Main Logo

Wednesday 16 March 2022

මගේ ලෝකයේ මගේ සතුට

 

මගේ ලෝකයේ මගේ සතුට

 

ඊයේ මගේ ජීවිතයේ වැදගත් දවසක් වෙන්න තිබූ දිනයක්. ඒ සජිත් ප්‍රේමදාස තමා ජනාධිපති වීමට නුසුදුසු බව අවධාරණය කළ දිනය නිසා නො වෙයි. ඔහු ජනාධිපති ලේකම් කාර්යාලය වටලා කලබලයක් ඇති කර ජ වි පෙ උපක්‍රමණයක් අනුගමනය කළා. කාගෙ හරි ජීවිතයක් බිලි දීල මිනිය උස්සන් රට වටේ ගිහින් ඊනියා ලංකා වසන්තය උදා කිරීම ඔහුගෙ බලාපොරොත්තුව වෙන්න ඇති. හරීන් ප්‍රනාන්දුත් ලංකාවෙ අරාබි වසන්තයක් ගැන කතා කරල තිබුණ. ඒත් පොලීසිය හා ආරක්‍ෂක හමුදා ඉතා ඉවසිල්ලෙන් කටයුතු කළ නිසා සජිත්ට ලියා ගෙන ආපු කතාවවත් හරියට කර ගන්න බැරි වුණා.

 

මට එක දෙයක් විතරක් දැන ගන්න ඕන. අර තෙල් දෙනව කියපු රටවල් තුන මොනවා ද? ස්තුති කරල ලියුමක් දාන්න. සජිත් හිතනව ඇති තෙල් බෙදන්න ඒ කතා හොඳය කියා. ඒත් මේ ද්වයංගුල පඤ්ඤා එහෙම නැත්නම් ඇඟිලි දෙකේ නුවණ ඇති රටේ ඕන දෙයක් සති දෙකක් වලංගුයි. සජිත්ට සති දෙකකින් ජනාධිපති වෙන්න ඉඩක් නැති නිසා වෙන කතාවක් හදා ගන්න වෙයි.

 

ඊයේ මගේ මිත්‍ර ධර්මදාස මට කතා කරල ඔහුගේ ජීවිතයේ වැදගත් සැමරුම් දිනයක් මතක් කළා. අප දෙදෙනාත් තවත් අයත් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විිද්‍යා පීඨයේ පේරාදෙණියෙ පිහිටි ගොඩනැගිලිවලට පා තැබුවේ 1963 ජූනියේ. එකල තිබුණේ එක විශ්වවිද්‍යාලයයි. එක විද්‍යා පීඨයයි. 1961 සිට විද්‍යා පීඨය කොළඹත් පේරාදෙණියේත් පවත්වා ගෙන ගියා. පීඨ මණ්ඩල රැස්වීම් විභාග පරීක්‍ෂක මණ්ඩල රැස්වීම් ආදිය මාරුවෙන් මාරුවට මෙන් කොළඹත් පේරාදෙණියේත් පැවැත්වුණා. ඊට පසු වෛද්‍ය පීඨයත් එලෙස පවත්වා ගෙන ගියා. 1969 වන තෙක් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය පැවතුණා. දැන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයක් නැහැ.

 

එකල විද්‍යා පීඨයේ සමහර විශේෂ උපාධි පාඨමාලා කොළඹත් අනෙක් ඒවා පේරාදෙණියෙත් පැවැත්තුවා. ගණිත විශේෂ පාඨමාලාව තිබුණෙ කොළඹ. රසායන විද්‍යා විශේෂ පාඨමාලාව තිබුණෙ පේරාදෙණියෙ. මාත් ධර්මදාසත් සමග අට දෙනකු ගණිතය හැදෑරීමට දෙවැනි වසරේ කොළඹට ආවා. කොළඹින් හිටියේ එක් ශිෂ්‍යයකු පමණයි. පාඨමාලාව අවසානයේ 1967 ඔක්තෝම්බරයේ මා පේරාදෙණියේ ගණිත අංශයට තාවකාලික සහාකාර කධිකාචාර්යවරයකු ලෙස බඳවා ගනු ලැබුවා. ඊට මාස දෙකකට පමණ පසුව ධර්මදාස මට එකතු වුණා. අපේ කණ්ඩායමේ තවත් අයකු තිලකරත්න එකල විද්‍යොදය විශ්වවිද්‍යාලයට එක් වුණා. ඔහුත් තරමක් කල් ගත වී අප සමග පේරාදෙණියේ එක් වුණා. ඔහු පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති පදවියට පත් වුණා.

