Main Logo

Saturday 26 March 2022

රනිල් බැසිල් සමාගම අවුරුද්දට කලින් ම වැඩ අල්ලලා

 

රනිල් බැසිල් සමාගම අවුරුද්දට කලින් ම වැඩ අල්ලලා

 

අප රට භයානක ප්‍රපාතයක් අබියස තියෙන්නෙ. ඒ ඩොලර් අර්බුදය ම නොවේ. ඩොලර් අර්බුදය නිසා විජාතිකත්වය අන් කවරදාටත් වඩා හිස ඔසවා තියෙනවා. පැරණි වම අධිරාජ්‍යවාදය යටත්විජිතවාදය නව යටත්විජදතවාදය ආදී වශයෙන් හැඳින් වූ එහෙත් ඔවුන් නිසියාකාරයෙන් අවබෝධ කර නොගත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ලංකාවේත් ලෝකයේත් නැවත හිස ඔසවන තත්වයකට ඇවිත්. අලි හෙම්බිරිස්සා වසංගතයෙන් පසු ක්‍රිස්තියානි නූතනත්වයට නව පණක් ලැබී තියෙනවා. මා හිතන්නේ ලෝකයේ සියලු ජාතිකවාදීන් බලාපොරොත්තු නොවූ ආකාරයකට ක්‍රිස්තියානි නූතනත්වය හිස ඔසවා තියෙනවා. එයට ප්‍රධාන හේතුව ක්‍රිස්තියානි (කතෝලික නොවේ. කාදිනල්තුමාටත් එතරම් දෙයක් කරන්න බැහැ.) නූතනත්ව දැනුම් පද්ධතියට අභියෝගයක් ඉදිරිපත් කිරීමට චීන හා රුසියන් ජාතිකවාදීන් අසමත් වීමයි. බටහිර රටවල් පවා මේ තත්වය උදාවේ යැයි නොසිනන්න ඇති. අද යුක්‍රේනයේ දී පුටින් තරමක ප්‍රශ්නයකට මුහුණ දී ඉන්නවා. ඔහු බලාපොරොත්තු වූ දේ ඉටුකර ගැනීමට අසමත් ව සිටිනවා. ඔහුගේ ක්‍රිස්තියානි නූතනත්ව බලය ගැන තිබූ තක්සේරුව වැරදිලා. අපත් සිතා සිටියේ ක්‍රිස්තියානි නූතනත්වය දුර්වල වෙලා කියලා.

 

මෙරට ඊනියා වාම දේශපාලනයේ පැරණි වම පමණක් තවමත් බටහිර විරෝධයක් ඇති ව වැඩ කරනවා. වමක් නැති වමාලා ජෙප්පන් හා සෙප්පන් බටහිරයන්ගෙන් යැපෙන අතකොළු පමණයි. බටහිරයන් වමාලා පෝෂණය කරන්න පටන් ගත්තේ මෙරට ජාතිතක්වය නව පණකින් නැගිට්ට අසුව අනූව දශකවල. මේ ගැන විස්තරයක් වමාලා ගැන ලියන ලිපි පෙළේ සඳහන් කරනවා. ඒ ලිපි පෙළ කාලීන ප්‍රශ්න නිසා පස්සට තල්ලු වී තිබෙනවා. අද තිස්ස විතාරණලා ඩිව් ගුණසේකරලා හැරුණු විට ජෙප්පන් ද ඇතුළුව වමාලා යනු ජාතිකත්ව විරෝධී බටහිර ගැත්තන් ටික දෙනකු පමණයි. ජෙප්පන්ගේ යම් ජාතිකත්වයක් තිබිණි නම් සෝමවංස අමරසිංහ පක්‍ෂය හැර යෑමත් සමග ඒ නැති වුණා. අද ජ වි පෙ කියන්නේ ව්‍යාජ බුද්ධිමත්කමක් ගැන කතා කරන පක්‍ෂයකටයි. ජෙප්පන් පමණක් නොව අද ඊනියා 43 සෙනෙවියන් ද රනිල් ළඟ දණ ගසා සිටිනවා. ඔවුන්ට එ ජා පක්‍ෂය නුපුරුදු තැනක් නො වෙයි. ඔවුන් සමග එ ජා ප ගිය සමහරු තවමත් සිරිකොතේ ඉඳන් රනිල්ගේ උගත්කම පුම්බනවා.

