Main Logo

Thursday 10 March 2022

රනිල් කරළියට ගෙන ඒම

 

රනිල් කරළියට ගෙන ඒම

 

අපේ ප්‍රධාන සතුරා එංගලන්තයයි. ඊළඟට ඉන්දියාවයි. ඉන්දියාව ඊනියා ජාතික රාජ්‍යයක් හා රටක් වුණේ මෑතක දි වුණත් ඒ ප්‍රදේශයෙන් අපට සියවස් ගණනක් තිස්සේ ආක්‍රමණ සිද්ධ වුණා. මට නම් හිතෙන්නේ අශෝක රජුත් ඊනියා ධර්මවිජයකින් දේවානම්පිය තිස්ස රජු යටත්කර ගැනීමට උත්සාහ කළා කියා. අප ඉන් බේරුණේ මිහිඳු මහා රහතන් වහන්සේ රජුට අනුකම්පාවෙන් මෙහි වැඩි නිසා ය කියයි මට වැටහෙන්නෙ. ඉන් පසු පස්වැනි සියවස වන විට අපට  ආන්ද්‍ර ථෙරවාදය පැටවුණා. එයත් ථෙරවාදයක් තමයි. එය මියන්මා දේශයටත් පැටවුණා. අපට පාණ්ඩ්‍ය චෙර සොළි හා තවත් ආක්‍රමණ දිගින් දිගට පැමිණියා. පසුව බටහිර ආක්‍රමණ ඇති වුණා. අදත් මෙරට එංගලන්ත ඉන්දීය ඒකාබද්ධ ආක්‍රමණයක් තියෙනවා.

 

ඒ ආක්‍රමණය 1983 පමණ සිට ක්‍රියාත්මක වන්නක්. අප මේ කිසිම රටකට හරි දේශයකට හරි යුද්ධයෙන් පැරදිලා නැහැ. අප හැම විට ම පරාජය වන්නේ ගිවිසුම්වලින්. අප ඊනියා යුද්ධයෙන් එංගලන්තය අවසන් වරට පරාජය කෙළේ 2009 මැයි මස නන්දිකඩාල් කලපුවේ දී. ඊනියා ඉන්දියන් සාම සාධක හමුදවට කල් ඇතුව ම අකුළන් යන්න වුණා. අප අද නැවතත් ගිවිසුම් මගින් උපායෙන් පැරදිලා. සිංහලයන්ට ගිවිසුම් උපාය තේරෙන්නේ නැහැ.

 

ඊනියා දෙමළ ප්‍රශ්නයක් මෙරට නැහැ. ඇත්තේ යාපන අර්ධද්වීපයේ එංගලන්තයේ හා ඉන්දියාවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන වෙල්ලාල රජ පිස්සුවක් පමණයි. නැගෙනහිර හා කඳුකරයේ දෙමළ කතා කරන ජන කොටස්වලට රජ පිස්සු නැහැ. මේ සම්බන්ධයෙන් විස්තරයක්  මාර්තු 7වැනි  දින ලිපියේ ඇති. මේ වෙල්ලාල පිරිස ඇති කරනු ලැබුයේ ලන්දේසීන් විසින්. අද වන විට එංගලන්තය උතුරු යුරෝපීය රටවල් ප්‍රධාන වශයෙනුත් උතුරු ඇමරිකාව හා යුරෝපා සංගමය දෙවනුවත් අපට විරුද්ධ ව යොදා ගන්නවා. යුරෝපයේ නෙදර්ලන්තය, නෝර්වේ ස්වීඩන් හා පින්ලන්තය තමයි ප්‍රධාන. එහෙත් මෙරට බටහිර ගැත්තන් විශේෂයෙන් ම එංගලන්ත ගැත්තන් මෙය පිළිගන්න කැමති නැහැ. ඔවුන් එංගලන්ත සිංහයාට බයයි නංගියේ.

 

මෙරට වමාලා ලිබරල්වාදීන් සිවල් සාමාජිකයන් ඕවල් කේන්දර කාරයන් සුමන්දිස්තයන් හා වෙල්ලාලයන් ආදී පිරිස් ඉන්නේ එංගලන්ත ඉන්දීය පථයේ. බැෂලේට ව්‍යාජ විස්තර සපයන්නේ මොවුන්. නැහැ වමාලා සපයන්නේ නැහැ. ඔවුන් සකර්බර්ග් අනාථකඳවුරේ අඳෝනා කියනවා පමණයි. ඔවුන් කියන කිසිවක් කඳවුරෙන් පිටට යන්නේ නැහැ. සජිත්ටත් එහෙම සම්බන්ධකම් නැහැ. කිසිවකු ඔහුටත් සවන් දෙන්නේ නැහැ. ඒ කුමක් වුවත් මේ සියල්ලන් ම බටහිරින් නඩත්තු වෙනවා. 

 

අද ඩොලර් අර්බුදය හමුවේ රුපියල පා කරලා. එසේ කළේ කවුද? කබ්රාල් ද බෑසිල් ද ජෙයිශංකර් ද? එංගලන්තය හා ඉන්දියාව ඩොලර් අර්බුදය අප නොනිල යටත්විජිතයක් බවට පත් කිරීමට යොදා ගන්නවා. ඩොලර් අර්බුදය ඇති වුණේ 1952 පමණ සිට අප නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට පරිභෝජන ආර්ථිකයක් අනුගමනය කළ නිසා.

