Main Logo

Monday 7 March 2022

නැගෙනහිරට කඳුකරයට නැති උතුරට ඇති ඊනියා දෙමළ ප්‍රශ්නය හා ඉන්දියාවේ මස් රාත්තල

 නැගෙනහිරට කඳුකරයට නැති උතුරට ඇති ඊනියා දෙමළ ප්‍රශ්නය හා ඉන්දියාවේ මස් රාත්තල


ඉන්දියාව ඩොලර් අර්බුදය මැද බොර දියේ මාළු බාන්න සූදානම් වන බව අප කිහිප වතාවක් ම කියා ඇති. පසුගිය ද ජෙනීවාහි දී ද ඉන්දියාව 13 වැනි සංශෝධනය මුළුමනින් ම ක්‍රියාත්මක කරන ලෙස කියා තිබෙනවා. ඔවුන් ඉන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියල්ලට ම ඇහැ ගහ ගෙන. මුදල් ඇමතිගේ ඉන්දියා ගමන දැන් අඩුම තරමෙන් දෙවතාවක් කල් දමන්න සිදු වුණා. ඉන්දියාව අපට මුල දී එන්නත ලබා දුන්නේ නැහැ. එන්නත් හා කාබනික පොහොර ලබා දුන් චීනය තරහ කර ගැනීමට මෙරට ඊනියා විිද්‍යාඥයන් ප්‍රමුඛ නිලධාරින් සමත් වුණා. එයට  වමාලා ද සිවල් සාමාජිකයන් ද ඕවල් ක්‍රීඩාංගනයේ සිංහල විරෝධී කේන්දරකාරයන් ද සහාය දුන්නා. ක්‍රිකට් බලය ටැමිල් යුනියන් සිට එස් එස් සී දක්වා මාරු වීම ගැනත් වෙල්ලාලයන්ගේ අසතුටක් තියෙනවා.


ඉන්දියාව අපට පයිසයක් දුන්නත් ඒ අප තම ආධිපත්‍යයට හසු කර ගන්න. මුදල් ඇමති කෙතරම් ඉල්ලුවත් ඉන්දියාව පළමුවෙන් බලන්නේ තම ඉල්ලීම් ඉටු කර ගැනීමට. ඔවුන් මස් රාත්තල ඉල්ලනවාට අමතර ව කෞටිල්‍ය අධිපතිවාදීන්. ඉංගිරිසින් පැමිණෙන්න පෙර ඉන්දියාව කියා රටක් නොතිබුණත් එහි වෛදික බමුණන් හා පසුව හින්දූන් අපට විරුද්ධ ව කටයුතු කළා. පෘතුගීසීන් පැමිණීමට පෙර අප රට ආක්‍රමණය කෙරුණේ එහි විවිධ ප්‍රාන්ත විසින්. 


අද ලංකාවේ දෙමළ ප්‍රශ්නයක් නැහැ. ඊනියා දෙමළ ප්‍රශ්නය ලන්දේසීන්ගේ (නෙදර්ලන්තයේ) හා ඉංගිරිසින්ගේ නිර්මාණයක්. එයට පසුව ඉන්දියාව ද මැදිහත් වුණා. ඉන්දියාව අද ඒ ඊනියා ප්‍රශ්නය අප තම තත්වාකාරක (de facto) යටත් ප්‍රාන්තයක් බවට පත්කර ගැනීමට යොදා ගන්නවා.  මෙරට දෙමළ ප්‍රශ්නයක් නැති  බවට හොඳ ම සාධකය ඔය ඊනියා ප්‍රශ්නය නැගෙනහිර පළාතේ හා කඳුකරයේ දෙමළ කතා කරන ජනයාට නො මැති වීම. 