 

අද බොහෝ දෙනාට ඩොලර් අර්බුදයට ඇති ප්‍රධාන ම විසඳුම වී ඇත්තේ තව තවත් ඩොලර් ණයට ගැනීම පමණයි. අපනයනවලින් ලැබෙන ඩොලර් ලංකාවට ගෙන්වා ගැනීමට කිසිදු ප්‍රයත්නයක් දරන්නේ නැහැ. අද ආණ්ඩුව පත්කළ ඊනියා විශේෂඥ කමිටුවේ අයගෙන් අපනයන සඳහා ලැබෙන ඩොලර් ලංකාවට ගේන කී දෙනකු ඉන්නවා ද? ඔවුන්ගෙන් කී දෙනකු බදු මුදල් ගෙවීම පැහැර හැර තියෙනවා ද? පැරණි වමත් වැරදියට මෙරට ජාතික ධනපති පංතියක් ගැන කිවුවා. ඉන්දියාවේ ජාතික ධනපතියන් ඉන්නවා. එහෙත් ලංකාවේ අද එවැන්නන් ඉන්නවා නම් ඒ දෙතුන් දෙනකු පමණයි. මෙරට ජාතික ධනපතියන් සිටියා නම් ඒ මැලිබන් මුදලාලි දාස මුදලාලි සැම්සන් මුදලාලි ආදීන් පමණයි. අද ඉන්නේ කැසිනෝ කාරයන් කීවත් වරදක් නැහැ. මොවුන් පරගැති බටහිර හෙංචයියන් පමණයි. අද වමාලත් ධනපතියනුත් මෙහෙයවෙන්නේ බටහිරින්. මංගල හා ඊනියා වමාලා අතර තිබුණු සම්බන්ධය හුදු මූල්‍යමය සම්බන්ධතාවක් නො වෙයි. අද වමාලා නෙදර්ලන්තය හා ජර්මනිය සමග ජාතිකත්ව විරෝධී ව්‍යාපෘතියක යෙදී ඉන්නවා.

 

අනූවේ දශකයේ වීර විදහන නම් සංවිධානයක් ඇති කෙරුණා. ඔවුන් ජාතික ව්‍යාපාරිකයන් හැටියටයි පෙනී සිටියේ. ඔවුන් අප පැත්ත පළාතකට ගත්තේ නැහැ. අද ඒ විදහනයට වෙලා ඇති වින්නැහිය මොකක් ද? එකල ජාතිකත්වය ගැන කතා කළ බෙල් බොටම් විහාර මහා දේවිලත් හිටියා.  ඒ දේවිලට මා වහ කදුරු වුණා. ඔවුන් ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වුණා. අද වන විට ඔවුන් සියල්ලන් ම පාහේ රනිල් සමග. විශේෂයෙන් ම නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඔවුන්ගේ ජාතිකත්ව කර්තව්‍යයන් අවසන් වුණා. එහෙත් අද නැවතත් දෙමළ ජාතිවාදීන් බටහිරයන් හා රනිල් මගින් ඒකීය රාජ්‍යයට විරුද්ධ ව බල කඳවුරු බඳිනවා.

 