 

නිදහස් අධ්‍යාපනය නිසා බිහි වූ මධ්‍යම පාංතිකයන්ගේ පරිභෝජන අවශ්‍යතා හා තකතීරු ආකල්ප, දැඩි කම්කරු නීති, දියව් දියව් වෘත්තීය සමිති ප්‍රතිපත්තිය, ඒ හේතුවෙන් ආයෝජකයන් පසු බැසීම, සෝවියට් දේශයේ ආධාර ඇතිව පිහිටුවන ලද කර්මාන්ත ශාලා වසා දැමීමට එ ජා ප ආණ්ඩු කටයුතු කිරීම, අපනයනවලට වඩා දෙගුණයක් පමණ ආනයනය කිරීම, ජාතියක් ලෙස ම  ණයට කෑම, 1977න් පසු ජමූලෙට (IMF) යටවීම, ඔවුන්ගේ කොන්දේසි අනුව ආර්ථිකය සකස් කිරීම, රාජ්‍ය ආයතන හුදු රැකියා සපයන ආයතන බවට පත් කිරීම, රාජ්‍ය ආයතන විවිධ හේතු නිසා පාඩුවට පවත්වාගෙන යෑම, සතපහකට වැඩක් නැති උගතුන් විශ්වවිද්‍යාලවලින් බිහි කිරීම, ඒ සඳහා විශාල ධනයක් කැප කිරීම, බටහිර වෙදකමේ ආධිපත්‍යය නිසා දේශීය වෙදකම නොසලකා හැරීම, සෞඛ්‍ය අමාත්‍යාංශය බටහිර සෞඛ්‍ය අමාත්‍යාංශයක් බවට පත් කිරීම, සමස්තයක් ලෙස දේශීය දැනුමට පරිභව කර බටහිර දැනුම් ආධිපත්‍යය හිස් මුදුණින් පිළිගැනීම, ආදී කරුණු රාශියක් ඩොලර් අර්බුදයට හේතු වුණා. අද ඇති බෙහෙත් හිඟය දේශීය වෙදකමට පුරුදු කෙරුවා නම් ඇති වන්නේ නැහැ. අප දේශීය දැනුම වෙනුවෙන් තොල් මැතුරුවා පමණයි. දේශීය ඥානම්මා මේ ගැන මොකද කියන්නේ? 

 

අවාසනාවකට අලි හෙම්බිරිස්සා වසංගතය නිසා ඩොලර් අර්බුදය පිටාර ගැලුවා. රට වහන්න කී පඬියන් නිසා අපනයනවලට බාධා ඇති වුණා. එහෙත් ආනයන අඩු කෙරුණේ නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ මොනවා ද කියා ටොයිලට් පේපර් පඬියන් දන්නේ නැහැ. අනාථකඳවුරේ නම් කඩදහි පාවිච්චියක් නැතුව ඇති. ඔවුන් බොරු පොෂ් දැනුම් කාරයන් පමණයි. සංචාරකයන් පැමිණීම නැත්තට ම මෙන් නැවතුණා. වාහන ආනයනය දිගින් දිගට ම තිබුණ නම් මේ වන විට අර්බුදය තවත් වැඩි වෙලා. අනෙක් අතට බටහිර ආර්ථික විද්‍යාවට ප්‍රශ්නයකට විසඳුමක් නැහැ. එයට හැම විට ම අනෙක් අතට (on the other hand) කියා තවත් මත තියෙනවා.

 

පඬියන් පඬි නැට්ටන් ආදී සියල්ලන් එකතු වෙලා චීන අශූචි ගැන කියා චීනය තරහ කර ගත්තා. රුසියාවට අද වෙනත් ප්‍රශ්නයක් තියෙනවා. එංගලන්තය හා ඉන්දියාව කොන්දේසි නැතුව අපට පයිසයක් දෙන්නේ නැහැ. ජමුලෙට යන්න රුපියල පා කරන්න බලපෑම් තිබුණා. මුදල් ඇමති බැසිල්ගේ ඉන්දියා ගමන කිහිප විටක් ම කල් දැමුනා. එංගලන්තය හා ඉන්දියාව ලද අවසරයෙන් අපේ බෙල්ලට තොණ්ඩුව දැම්මා. අද අපට ඔවුන්ගේ කොන්දේසිවලට යටවෙන්න සිද්ධ වෙලා. දැන් බැසිල් රාජපක්‍ෂට ඉන්දියාවට යන්න පුළුවන්. සතියකින් දෙකකින් යාවි. දැන් රුපියලත් පා කරලා. කබ්රාල් නිශ්චිත යමක් කියන්නේ නැහැ.

 

එංගලන්තය හා ඉන්දියාව අපට තව තවත් කොන්දේසි දමාවි. ජමූලෙට යන්න ඒ සඳහා ජමුලෙ නිත්‍ය නියෝජිතයා වැනි වූ රනිල් ආණ්ඩුවට ගැනීම, 13 + දෙමළ ජාතිවාදීන්ට ලබා දීම, ඒ අතර වේවි. අප ඒ කොන්දේසිවලට එකඟ වූ පසු අපට ඩොලර් යම් ප්‍රමාණයක් ණයට දේවි. තාවකාලිකව භාණ්ඩ ආනයනය කරන්න පුළුවන් වේවි. භාණ්ඩ හිඟය කෙටිකාලීන ව නැති වේවි. දිර්ඝකාලීනව ප්‍රශ්නය තවත් උග්‍රවේවි.