ඊනියා දෙමළ ප්‍රශ්නය ඇත්තේ යාපන අර්ධද්වීපයේ වෙල්ලාලයන්ට මිස වෙනත් දෙමළ කතා කරන ජනකායකට නො වෙයි. වෙල්ලාලයන් මූලික වශයෙන් මෙරටට ආනයනය කෙරුණේ ලන්දේසීන් විසින් 1670න් පමණ පසුව. යාපනයේත් විජය කාලයට දුවන දෙමළ ඉතිහාසයක් නැහැ. ලංකාවේ දෙමළ නිත්‍ය වාසස්ථාන පිළිබඳ ඉතිහාසය දහතුන්වැනි සියවසෙන් ඔබ්බට යන්නේ නැහැ. ඒ බව කියන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ පළමු ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධයෙන්. ඔහු පසුව ප්‍රභාකරන්ගේ විශ්වවිද්‍යාලයකට ඉදිරිපත් කළ නිබන්ධයකින් වෙනත් දේ කියා තිබෙනවා. ඒ පිළිගන්න බැහැ. 


ලන්දේසීන් දුම්කොළ වගාව සඳහා වෙල්ලාලයන් ආනයනය කිරීමට පෙර මෙහි වේලක්කාර හමුදා සමග පැමිණි අය සහ තවත් දෙමළ කතාකරන ජනකායක් සිටියා. එහෙත් ඔවුන් සුළුතරය. පෘතුගීසීන් ලංකාවට පැමිණෙන  විටත් යාපන අර්ධද්වීපයේ බහුතර ජනයා සිංහලයන් බව ක්වේරෝස් පවසා තියෙනවා. ඒ බව පුරාවිද්‍යාත්මක සාධකවලින් ද පෙනී යනවා. පසුගිය දා සොයා ගනු ලැබූ බෞද්ධ සිද්ධස්ථානවලින් 50%ක් පමණ විනාශ කෙරුණා ද? 


ලන්දේසීන් පැමිණෙන කාලයේ මඩප්පුලි නමින් පිරිසක් දෙමළ කතාකරන ජනයා අතර බහුතරය ව සිටි බව පේන්න තියෙනවා. එහෙත් ලන්දේසීන්ගේ බලපෑම යටතේ වෙල්ලාලයන්  දෙමළ කතාකරන ජනයා අතර ප්‍රධාන පිරිස බවට පත් කර යථා කාලයේ දී යාපන අර්ධද්වීපයේ සිංහලයන් ඊනියා අඩුකුලයක් ලෙස දෙමළ සංස්කෘතියට අවශෝෂණය කෙරී මඩප්පුලි පිරිස දකුණට පළවා හැරි ඇති බව පැහැදිලියි. ඒ දකුණට පැමිණි ඇතැමුන් මීගමුව අවට පදිංචි වී ඉන්න බවට වාර්තා තියෙනවා. මෙරට බටහිර ගැති ඉතිහාසඥයන් මේ තොරතුරු හොයන්නේ නැහැ. සීගිරියේ බිංදුවට තිත තැබූ ඉතිහාසඥයන් ගැන කවර කතා ද? 


නැගෙනහිර පළාතේ දෙමළ කතා කරන ජනයා ඉංගිරිසින් විසින් විවිධ කුලී වැඩ සඳහා ගෙනෙනු ලැබුවන් ඒ පිළිබඳ වාර්තා තවමත් රාජ්‍ය ලේඛනාගාරයේ තියෙනවා ද කියා මා දන්නේ නැහැ. කලකට පෙර නම් ඒ වාර්තා දුටු අය ඒ බව පවසා තියෙනවා. ඒසේ ගෙනෙන ලද දෙමළ කතා කරන ජනයා පදිංචි කරනු ලැබුයේ ඉංගිරිසින් විසින් රුහුණේ (ඌවේ) සිංහලයන් ඝාතනය කිරීමෙන් හා පන්නා දැමීමෙන් පසුව මුස්ලිමුන් සිංහල රජවරුන් විසින් පදිංචි කෙරුණු ප්‍රදේශ හැර ඉතිරි ප්‍රදේශයේ. මැතක් වන තුරු 1889 ඉංගිරිසින් ඇති කළ නැගෙනහිර පළාතේ ජනගහන ව්‍යාප්තිය හඳුන්වනු ලැබුයේ පිට්ටු බම්බු ව්‍යාප්තියක් ලෙස. ඒ පොල් පිටි පොල් මෙන් නැගෙනහිර පළාතේ දෙමළ මුස්ලිම් දෙමළ ජනගහන ව්‍යාප්තියක් තිබූ බැවින්.


