Main Logo

Friday 11 March 2022

සැලසුම් නැති ආර්ථිකය, අර්බුදය හා වියත්තු

 සැලසුම් නැති ආර්ථිකය, අර්බුදය හා වියත්තු


අද ලංකාවේ ඇත්තේ ආර්ථික අර්බුදයක්. එය කළමනාකරණය පිලිබඳ සැලසුම් කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. එය මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් බවට ඌනනය කිරීමට සූදානම් වන්නේත් එය සාමාන්‍යයෙන් සමාජයේ පිළිගැනෙන්නේත් අපේ ද්වයංගුලි පඤ්ඤා සම්ප්‍රදාය නිසා. ඒ කියන්නේ ඇඟිලි දෙකේ නුවණ. අපට ඇඟිලි දෙකකට වඩා දුර පෙනෙන්නේ නැහැ. අපේ සම්ප්‍රදායේ එයට හැඳි මිටේ නුවණ කියාත් කියනවා. එය ස්ත්‍රීන්ට කරන නිග්‍රහයක් ලෙසයි ව්‍යවහාර වන්නෙ. මොන දේශපාලනයක හිටියත් මෙරට පිරිමි ගැහැණු කාටත් ඇඟිලි දෙකකට වඩා දුර පේන්නෙ නැහැ. ඊනියා වියත් මගටත් වියතක් පේන්නෙ නැහැ. ඔවුනුත් වියත් කීවත් ඇඟිලි දෙකේ නුවණැත්තෝ. 


අපටත් සාමාන්‍යයෙන් ථෙරවාද රටවලටත් බුද්ධිමය සම්ප්‍රදායක් නැහැ. දැන් මට විරුද්ධව බොහෝ දෙනා අවි අමෝරා ගන්න පුළුවන්. මා ලියන දේ කියවල එක් හාමුදුරුනමක් මට ප්‍රශ්න පත්‍රයක් එවා තිබුණා. මා ආන්ද්‍ර බුද්ධාගම, ආගමක් නොවන නිසා සංගත ව කියනවා නම් ආන්ද්‍ර ථෙරවාද සසුන යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි උන්වහන්සේ අසා තිබුණා. ඒ ආන්ද්‍ර දේශයේ නැත්නම් තෙලිඟු දේශයේ බුදුසසුන. ඒ ප්‍රදේශයේ තමයි සුප්‍රසිද්ධ නාගර්ජුනපාදයන් වැඩ විසුවේ. ඒ දෙවැනි සියවසේ පමණ. උන්වහන්සේ ඉතා ම ඉහළ ගණයේ බුද්ධිමතෙක්. උන්වහන්සේ ඇරිස් කුලයේ බුද්ධිමතෙක් නො වෙයි. ඇරිස් කුලයේ බුද්ධිමතුන් ආරම්භයක් සොයනවා. 


ආරම්භයට ආරම්භයක් නැහැ. ඊනියා ආරම්භක සංකල්ප නිර්වචනය කෙරෙන්නේ නැහැ. කරන්තත් බැහැ. නිර්වචනය කරන්න තවත් සංකල්ප ඕන. එවිට ඒ සංකල්ප නිර්වචනය කරන්නෙ කොහොමද? බටහිර දාර්ශනිකයන්ට එයට කිසි දා පිළිතුරක් නැහැ. එක්කෝ ඔවුන් දෙවියන් වහන්සේ ළඟ නවතින්න ඕන. එහෙම නැත්නම් අප අවට ඇති දේ ඊනියා කරුණුමය වශයෙන් පවතිනවා වගේ තේරුමක් නැති කතාවක් කියන්න ඕන. මා ඉන්නවා මගේ දෙමවුපියන් භාර්යාව දරුවන් ඉන්නවා වගේ කතා කියා එතැනින් පටන් ගන්න ඕන කියන්න වෙනවා. ඉන්නවා පවතිනවා මා මව පියා භාර්යාව දරුවා ආදිය හැඟීමෙන් දන්නා දේ පමණයි. එහි ඊනියා බුද්ධිවාදයක් තර්කවාදයක් නැහැ. බටහිර විද්‍යාවේ මහා පිපුරුම තරම් පට්ටපල් බොරුවක් තවත් නැහැ. මහා පිපුරුමත් තවත් ඊනියා ආරම්භයක් පමණයි.  


අග්ගඤ්ඤ  සූත්‍රයේ ජීවයේ ආරම්භයක් ගැන කියැවෙන්නේ නැහැ. විශ්වය සංකෝචනය වීමත් සමහ ජීවය ආභස්සර බ්‍රහ්ම ලෝකයේ අරූපී ව ඒක රාශි වන බවත් පසුව විශ්ව ප්‍රසාරණයත් සමග ඒ අරූපීන් ඒ ඒ ලෝකවල රූපී තත්වයන් ලබා ගන්නා හැටිත් ඉන් කියැවෙනවා. බටහිර විද්‍යාව ජීවය අජීවයෙන් ඇති වීම පිළිබඳ පට්ටපල් බොරු කතා කියමින් ලෝකයා නොමග යවනවා. ජීවයට මනසක් ලැබුණෙ කොහොමද කියන ප්‍රශ්නයට බටහිර විද්‍යාව දෙන පිළිතුර මොකක් ද? මා සඳහන් කර ඇති මොළයක් නැතිව උපන් අයකු ගණීිතයෙන් ප්‍රථම පංතියේ උපාධියක් ලබා ගැනීම ගැන. නැහැ මා කිවුවේ මා ගැන නො වෙයි. පඬි නැට්ටන් ඕන එකක් කියාපුවාවෙ. 


