Main Logo

Wednesday 23 March 2022

මං පොර හා ගොං පොර

 


                                    මං පොර හා ගොං පොර

 

මේ මං පොර ලංකාවේ අතිඋත්කෘෂ්ටවත් යුගයයි. සිංහලයන් සාමාන්‍යයෙන් මං පොරවල්. මං අරක කරා මේක කරා අනිත් මිනිහට කිසිවක් බැහැ. මට නම් ඒක වැඩක් නෙවෙයි. මෙවැනි කතා නිතර දෙවේලේ අහන්න ලැබෙනවා. ගෙදරකට වැඩට එන බාසුන්නැහැ වැඩක් නෙවෙයි කියල ගියාට පස්සෙ එන බාසුන්නැහැ වැඩේ පටන් ගන්න කලින් ම මං පොර වෙලා කලින් බාසුන්නැහැගෙ වැරදි පෙන්නනවා. පෙන්නනවට වැඩිය කියනවා.

 

අද ආණ්ඩුවයි රටයි ඇත්තෙ ලොකු ආර්ථික අර්බුදයක. සමහර විට මෑත යුගයේ බරපතල ම අර්බුදය වෙන්න පුළුවන්. මං පොරලාට කියාපු කාලයක්. වෑස්සට පෙර මෙරු එන්න වගේ මං පොරල ඇවිත්. මං පොරලත් මෙරු වගේ ම ආලෝකයේ හමුවේ නැසි යනවා. එතෙක් මං පොර. මං ගිය සතියෙත් කිවුව මෙහෙම කරන්න කියල මං අවුරුද්දකට ඉස්සර ඕක කිවුවෙ කියල කී දෙනෙක් කියනවා ද?

 

අද සර්වපාක්‍ෂික සම්මේලනය. එහි දී ද මං පොරවල් ඉඳීවි. කතා පවත්වාවි. අරෙහ ම කරන්න තිබුණ මෙහෙම කරන්න තිබුණ මං ඕක කලින් ම කිවුව එදා ඒක කළා නම් ඔහොම වෙන්නෙ නැහැ ආදී කතා කියාවි. ඒත් හරියන විසඳුමක් කියන එකක් නැහැ. විසඳුම් නැතුවත් නො වෙයි. ඒ එකක්වත් හරියන ඒව නො වෙයි. අර ෂෝටීස් ටික නම් ඉවර වේවි. රතන හාමුදුරුවෙ වළඳන එකක් නැහැ. උන්වහන්සේ දුවන්න නම් දක්‍ෂයා. මා ඒ බව අත්දැකීමෙන් දන්නවා. උන්වහන්සේ වැඩිය කැමති හයියෙන් වඩින්න. අර සිඳු නාට්‍යයෙ පොඩි හාමුදුරුවො කිව්වෙ වැඩ්ඩ වැඩිල්ලක් කියල. කොහොමත් රතන හාමුදුරුවො මහායානයට තමයි වැඩිය කැමති. නැහැ මහා සයනයට නො වෙයි.

 

ඒ අතර අද මං පොර රැස්වීමක් නුගේගොඩ තියෙනවා. එතන මං පොරල වේදිකාවෙත් බිමත් ඉඳීවි. තෙල් නැති වුණත් ඔවුන් යම් ප්‍රමාණයක් ඒවි. රැස්වීම අවසානයෙ විසිර යාවි. විසඳුමක් ගැන වගේ වගක් නැති වේවි. විසඳුමක් නැතුව මොනව කියන්න ද? එතැන ෂෝටීස් දෙනව ද දන්නෙ නැහැ. මං කිවුවෙ වේදිකාවෙ ඉන්න සහෝදරයන්ට. කවුරු හරි සහෝදරයකුට නරක ද ෂෝටීස් ටිකක් ගිහින් දුන්න නම්. අර කාර්යාලෙ හදන්න උදවු කළ සහෝදරයන්ට ෂෝටීස් වැඩක් ද?

 

අර හිටපු මහා බැංකු නියෝජ්‍ය අධිපති අමුතු ම ජාතියෙ මං පොරක්. එයා ඉස්සර අර්බුද ගැන කියනවා. රුපියල පා කිරීම ගැන කියනවා. රුපියලට බ්‍රේක් දැමීම ගැන කියනවා. ඒ උතුමගෙ කටට නම් බ්‍රේක් නැහැ. අද විසඳුම් ඉදිරිපත් වෙනවා. ඒත් රටේ ප්‍රශ්නයට නො වෙයි. රටේ ප්‍රශ්නය ඩොලර් හිඟය. පෝලින් ඇති වෙන්නෙ එහි ප්‍රතිඵලයක් ලෙස. අර මනෝමයෙන් වැඩි කරණ ව්‍යාපාරික ධම්මික පෙරේරා ගෑස් පෝලිම නැති කරන්න යෝජනා කරල. ඒක මනෝමය විසඳුමක්.  ප්‍රශ්නය පෝලිම නොවෙයි. ඩොලර් හිඟය. අඩු ඩොලර් වැඩි පෝලිම්. මහා ව්‍යාපාරිකයන් මහා ආචාර්යවරුන් ආදීන්ගෙන් සමන්විත කමිටුවක් ආණ්ඩුවට යෝජනා කරල  තමන්ගෙ තනියට ද කොහෙ ද තව කමිටු කිහිපයක් පත් කරන්න කියල.