කඳුකරයේ දෙමළ කතා කරන ජනයා ඉංගිරිසින් විසින් වතු ආර්ථිකය සඳහා ගෙනෙනු ලැබූ පිරිසක්. ඒ පිරිස අන්ත දුගී තත්වයෙන් ඉංගිරිසින් විසින් පවත්වා ගෙන එනු ලැබුවා. ඔවුන්ටත් යම් ආකාරයකින් නිදහස ලැබුණේ ඊනියා සිංහල ආණ්ඩුවලින්. මෙයට අමතර ව අද වන විට කොළඹට හා එංගලන්තයට සංක්‍රමණය වූ දෙමළ කතා කරන ජනයා ඉන්නවා. ඔවුන් වැඩි පිරිස උතුරෙන් සංක්‍රමණය වූවන්. ඔවුන් වැඩියෙන් මෙහෙය වෙන්නේ ඉංගිරිසින් විසින්.


දෙමළ වෙල්ලායන්ට අනෙක් දෙමළ කතා කරන ජනයාට මෙන් නොව ආපසු ඉන්දියාවය යෑමේ අවශ්‍යතාව තිබුණා. ලන්දේසීන් හා පසුව ඉංගිරිසින් තේසවලාමෙයි නීතිය පැනවූයේ වෙල්ලාලයන් ආපසු ඉන්දියාවට යෑම නැවැත්වීමට. ඒ නීතිය පැනවීමේ අවශ්‍යතාව අද නැහැ. එය කල් ඉකුත් වූ නීතියක්. එය වහාම අහෝසි කරන්න ඕන. වෙල්ලාලයන් ආපසු යැම වැළැක්වීමට ඉංගිරිසින් ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබා දුන්නා. විශේෂයෙන් ම කුමරස්වාමි පොන්නම්බලම් පවුල ලංකාවේ ප්‍රධාන පවුල බවට පත් කෙරුණා. මෙහි සරදම වනුයේ මෙරට නායකත්වයට පත් වූ සිංහල පවුල් ද ලන්දේසි හා ඉංගිරිසි කාලවල දී ඉන්දියාවෙන් මෙන් ම මලයාවෙන් ජාවා රටෙන් ආදී වශයෙන් ලංකාවට පැමිණි අය වීම. 


ඒ නිසා ම දෝ මෙරට පාලනය සඳහා වෙල්ලායන් හා අර සිංහල පවුල් අතර තරගයක් තිබුණා. සිංහල පවුල් බහුතර සිංහලයන්ට කතා කළා. 1931න් පසු සිංහල පවුල්වලට බලය ලැබුණා. වෙල්ලාලයන් තමන්ට නැති වූ නායකත්වය රටෙන් ගන්න බැරි නම් ඊනියා දෙමළ ජනයාගෙන් ලබා ගන්න උත්සාහ කළා. චෙල්වනායගම් නාගනාදන් වැන්නන් හතළිහේ දශකයේ ඒ ව්‍යාපරයේ නායකත්වය අතට ගත්තා. 