 

මාත් ධර්මදාසත් පරිවාස (probationary) සහාකාර කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ තිබුණේ කොළඹ. පරීක්‍ෂණයෙන් පසු අප දෙදෙනාට පරිවාස සහාකාර කථිකාචාර්යවරුන් ලෙස පත්වීම් ලැබුණේ 1968 මාර්තු 15. එවකට මගේ වයස අවුරුදු 23යි. ඊයේ දිනය අපට වැදගත් කියා ධර්මදාස හිතුවේ එබැවිනුයි. එහෙත් මට එය අමතක වී ගොස් තිබුණේ. ධර්මදාස නම් එතැන් සිට නොකඩාවා විශ්‍රාම ගන්නා තුරු පේරාදෙණියේ නොකඩවා සාර්ථක ව සේවය කළා. ඔහු දක්‍ෂ ගුරුවරයෙක්. උසස් පෙළ පරීක්‍ෂණවලටත් සම්බන්ධව දශක ගණනාවක් කටයුතු කළා. එහෙත් මට සමාජයේ එවැනි සාර්ථකත්වයක් අත් වුණෙ නැහැ. මට ආචාර්ය උපාධියක් 1970 සැප්තැම්බර් වන විට ලැබිල තිබුණ. 1971 දි ජ වි පෙ භීෂණ කාලෙ මා විවාහ වුණා. අපට දරුවන් තිදෙනකු ලැබුණා. ඒ හැරෙන්න මට සමාජයේ පිළිගත් සාර්ථකත්වයක් අත් වුණෙ නැහැ.

 

මට විශ්වවිද්‍යාල තුනක සේවය කරන්න සිදු වුණා. මා 1975 මාර්තු මස පේරාදෙණියෙන් අස් වී භාර්යාවත් සමග ඕස්ත්‍රේලියාවට ගියා. 1977 දෙසැම්බරයේ ආපසු පැමිණි විට පෝරාදෙණිය මා බඳවා ගැනීම ප්‍රතික්‍ෂෙප කළා. ගණිත අංශයේ ම ධර්මදාස හා එවකට අංශ ප්‍රධාන ව සිටි මහාචාර්ය මහේස්වරන් හැරුණු විට අනෙක් අය මා බඳවා ගැනීමට විරුද්ධ වුණෙ ඔවුන්ගෙ ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතු කරමින්. පීඨාධිපති මහාචාර්ය අප්පාපිල්ලෙයි මා බඳවා ගැනීමට තදින් විරුද්ධ වුණා. පසුව ඔහු මා කොළඹ මණ්ඩපයට බඳවා ගැනීමටත් විරුද්ධව එවකට තිබූ තනි විශ්වවිද්‍යාලයේ උප කුලපතිට ලිපි යැවුවා. මා කොළඹට බඳවා ගනු ලැබුයේ 1978 විශ්වවිද්‍යාල පනතින් තනි විශ්වවිද්‍යාලය වෙනුවට වෙන වෙන ම විශ්වවිද්‍යාල ඇති කිරීමෙන් පසුව 1979 අගෝස්තුවේ පමණ.  එවිට අනෙක් විශ්වවිිද්‍යාලවලට (මණ්ඩපවලට) බඳවා ගැනීමේ දී කරන්න දෙයක් තිබුණෙ නැහැ.

 

පසුව 1992 නොවැම්බරයේ පමණ මා කොලඹින් අස් කෙරුණා. 2003 ජනවාරියේ කැලණියට බඳවා ගන්නා තෙක් මා නඩු කිවුවා. කැලණියේ දී ආචාර්යවරු මට විරුද්ධ ව ශිෂ්‍යයන්ට පත්‍රිකා බෙදුවා. මට විරුද්ධව විශේෂ රැස්වීම් පවත්වා සිසුන්ට කරුණු කිවුවා. ඒ මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීමත් මනුෂ්‍ය නොවන ප්‍රාණීන් සමග සංනිවේදනය කරන්න පුළුවන් අය ඉන්න බව කීමත් නිසා. විිද්‍යාලංකාරයට ගිය කලක්. ඊනියා උගත් බෞද්ධ විද්‍යාඥයන් බුදුහාමුදුරුවන් දෙවියන් සමග කතා කළ බවත් විශ්වාස කරන්නෙ නැතිව ඇති.