මේ කිසිවකු තව තවත් ඩොලර් ණයට ගන්න හරි ණය ගෙවීම කල්දාගන්න හරි කතා කරනවා විනා බාහිර වෙළෙඳ ශේෂය ධන කර ගන්නේ කෙසේ දැයි කල්පනා කරන්නේ නැහැ. ඔවුන්ගේ ඊනියා ධනාත්මක චින්තනයට ඒ ධන හසු නොවනවා වෙන්න ඇති. අපේ ජීවන ක්‍රමය වෙනස් කිරීමක් ගැන දීර්ඝ කාලීන ව අපේ ආර්ථිකයක් සැලසුම් කිරීමක් ගැන ඔවුන් දන්නේ නැහැ.  අද ඇත්තේ ජමුලෙන් බැරි නම් දෙමළ විසුරුණු ජනයාගෙන් (ඊනියා ඩයස්පෝරාව) හරි ඩොලර් ගැනීමට කතා කිරීමයි. දෙමළ විසුරුණු ජනයා සතුව ඇත්තේ දෙමළ කතාකරන ජනයාගෙන් එකතු කරගත් මුදල් කියා හිතන්න එපා. දෙමළ කතා කරන ජනයා සත පනහක් දෙන්නෙත් දහසැරයක් කල්පනා කර දහ වතාවක් කාසිය අතගා බැලීමෙන් පසුවයි. දෙමළ විසුරුණු ජනයා එදත් අදත් මෙහෙයවෙන්නේ එංගලන්තයෙන්.  ඔවුන් මුදල් දෙනු ඇත්තේ 13 ට එහා යන ඊනියා විසඳුමක් ලබා ගැනීමටයි. සම්බන්ධන් හා සුමන්තිරන් සර්ව පාක්‍ෂික සමුළුවට ආවේ ඒ බලාපොරොත්තුවෙන්.

 

සර්ව පාක්‍ෂික සමුළුවේ දී රනිල් හා බැසිල් අතර ඇති මිත්‍රත්වය යස රඟේට පෙනුනා. බැසිල් රනිල්ට ඔයා කියා කතා කෙළේ ඒ මිතුරුකම නිසයි. එය වරදවා වටහා ගන්න එපා. ඔවුන් හොඳ මිතුරන්. ඔවුන් දෙදෙනාට ඇති ජාතිකත්වයක් නැහැ. අද ඇති භයානක තත්වය මේ මිත්‍රත්වයයි. ආණ්ඩුවේ ජාතිකත්ව බලවේග දුර්වල වෙලා. අද විජාතිකත්වය හිස ඔසවලා. ජාතිකත්ව බලවේග කළ ලොකුම වරද විස්සට අත එසවීමයි. අද එහි විපාක ජාතියට ම විඳින්න සිදුවෙලා. ජාතික ආණ්ඩුවක් බිහි කළත් නැතත් අද ඇත්තේ රනිල් බැසිල් හවුලක්. ඊයේ සත්‍යග්‍රහය එහි තවත් රඟ දැක්වීමක් පමණයි. රනිල් බැසිල් හවුල ඩොලර් ණයට ගනීවි. තව තවත් ණය වේවි. ඒ සඳහා විවිධ කොන්දේසිවලට එකඟ වේවි. හම්බන්තොට වරාය විකිණීම මහා බැංකු මංකොල්ලය අද බොහෝ දෙනාට අමතකයි. ජාතික ව්‍යාපාරයත් අද තැන තැන විවිධ කතා කියනවා. ඔවුන් ද මට විරුද්ධයි. ඒ මූලික වශයෙන් බටහිර දැනුම පිළිබඳ ප්‍රශ්නය නිසා. ඔවුන් මා මෙන් නොව බුද්ධිමතුන්. ඔවුන් කොහොමටත් හිතන්නේ මා මිථ්‍යා මතධාරියකු කියා. අද ජාතික ව්‍යාපාරයට මාක්ස්වාදය සමග කිසිම ගණුදෙනුවක් තියෙන්න බැහැ. මාක්ස්වාදය කියන්නෙ පට්ට ම පට්ට පල් බොරුවක්.

 

අද දිර්ඝකාලීන ව ජාතික ආර්ථිකයක් ගොඩනගා ගැනීමට කිසිවකු කතා කරන්නේ නැහැ. ජනමාධ්‍යට ඒ ගැන කිසිම වුවමනාවක් නැහැ. ජනමාධ්‍යවේදීන් ද බුද්ධිමතුන්. බලාගෙන ගියා ම මා වෙන්න ඇති එක ම මෝඝ පුරුෂයා. ඒකට කමක් නැහැ. රනිල් බැසිල් 13+ පොරොන්දු වුණත් රටට අහිතකර වෙන මොනව පොරොන්දු වුණත් ඒ ක්‍රියාත්මක කිරීමට ඉඩ නොාදීමට  සංවිධානය වෙමු.