු දෙනාට ම ප්‍රශ්නයක් වුණා.  දැන් නම් ඒ සියලු දෙනා දන්නවා බැසිල් ගැන. එහෙත් දැන් ප්‍රමාද වුණා වැඩියි.

 

2015 දී මහින්ද පැරදුණේ බැසිල් හා නාමල් වැන්නන් නිසයි. මෛත්‍රිපාල මහා ජාතිකත්වයක් ඇත්තෙක් නොවෙයි. එහෙත් ඔහු යහපාලනයට ගියේ බැසිල්ලා නිසයි. අද උදය හා විමල් ආණ්ඩුවෙන් ඉවත් කෙරුණෙත් බැසිල් නිසයි. මාත් කලක් බැසිල් තදින් විවේචනය කළා. එහෙත් එවැනි විවේචනයකින් බැසිල් ඉවත් කරන්න බැරි බව මට පසුව අවබෝධ වුණා. මහින්ද ආපසු ගෙනාවේ මහජනයා මිස දිනේෂ්වත් විමල්වත් උදයවත් වාසුවත් නො වෙයි. මහින්ද සුළඟ ජනතාවගේ නිර්මාණයක්. මට විමල් ගැනත් එතරම් පැහැදීමක් නැහැ. ඔහුට ඇත්තේ සද්දයක් මිස හඬක් නො වෙයි. සද්දෙන් එතරම් වැඩක් නැහැ. වාසු හිත හොඳ මිනිහෙක්. එහෙත් ඔහුට පැහැදිලි තීරණයක් ගන්න බැහැ. ඔවුන් පෙරේදා ඉදිරිපත් කළ විසඳුමකුත් නැහැ. 

 

මහින්ද පැරදීමෙන් පසු ජනතාව නායකයකු සොයමින් සිටියා. එහි දී හමුවූයේ ගෝඨාභයයි. ගෝඨාභයට  මහින්දට වඩා ජාතිකත්වයක් තියෙනවා. ඔහු නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට කරන ලද සේවය ජනාධිපති මාධ්‍ය අංශයට වැදගත් නැහැ. එකී මාධ්‍ය අංශයේ කිංග්ස්ලිලාට සුදෙවුලාට ඇති ජාතිකත්වයක් නැහැ. ගෝඨාභයට රාජපක්‍ෂ පවුල විරුද්ධ වුණා. ඔහු ජනාධිපති අපේක්‍ෂකයා බවට පත් කිරීමට පවුලට අවශ්‍ය වුණේ නැහැ. අවසානයේ දී මහින්ද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී තම සොහොයුරා ජනතාවට භාර කළා. ඒ ජාතික බලවේගවලට හිස නැමීමෙන්. එහෙත් එය මවා පැමක් පමණක් බව අපට පසුව අවබෝධ වුණා. ගෝඨාභය ජනතාවට භාර කෙළේ නැහැ.

 

අප හිතනවාට වඩා රාජපක්‍ෂවරු පවුලක් ලෙස කටයුතු කරනවා. බණ්ඩාරනායකලාට එසේ කීිරීමට බැරි වුණා. අනුර චන්ද්‍රිකාට විරුද්ධ වුණා. චන්ද්‍රිකා අනෙක් සියල්ලන්ට විරුද්ධ වුණා. එහෙත් රාජපක්‍ෂලා එසේ නො වෙයි. අපට ගෝඨාභය රාජපක්‍ෂ පවුලෙන් ස්වාධීන කර ගන්න බැරි වුණා. බැසිල්ට බණින්න බණින්න ගෝඨාභය පවුලත් සමග බැඳුනා. විමල්ලා උදයලා වරද්දා ගත් තැන එතැනයි. දැන් කරන්න දෙයක් නැහැ.

 

මෙරට වැඩ්ඩන් ගැන තියෙන ආකල්පය වැරදියි. ඉතා සාමාන්‍ය පුද්ගලයකු වූ බැසිල් වැඩ්ඩකු වී ඇත්තේ වැඩ කරන නිසා මිස වැඩක් කරන නිසා නො වෙයි. ඔහු වැඩ්ඩකු බවට පත් කෙරී ඇත්තේ වැඩකට ම නැති පිරිසක් විසින්. ඔවුන්ට ඇත්තේ ඊළඟ මැතිවරණයේ අපේක්‍ෂකයකු වීමේ බලාපොරොත්තුව පමණයි. මේ පාර්ලිමේන්තුව ගැන මට කිසි දා විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ පාර්ලිමේන්තුව පත් වීමටත් කලින් සිට. එහෙත් අද ඇති අර්බුදය මේ ආණ්ඩුව ඇති කළ එකක් නොවන බව අවධාරණය කරන්න ඕන. අද ඇති අර්බුදයේ පියා ජෙ ආර්. බාප්පලා රොනී ද මෙල් ඇතුළත්මුදලි හා ගාමිණි දිසානයක. ඔවුන් කිසිසේත් ම වැඩ්ඩන් නො වෙයි.