 

2003 හා 2004 දී තිලකරත්න උසස් පෙළ පරීක්‍ෂණවලට මා සම්බන්ධ කර ගත්තා . ගුරුවරු හා සිසුන් මට විරුද්ධ වුණා. සිසුන්ට කල්පනා කරන්න බැරි බව තමයි ඔවුන්ගෙන් ප්‍රකාශ වුණෙ. පිළිතුරු ලියන්න පැය තුන මදි කිවුවා. 1962 මා උසස් පෙළ පරීක්‍ෂණයේ ගණිත හා භෞතික විද්‍යා ප්‍රශ්න පත්තරවලට පැය එකහාමාරකින් පිළිතුරු ලියා ශාලාවෙන් පිට වූ බව කියන්න ගියා නම් බැණුම් අහන්න තිබුණා. එකල ගණිිත ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න හතකට පිළිතුරු දෙන්න තිබුණා. 2003 වන විට ප්‍රශ්න හයකට පමණයි පිළිතුරු දෙන්න තිබුණෙ. මා උසස් පෙළ කටයුතුවලින් අයින් වුණා.

 

මා ධර්මදාස හරි තිලකරත්න හරි වගේ දක්‍ෂ ගුරුවරයකු වුණෙත් නැහැ. මා උගන්නපු දේකුත් නැහැ. මා කතන්දර කීම තමයි කෙළෙ. මට විරුද්ධ සිසුන් කණ්ඩායම් හිටියා. කොළඹ හා කැලණියේ නම් ඇතැම් ශිෂ්‍යයන් හා ගුරුවරුන් මට විරුද්ධ වුණෙ මගේ ජාතික මතවාද නිසා. එහෙත් ජාතික මතවාද පිළිබඳ මට ජාතිකවාදීන් හොඳක් කියන්නෙත් නැහැ. කිසිම ප්‍රසිද්ධ ජාතික මතවාදියකු මා කරන කිසිවක් අගය කර නැහැ. අගය කරන්න තරම් දෙයක් නැතුව ඇති. ගුණදාස අමරසේකරගෙන් අහන්න. 

 

ජනමාධ්‍යවේදීන් උගත් අය. ඔවුන් විද්‍යාඥයන් වුණත් නැතත් විද්‍යාවට ගරු කරනවා. ඔවුන් තමන් විද්‍යාත්මක ව කටයුතු කරන බව කියනවා. අද මා ගැන ඇහුවොත් සාමාන්‍යයෙන් කියැවෙන කරුණු තුනක් තියෙනවා. එය වමාලාටත් ජාතික මතවාදීන්ටත්  පොදුයි. පළමුව මට කේන්ති යන බව, දෙවනුව  මා මිථ්‍යා මතධාරියකු බව, තුන්වැනුව මා කියන දේ නොපිළිපදින  වංචනිකයකු බව. ඔවුන්ට අනුව මා ජාතික කතා කියමින් දරුවන් පිටරට විශ්වවිද්‍යාලවලට යවා උගන්වා තියෙනවා. දෙරණින් අහන්න ඔවුන් විස්තර කියාවි. ඔවුන්ගෙන් විද්‍යාත්මක ක්‍රමයත් දැන ගන්න පුළුවන්. චතුර අල්විස් හා ඩිල්කා සමන්මලී විස්තර කියල දේවි

 

මට ධර්මදාසට මෙන් නොව මාර්තු 15 වැදගත් වන්නේ නැහැ. මගේ දැන් කල වයස හරි. විවාහයක් කර ගන්න නො වෙයි. එළොව යන්න. දෙයියන්ගෙ නාමෙට මට සුබ ගමන් පතන්න එපා. මගේ ජීවිතය ගැන මට කළකිරීමක් නැහැ. සමාජයේ මා අසාර්ථක වෙන්න පුළුවන්.  එහෙත් මා සතුටින් ඉන්නවා. මගේ අදහස් එන්න එන්න නිරවුල් වෙනවා. මට ඒ සතුටත් දරුමුණුබුරන් නිසා ඇතිවන සතුටත් තියෙනවා.