නාගර්ජුනපාදයන් මේ ආරම්භක ඇරිස් සම්ප්‍රදායේ නො වෙයි. එහෙත් මා හිතන්නේ උන්වහන්සේ මහායානයෙන් පිට බුද්ධි සම්ප්‍රදායක් සංස්කරණය කරන්න උත්සාහ ගත්තා කියා. මහායානිකයන්ට බ්‍රාහ්මණ සම්ප්‍රදාය මත පදනම් වූ බුද්ධි සම්ප්‍රදායක් තිබුණා. තියෙනවා. නාගර්ජුනපාදයන් ආරම්භයකට ගියේ නැහැ. පටිච්චසමුප්පදාය තමයි උන්වහන්සේගේ සම්ප්‍රදාය වුණේ. ඒ රේඛීය ඇරිස් චින්තනයේ නොව චක්‍රීය චින්තනයක පදනම් වුණා. 


අවාසනාවකට ථෙරවාදීන්ට නාගර්ජුනපාදයන්ගේ සම්ප්‍රදාය වර්ධනය කරන්න බැරි වුණා. එය ගල් ගෑසුණා. ආන්ද්‍ර ප්‍රදේශයෙත් තිබුණේ ථෙරවාද සසුනක්. මට හිතෙන විධියට එකල ශක්තිමත් ම ථෙරවාද සම්ප්‍රදාය තිබුණේ ආන්ද්‍ර ප්‍රදේශයේ. එය තුන්වැනි සියවසේ සිට පස්වැනි සියවස් දක්වා ලංකාවටත් මියන්මා දේශයටත් නැත්නම් සිංහලයටත් බුරුමයටත් ලැබුණ. බුරුම අකුරු පවා තෙලිඟු අකුරුවලින් බිඳී ඇත්තේ. 


ථෙරවාදීන් බුද්ධි සම්ප්‍රදායක් ගොඩ නගා ගැනීමට සමහර විට උනන්දුවක් නොදැක්වූවා ද දන්නේ නැහැ. බුද්ධිමතුනට නිවන් සම්මාබෝධය නැත්නම් සසර කෙළවර කිරීම ඈත කියායි මට හිතෙන්නෙ. බුද්ධ යන්න බුද්ධිය සමග පටලවා ගන්න උත්සාහයක් තියෙන බව පැහැදිලියි. අප කැමතියි බෞද්ධයන් බුද්ධිමතුන් යැයි කියන්න. එහෙත් හිතනවා ද අයින්ස්ටයින්ලා නිවුටන්ලා සසර කෙළවර කරගෙන කියා. අර ප්‍රඥාධිකයන්ට බුදු වීමට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් නියම කරන්න ඇත්තේ බමුණන් ය කියා මට හිතෙනවා. ප්‍රඥාධිකයන්ට ශ්‍රද්ධාධිකයන්ට වඩා බුදු වීමට කාලයක් ගත වෙන්න ඕන. ප්‍රඥාධිකයනට බුද්ධිය අත්හැරීමට සෑහෙන කාලයක් ගතවේවි. නැහැ පඬි නැට්ටන්ට ඒක අදාළ නැහැ. ඔවුන්ට අනාථ කඳවුරේ අඳෝනා කීම හැරෙන්න යමක් කරන්න තරම් බුද්ධියක් නැහැ.


කෙසේ නමුත් ථෙරවාදීන්ට බුද්ධි සම්ප්‍රදායක් නැතිකම අපට බලපානවා. අප භාරතීය බ්‍රාහ්මණ බුද්ධි සම්ප්‍රදායටත් ඉංගිිරිසි ඇංග්ලො සැක්සන් බුද්ධි සම්ප්‍රදායටත් යට වෙනවා. අපට ඇත්තේ දෑඟිලි සම්ප්‍රදාය. අපට දුර පේන්නෙ නැහැ. ගඟ හත්ගවුවක් තියෙද්දි අමුඩ ගහන්න එපා කියා අපට කියනවා. ඒ කල් ඇතුව සැලසුම් කරන්න අවශ්‍ය නැහැ කියනව වගේ එකක්. 


මේ සියල්ල කිවුවෙ අපේ ආර්ථික අර්බුදය මා ඊයේ කී කරුණුවලට අමතර ව සැලසුම් කිරීමට නොහැකි වීම නිසාත් බව කියන්න. සැලසුම් කරන්න ගිවිසුම් සකස් කරන්න අනාගතය පේන බුුද්ධි සම්ප්‍රදායක් අවශ්‍යයි. දැඟිලි නුවණෙන් නැත්නම් ද්වයංගුලි පඤ්ඤාවෙන් ඒ කරන්න බැහැ. මෙරට වියතුනන්ට වියතක් පේන්නෙ නැහැ. මේ ලෝකයේ ඉංගිරිසි බමුණන්ට හා වෛදික බමුණන්ට යට නොවීමට ඇරිස් නොවන බුද්ධි සම්ප්‍රදායක්  ගොඩ නගන්න අවශ්‍ය වෙනව. එහෙම නොකළොත් රනිල්ලා හැමදාමත් රජ කරාවි. අර්බුදයත් තියේවි. ජෙප්පනුත් කිරිඇල්ලත් හර්ෂත් එරානුත් තම බුද්ධිය ප්‍රදර්ශනය කරාවි.