චෙල්වනායම් ප්‍රමුඛ පිරිස 1976 වඩුකොඩේ සම්මේලනයේ දී උත්සාහ කෙළේ මුළු රටේ ම දෙමළ කතා කරන ජනයාගේ නායකත්වය අතට ගැනීමට. එහෙත් නැගෙනහිර හා කඳුකරයේ දෙමළ කතා කරන ජනයාට හා ඔවුන්ගේ නායකයන්ට ඒ රජ පිස්සුව තිබුණේ නැහැ. දිවයිනේ ම බැරි නම් දෙමළ කතා කරන ජනයා අතර පාලකයන් වීමේ රජ පිස්සුව තිබුණේ ලන්දේසීන්ගේ ඉංගිරිසින්ගේ හා පසුව ඉන්දියාවේ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබූ උතුරේ වෙල්ලාලයන්ට. ඒ රජ පිස්සුව පළමුව වෙල්ලාලයන්ට විරුද්ධ ව අවි අතට ගෙන පසුව අවි සිංහලයන්ට විරුද්ධ ව හැර වූ කරෙයිවර් ප්‍රභාකරන්ට ද උරුම වුණේ කරාවේ විජේවීර අනුගමනය කරමින්. මේ ව්‍යාපාර දෙකේ ම ගොයිගම/වෙල්ලාල විරෝධයක් දකින්න පුළුවන්.


ඒ කුමක් වුවත් චෙල්වනායගම්ට 1976න් පසුවත් නැගෙනහිර හා කඳුකරයේ දෙමළ කතා කරන ජනයා තම නායකත්වය යටතට ගෙන රජ පිස්සුව සුව කර ගැනීමට නො හැකි වුණා. නැගෙනහිර හා කඳුකර දෙමළ ජනයාට සිංහලයන්ගෙන් වෙන් වී වෙන ම රාජ්‍යය පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. ඔවුන් සිංහලයන් සමග සහජීවනයෙන් පසු වෙනවා. ඔවුන්ට රජ පිස්සුවක් හැදෙන්න තරම් කුල මානයක් නැහැ. මෙරට ඊනියා දෙමළ ජනයා කියා ජනවර්ගයක් නැහැ. ඇත්තේ දෙමළ කතා කරන ජන කොටස් තුනක් පමණයි. ඒ කොටස් තුනෙන් අනෙක් කොටස් දෙක වෙනුවෙන් පෙනී  සිටීමට උතුරේ වෙල්ලායන්ටවත් ඔවුන්ගෙන් රජ පිස්සුව ලබා ගත් ප්‍රභාකරන්ටවත් කිසිම අයිතියක් නැහැ. ඒ බව සනාථ කරමින් කරුණා පිල්ලෙයාන් ආදීන් ප්‍රභාකරන්ගෙන් වෙන් වුණා. 


මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද කියා අප අවුරුදු තිස්පහක් පමණ අසා තියෙනවා. එහෙත් එයට පිළිතුරක් අද වන තුරුත් නැහැ. අප මෙහි පැහැදිලි කර ඇත්තේ මෙරට ඊනියා දෙමළ ජනයා කියා ජනවර්ගයක් නැති බවත් ඇත්තේ දළ වශයෙන් දෙමළ කතා කරන ජන කොටස් තුනක් පමණක් බවත් ඒ ඒ ජන කොටස්වල සජාතීය අපේක්‍ෂා නැති බවත්. දෙමළ වෙල්ලාල ව්‍යාපෘතිය අද වන විට අසමත් නොව බොරුවක් බවට පත් වී ඇති බවත් එය නෙදර්ලන්තයේ එංගලන්තයේ හා ඉන්දියාවේ අනුග්‍රහයෙන් ආධාරයෙන් හා ආශිර්වාදයෙන් තවමත් නොන්ඩි ගසන තත්වයෙන් ඇති බවත් පැහැදිලියි. එහි දී ඉන්දියාව නෙදර්ලන්තය හා එංගලන්තය අනුගමනය කරමින් අප තම (තත්වාකාරක) යටත්විජිතයක් බවට පත් කර ගැනීමට ඩොලර් අර්බුදය යොදා ගැනීමට උත්සාහ කරනවා.