 

මා දන්නා තරමින් රාමඤ්ඤ නිකායෙ විවිධ පාර්ශ්ව නැහැ. ඒකට සියම් නිකාය හා අමරපුර නිකාය. මා මේ රාමඤ්ඤ නිකාය හොඳය කියනවා නො වෙයි. පහුගිය දවස්වල සජිත්ට අභිධානයක් දුන්නෙත් ඒ නිකායෙන්. ඒත් මට නිකම් හිතෙනවා රාමඤ්ඤ නිකායෙ පාඨලි පාර්ශ්වයක් තියෙනව කියල. නැහැ පාඨලිපුත්‍ර නගරයෙන් උපසම්පදාව ගෙනාපු කතාවක් නො වෙයි. මිහිඳු  මහා රහතන් වහන්සෙ පිහිටෙවුවෙ පාඨලි නිකාය කියා අද ව්‍යවහාරය අනුව පස්සට ගියොත් කියන්න පුළුවන්. මා ඒක හරි කියනව නො වෙයි. කොහොමටත් මං පොරක් නො වෙයි. මා මං පොරල ගොං පොරවල් වෙනව බලන් ඉන්නවා.

 

අර ඕමල්පෙ සෝභිත හාමුදුරුවො ප්‍රකාශයක් කරල තිබුණ පන්සල්වල තියෙන ධනය භාණ්ඩාගාරයට භාර දුන්නොත් ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් වේවි කියල උන්වහන්සෙ තායිලන්තෙ උදාහරණයකුත් දීල තිබුණ. තායිලන්තෙ ප්‍රශ්නය වෙනස්. එහෙ තාමත් රජ කෙනකු ඉන්නවා. අනේ කුඹින්නෙ තොපටත් රජෙක් ඉන්නෙ කතාව මතක් වෙනවා. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මා හිතන්නෙ නැහැ මෙහෙ තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් ලෝකෙ කොහෙවත් තියෙනවවා කියා. මෙහෙ ජනාධිපතිතුමා හැරෙන්න අනෙක් සියලු දෙනා ම වගේ මං පොරවල්.

 

ලංකාවෙ තියෙන්නෙ මූලික වශයෙන් ඩොලර් හිඟයක්. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස තමයි රුපියල් ප්‍රශ්නය උද්ධමන ප්‍රශ්නය ආදිය ඇති වෙලා තියෙන්නෙ. ඩොලර් හිඟයට දෙන්න ඩොලර් පන්සල්වල නැහැ. ඒත් සමහර පන්සල්වල රත්තරන් පොලු තියෙන බව සමහරු කියනවා. භාණ්ඩාගාරයට  රත්තරන් දුන්නොත් නම් විකුණල ඩොලර් ටිකක් හොයා ගන්න පුළුවන් වේවි. සෝභිත හාමුදුරුවන්ට පුළුවන් නම් රත්තරන් තියෙන රත්තරන් පන්සල්වලින් රත්තරන් එකතු කරන්න එය ඩොලර් හිඟයට යම් පිළියමක් වේවි.

 

ඒ අතර මිනිස්සු තවත් විසඳුම්  කියනවා. සමහරු කියනවා අනුරාධපුරයෙ සඳහිරු සෑය වඳින්න පටන් ගත්තට පස්සෙ තමයි ගෑස් සිලින්ඩර පිපිරෙන්න පටන් ගත්තෙ කියල. ඒක හින්ද සඳහිරු සෑය වඳින්න යන එක නවත්තන්න කියල. ඒකත් විසඳුමක් ද? මා නම් ඒ හේතුවක් ද කියන්න දන්නෙ නැහැ. මට සිහි වෙන්නෙ හියුම් කියන දාර්ශනිකයා හේතු ගැන කියා තියෙන දේ. ඒක හේතුවාදීන් දන්නව ඇති. ඊයේ ලිපියෙන් පස්සෙ මගෙන් කෙනකු ඇහුව හේතුවාදී කාලෝ ෆොන්සේකා දාර්ශනිකයෙක් ද කියල. අපොයි ඔව්. ලංකවෙ දාර්ශනිකයො වැහි වැහැල. සුචරිත ගම්ලත් තරම් දාර්ශනිකයෙක් මෙරට ඉඳලා නැහැ. වික්‍රමබාහු මොන තරම් දාර්ශනිකයෙක් ද? ඔය සකර්බර්ග් අනාථ කඳවුරෙ අහුමුළුවල මොන තරම් දාර්ශනිකයන් ඉන්නව ද?    

 

ඩොලර් ප්‍රශ්නයට ඉතිහාසයක් තියෙනවා. එය රනිල් සර්වපාක්‍ෂික සම්මේලනයෙ දි අහපු විධියට විජය රජු කරා යන්නෙ නැහැ. ඒත් රනිල්ගෙ මාමා ජේ ආර් කරා නම් යනවා. ඒ අතර මා කියනවා අපි සියල්ලන් ම වගේ මේ ප්‍රශ්නයට වග කියන්න ඕන කියල. අපි තාමත් ඉල්ලන් කෑම නවත්තල නැහැ. ඩොලර් හිඟයට විසඳුම් සොයන්න පළමුවෙන් හිඟයට හේතු හොයා ගන්න. ඒක තමයි බුදුහාමුදුරුවන්ගෙ ක්‍රමය. මේ රටේ ඉන්න මං පොරවල් බුදුහාමුදුරුවන්ට කියන්නෙ සිද්ධාර්ථ කියල. ගොං පොරවල් තාත්තට කියන්නෙ පීටර් කියල ද පේටර් කියල ද?